සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 05 ,(LNW)කොළඹ :
ශ්‍රී ලංකාව වෙලිංටන් හී පැවති ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින තරගයෙන් කඩුලු 9 ක පරාජයක් ලැබුවා.මේ පරාජයේදී අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයක් මතු වෙනවා.ඉන් පළමුවැන්න ශ්‍රී ලංකාවට පන්දු ඕවර් 50 තුළ සියල්ල දැවී යාම වළක්වා ගැනීමට නොහැකිවීමයි.පිතිකරණයේදී දකින්නට ලැබුනු ඒ දුර්වලතාවය මෙන්ම ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 178 ඉක්මවා යමින් නවසීලන්තයට එම ලකුණු ප්‍රමාණයට ළඟා වීමට ගත වුණේ පන්දු ඕවර් 26.2 ක් පමණක් වීමත් ශ්‍රී ලංකාවේ පන්දු යැවීම ගැන සතුටු විය නොහැකි කාරණයක්.
වේග පන්දු යවන්නන් විසින් ශ්‍රී ලංකාව අසරණ කළ එම තරගයේදී ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන්නන් ලෙස තරගයට එකතු වූ ලිහිරු කුමාර,ඒෂාන් මාලිංග සහ චමිඳු වික්‍රමසිංහ යන තිදෙනාම පන්දු යැවීමේදී පන්දු ඕවරයකට ලකුණු 8 බැඟින් ලබා දීම සතුටු විය හැකි කාරණයක් නෙමෙයි.නවසීලන්ත පිතිකරුවන් ඉතාම පහසුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මුහුණ දුන්නේ පිටිය පිතිකරුවන්ට වාසිදායක වූ නිසා ද යන්න හෝ ශ්‍රී ලංකා පිතිකරුවන් අසාර්ථක වූවේ වේග පන්දු යවන්නන්ට තණතීරුව උචිත නිසා ද යන්න හෝ කල්පනා කළ යුතු වෙනවා.එහෙත් වඩා වැදගත් සියලු අංශවලින් ශ්‍රී ලංකාවට වඩා නවසීලන්තය ඉදිරියෙන් සිටිය බවයි.
ශ්‍රී ලංකා පිතිකරුවන් සියල්ල අසරණ වෙද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගනිමින් පන්දු 63 දී ලකුණු 56 ක් ලබන්නට අවිශ්ක ප්‍රනාන්දු සමත් වුණා.
විස්සයි විස්ස ආකෘතියට වඩා එක්දින ජාත්‍යන්තර තරග ආකෘතිය තුළ අවිශ්ක සාර්ථක බවට යළිත් වරක් ඔහු සනාත තර තිබෙනවා.සුදු පන්දුවේ ක්‍රිකට් ක්‍රීඩාවේදී යළිත් වරක් අසාර්ථක බව පෙන්වමින් මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සාර්ථකම ටෙස්ට් පිතිකරු බවට පත්ව සිටින කමිඳු මෙණ්ඩිස්,නවසීලන්ත සංචාරයේ යළිත් අසාර්ථක පිතිකරුවෙකු වෙමින් ලකුණු 3 ට දුවද්දී දැවී ගියා.චරිත් අසලංක ද ලකුණු අතරට ඒමට පෙර ලකුණු 0 ට දැවී ගියා.
ජනිත් ලියනගේ සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුනු 87 ක සබඳතාවයක් තබමින් ශ්‍රී ලංකාවේ පස්වන කඩුල්ල වෙනුවෙන් පැවත්වූ සබඳතාවයත්,වනිදු හසරංග (35) සහ චමිදු වික්‍රමසිංහ (22) විසින් දියත් කළ යම් වටිනාකමක් සහිත ඉණිම් දෙකත් නොවන්නට ශ්‍රී ලංකාවේ ලකුණු පූවරුව ලකුණු 150 ට මෙහා නවතින්නට තිබුණා.
නවසීලන්ත පන්දු යවන්නන් අතරින් ශ්‍රී ලංකා ඉණිම සුණු විසුණු කිරීමට පෙරමුණ ගත් පන්දු යවන්නා වූයේ මැට් හෙන්රියි.ඔහු පන්දු ඒවර් 10 ම යවමින් ලබා දුන්නේ ලකුණු 19 ක් පමණයි.එම ලකුණු 19 ලබා දෙද්දී කඩුලු 4 ක් දවා ගන්නටත් හෙන්රිට තිබුණු හැකියාව නිසා ඔහු තරගයේ වීරයා හැටියට ද නම් කරනු ලැබුවා.
නවසීලන්ත පිතිකරුවන් පිටියට පැමිණ මොහොතේ සිටම ශ්‍රී ලංකාවේ සුළු ලකුණු පූවරුව ගැන සිතීම වෙනුවට තමන්ගේ රිද්මයටම වේගවත්ව හැසිරුණා.ඒ පීඩනය හමුවේ සුළු ලකුණු පූවරුවක් ආරක්ෂා කිරීම සඳහා දරන උත්සාහයේ පීඩනය තව දුරටත් ඉහළ ගිය ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් චමිදු වික්‍රමසිංහ දැවී ගිය කඩුල්ලට හිමිකම් කීව ද,පිතිකරුවන්ට දැනෙන පීඩනයක් යම් තරමකින් එල්ල කරන්නට සමත් වුණේ වනිඳු හසරංග පමණයි.
විල් යන්ග් ලකුණු 90 ක් ලබා නොදැවී සිටි අතර ඔහු ඒ සඳහා වැය කර තිබුණේ පන්දු 86 ක් පමණයි.ඔහු සහ රචින් රවීන්ද්‍ර පළමු කඩුල්ලට ලකුණු 94 ක් එක් කළ අතර රචින් පන්දු 36 දී ලකුණු 45 ක් රැස් කරන්නට සමත් වුණා.මාර්ක චැප්මන් විල් සහ රචින් රැඟෙන ආ සබඳතාවයේ ගෞරවය රැක ගනිමින් පන්දු 36 ක් තුළ ලකුණු 29 ක් ලැබ නොදැවී සිටියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් සිය ක්‍රිකට් ව්‍යාප්තියේ තවත් අග්‍රපලයක් නෙලා ගනිමින් පළමු වරට පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග සඳහා කිසිඳු පාසලක් සහභාගි නොවන රත්නපුරෙන් පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රීඩකයා හඳුන්වා දෙන්නට සමත් වුණා.එසේ පළමු පෙළ පාසල් ක්‍රිකට් නැතත්,රටේ විසිරි දක්ෂයන්ට ඉඩ සකසා ගැනීම සඳහා වැඩ පිළිවෙලක් ඇති බව සනාත කරමින් මෙම තරගයේදී රත්නපුරෙන් පළමු වරට ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයා බවට පත් වෙමින්,රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ ඒෂාන් මාලිංග නවසීලනත්යට එරෙහිව ක්‍රීඩා කරන්නට යොදා ගනු ලැබුවා.
නවසීලන්තයට කඩුලු 9 ක් ජයක් අත් වූ තරගයේ සමස්ත ලකුණු සටහනට පහතින් පිවිසීමේ හැකියාව තිබෙනවා.
https://es.pn/420ShIP