උපාලි කොළඹගේ
කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම් පත ප්‍රකාශයට පත්ව ඇති අතර නොබෝ දිනකින් එය ක්‍රියාවට නැංවෙනු ඇත. දැන ගැනීමට ඇති ආකාරයට මෙම පනත සම්මත වීමත් සමග දැනට විශ්‍රාම වැටුප් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි වන අතර ඉදිරියේ මෙම ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි වනු ඇත.
මෙය ජාතික ජන බලවේගයේ ඡන්ද පොරොන්දු අතර එක් ප්‍රමුඛ තම පොරොන්දුවකි. ජාතික ජන බලවේගය පොරොන්දු රාශියක් කඩකර ඇති බවටවූ චෝදනා වෙන් ගැලවීම පිණිස මෙය ක්‍රියාත්මක කරන බවය අපට හැඟෙනුයේ. පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාවට පසුගිය ඡන්දවලට පෙර පැවති වටිනාකම තවමත් එලෙසම පවතිනවාද යන්න ප්‍රශ්නකාරීය. ඕනෑම යොජනාවක වටිනාකම උස් පහත් වනුයේ එම මොහොතේ පවත්නා වූ පසුබිම මතය. ඡන්දයට පෙර පැවැති ආක්‍රමණශීලී පරිසරය අනුව මන්ත්‍රී විශ්‍රාම වැටුපට අති විශාල වටිනා කමක් ලැබිණ. රටට හෙණ ගැහුවේ එදා බලයේ සිටි සියලුම මන්ත්‍රීන්ගේ වරදින් බවට වූ මතයක් එදා ජනප්‍රිය රැල්ලත් සමග ඉතා වේගයෙන් සමාජ ගත විය. නමුත් දැන් තත්ත්වය ඊට වෙනස්ය . ජනතාව තවමත් මාලිමාව සමඟ සිටින බව මගේද මතයයි. නමුත් එහි යම් කිසි දියාරුවීමක් දක්නට ලැබෙන බවද සත්‍යයකි. ඕනෑම ආණ්ඩුවක් ටික කලක් බලයේ සිටින විට මෙම තත්ත්වයට පත්වන අතර එයට පිළියම් යෙදීමද පාලකයන් විසින්ම සිදු කළ යුතු බව අපගේද අදහසයි. පොරොන්දු ප්‍රකාරව ඉටු කළ යුතු කාර්යයන් අටෝරාසියක් තිබියදී මන්ත්‍රී විශ්‍රම වැටුප ඉදිරියට ගැනීම එක් ආකාරයක ඇස්බැන්දුමක් ලෙසය අපට නම් පෙනෙනුයේ.
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසිය එතරම් ආකර්ෂණීය වූයේ රාජපක්ෂ වික්‍රමසිංහ ආණ්ඩුවට එදා පැවති තදබල විරෝධය හා දියවන්නාවට පවා වෛර කරන මට්ටමට එම තත්ත්වය මෝරා යෑම නිසාය. රාජපක්ෂ – වික්‍රමසිංහ විරෝධය තවමත් ඒ ආකාරයෙන්ම පවතින මුත් වර්තමානයේ ඇතැම් ජනතා කාණ්ඩ පවතින ආණ්ඩුව සමග ඔට්ටු වීමට පටන් ගෙන ඇති වාතාවරණය තුළ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි කළ පමණින් සියලු අපල උපද්‍රව දෝස දුරු වේයැයි ආණ්ඩුව සිතන්නේ නම් එය තමා විසින්ම තමන්ව මුලා වට පත් කර ගැනීමක් ලෙසය මා දකින්නේ.
කෙසේ වුවත් මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට මා නම් පෞද්ගලිකව කැමති නැත. නමුත් එය ලැබීමට අවශ්‍ය සුදුසුකම් යාවත්කාලීන විය යුතු බවද තරයේ විශ්වාස කරමි. රැල්ලට ගසාගෙන එන පොල් කෝම්බවලටත් සම්පූර්ණ විශ්‍රාම වැටුප හිමිවීමේ අගති දායක ක්‍රමය සංශෝධනය විය යුතුමය. එමෙන්ම කුමන දේශපාලනයක වුවද සිය ජීවිත කාලයම කැප කළ අයවලුන්ට සිය ජීවිත කාලය අවසන් භාගයේ බේත් හේත් ටික ගැනීමටවත් මුදලක් ලබා දීම සමාජ යුතුකමක් වන බවය අපේ අදහස.
මෙය අනිකුත් සේවා අංශවලටද වැරදි පූර්වාදර්ශයක් වීමේ ඉඩකඩක් පවතින බවද මතක තබා ගත යුතුය. එමෙන්ම දිගුකලක් කිසියම් ජීවනාධාරයක් ලබා එය හදිසියේම නතර වීම මානුෂික අතින් ද බැරෑරුම් සහගත තත්ත්වයකි.
මෙහිදී පැන නගින අනික් බරපතලම ප්‍රශ්නය නම් අනාගතයේ ආර්ථික අතින් දුබලයෙකුට පාර්ලිමේන්තුවට ඒමට ඉඩකඩක් පවතීද යන්නය. අපි හිතමු වෙනත් බාහිර ආදායම් නැති තරුණයකු හෝ තරුණියක පාර්ලිමේන්තු මන්ත්‍රීකමකට පත්වනවා කියා. ඔහු හෝ ඇය දිගුකාලයක් එම මන්ත්‍රී ධුරය හොබවා අවසානයේ පරාජයට පත්වනවා යැයි සිතමු. එවිට අනාථභාවයට පත්වනවා මිස වෙනත් විසඳුමක් අනාගතයේ ඇත්තේම නැත. වෘතිකයන්ට පමණක් ක්‍රියාකාරී දේශපාලනයේ දොර විවර වීමේ ක්‍රමයක්ද හුරේ දමා පිළි ගැනීමට සැරසෙනුයේ.
මෙම තත්ත්වය යටතේ ජාතික ජනබල වේගයේ මන්ත්‍රී න් විශාල පිරිසකටද අනාගතයේ බලවත් ප්‍රශ්නයකය මුහුුණ පෑමට සිදුවනු ඇත. ඒ අය පක්ෂය විසින් බලා ගනු ලබනු ඇතැයි යන්නය මාලිමාවේ ඇතමුන්ගේ පිළිතුර වී ඇත්තේ.
එයද එතරමි සදාචාරාත්මක නොවන බවය මගේ අදහස. ඔවුන්ට කිසිම දිනෙක නිදහස් තීරණයකට එළඹීමේ හැකියාව මේ නිසා අහිමි වී යයි. පක්ෂ මූලස්ථානය එළිමහන් සිර කඳවුරක කාර්යාලය බවට පත් වීම මේ නිසාවෙන් වැළැක්විය නොහැක. මේ සියලු කරුණු අනුව මෙම යෝජනාවද ඉවත් කරගන්නේ නම් එය වඩා යහපත්ය.


