Sunday, November 27, 2022
spot_img

Latest Posts

දැනුම් කළමනාකරණයේ දේශපාලනය

පිරමිඩ් ක්‍රම ගැන මම මුලින්ම ඉගෙන ගත්තේ ඉතාම කුඩා වයසකදී. මේ දැනුම මට ලැබුණේ “ගණිත විනෝදය” ලෙස සිංහලට පරිවර්තනය කර තිබුණු යාකොව් පෙරල්මාන්ගේ පොතකින්. පසුව රාදුගා ප්‍රකාශකයෝ වුනු, ප්‍රගති ප්‍රකාශන මන්දිරය විසින් මුද්‍රණය කර අඩු මිලකට විකිණූ පොතක්.

කුඩා වයසකදී තර්ක ඥානය මුවහත් කළ හා ගණිතය කෙරෙහි උනන්දුවක් ඇති කළ ඉතාම හොඳ පොතක්. එහෙත් මේ වගේ “අහිංසක” සේ පෙනෙන පොතක් හරහා වුවත්, කොයි තරම් මොළ ශෝධනයක් කර තිබෙනවාද කියන එක තේරෙන්නේ දැනුයි. මේ පොතෙන් වුවත් අවසාන වශයෙන් කර තිබෙන්නේ ඉතා කුඩා කාලයේදීම දරුවන්ගේ ඔළුවට වෙළඳපොළ විරෝධී අදහස් දමා වෙළඳපොළ යකෙක් සේ පෙන්වීම බව පැහැදිලි වන්නේ අදාළ ගණිත ගැටළු ඉදිරිපත් කර තිබෙන ආකාරය දෙස දැන් බැලූ විටයි.

මේ ආකාරයෙන් විධිමත් අධ්‍යාපනය, මාධ්‍ය, කලාව, පොත්පත් ආදිය හරහා කුඩා කාලයේදීම කරන මොළ ශෝධනයන් එක්ක ලංකාවේ දරුවෙක් වැඩිහිටියෙක් වෙන්නේම වෙළඳපොළ විරෝධී, සමාජවාදියෙක් ලෙසයි. ධනවාදය යකෙක්, රකුසෙක් සේ දකින අයෙක් ලෙසයි. ඇමරිකන් හා බටහිර විරෝධියෙක් ලෙසයි. ලංකාවේ දිගටම ජීවත් වුනානම් පෞද්ගලිකව මට වුනත් මේ උගුලෙන් ගැලවෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

හැබැයි ඒ එක්කම මතු වෙන තවත් ප්‍රශ්නයක් තිබෙනවා. මෙයට විකල්පය වන්නේ කුඩා කාලයේ සිටම වෙළඳපොළ හිතවාදී, ධනවාදී අදහස් වලින් ඔළු පුරවන එකද? එක විදිහක මොළ ශෝධනයක් නරක වෙන්නත්, වෙනත් විදිහක මොළ ශෝධනයක් හොඳ වෙන්නත් පුළුවන්ද?

ලංකාවේ ඉතා සුළු පිරිසක් සමස්තයක් ලෙස දැනුම ප්‍රතික්ෂේප කරන ස්ථාවරයක ඉන්නවා. ලංකාවේ කියා කිවුවේ ලංකාව කේන්ද්‍ර කරගත් කියන අදහසින් මිසක් ලංකාවේ පදිංචිව සිටින කියන අදහසින් නෙමෙයි. ඒ වගේම සුළු පිරිසක් කියා කිවුවේ අවතක්සේරු කිරීමක්, බාල කිරීමක් ලෙසත් නෙමෙයි. ඕනෑම නැවුම් අදහසක් ආරම්භයේදී තනි පුද්ගලයෙක්ගේ අදහසක්. ඉන් පසුව, සුළු පිරිසකගේ අදහසක්.

දැනුම සමස්තයක් ලෙස ප්‍රතික්ෂේප කිරීම කළ හැකි දෙයක් නෙමෙයි. එසේ කළොත්, වැටෙන්නේ මොන වගේ තැනකටද? ගල් යුගයට ආපහු ගියත් මූලික මට්ටමේ හෝ දැනුමක් කියා දෙයක් තිබෙනවා. මට අනුව, පුද්ගලයෙක් කියා කියන්නේම ඒ පුද්ගලයා විසින් සංස්කරණය කර ගෙන ගොඩ ගසා ගන්නා දැනුම. දැනුම එකතු කර ගැනීමක් නැත්නම් පුද්ගලයෙක්ද නැහැ.

දැනුම ප්‍රතික්ෂේප කිරීම කියන අදහස බිහි වන්නේ දැනුම් ආධිපත්‍යයන් ප්‍රතික්ෂේප කිරීම කියන අදහසේ දිගුවක් ලෙසයි. දැනුම් ආධිපත්‍යයන් ප්‍රතික්ෂේප කිරීම කියන අදහස ලංකාව තුළ ජනප්‍රිය කරන්නේ නලින් ද සිල්වා විසින්. එහෙත් ඔහු සමස්තයක් ලෙස දැනුම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔහුගේ මතවාදය තුළ, මට තේරෙන විදිහට, දැනුම් ආධිපත්‍යයන් ප්‍රතික්ෂේප වෙන්නේත් නැහැ. ඔහු ලංකාව තුළ “බටහිර දැනුම් ආධිපත්‍යයට” එරෙහිව සිංහල බෞද්ධ දැනුම් පද්ධතියක ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටිනවා. ලෝකය තුළ විවිධ දැනුම් පද්ධති වල “ප්‍රාදේශීය ආධිපත්‍යයන්” තිබීම වෙනුවෙන් (මගේ වචන වලින්) පෙනී සිටිමින් එක් දැනුම් පද්ධතියක් විසින් අනෙකුත් දැනුම් පද්ධති ගිල ගෙන ඒකාධිකාරයක් හදා ගැනීමට එරෙහි වෙනවා.

මට අනුව නලින් ද සිල්වා විසින් මෙතෙක් ඉදිරිපත් කර තිබෙන හොඳම ප්‍රවාදය නිවන පිළිබඳ ඔහුගේ අර්ථදැක්වීමයි. එය ථෙරවාද ත්‍රිපිටකය හා ගැලපේද යන්න මම ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ. නැති මනස නැති මනසක් බව නැති මනසින් අවබෝධ කර ගැනීම තුළ සියළුම දැනුම් ප්‍රතික්ෂේප කිරීමක් තිබෙනවා. හැබැයි එයින් පසුවත්, අනුපාදිශේෂ නිර්වාණය දක්වාම, එසේ ප්‍රතික්ෂේප කළ දැනුම ප්‍රයෝජනයට ගැනීමක් සිදු වෙනවා. පුද්ගලයෙකු නැති බව තේරුම් ගෙන ජීවත් වන “පුද්ගලයෙක්” ඉන්නවා. මනසක් නැති බව තේරුම් ගත් “මනසක්” තිබෙනවා.

දැනුම සමස්තයක් ලෙස ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ලෞකික වූ කිසිවක් ඉතිරි විය නොහැකියි. දැනුම සමස්තයක් ලෙස ප්‍රතික්ෂේප නොකරන තාක්, හැම මොහොතකම දැනුම එකතු කරන පුද්ගලයෙක්ද ඉන්නවා. මොහොතින් මොහොත වෙනස් වන පුද්ගලයා යනු මොහොතින් මොහොත සංස්කරණය කර ගන්නා දැනුමයි. දැනුම සංස්කරණය කර ගැනීමට එකතු කර ගැනීම මෙන්ම අත හැර දැමීමද ඇතුළත්. එහෙත් දැනුමේ සංරචක මිස සමස්තයක් ලෙස දැනුම අතහැර දැමීමක් සිදු වන්නේ නැහැ.

මරණය සේ අප හඳුනා ගන්නා දෙයින් පසුව දැනුම එක්රැස් කර තබාගත් අසුරණයක් ඒ දැනුමද සමඟ විනාශ වී යනවා. එය භෞතික සීමාවක්. මේ භෞතික සීමාව විසින් දැනුම එක් රැස් විය හැකි සීමාවක් සලකුණු වෙනවා. එහෙත්, දැනුම මෙවැනි අසුරණයකින් පිටතට සම්ප්‍රේෂණය කිරීම මගින් ඉහත ස්වභාවික සීමාව අතික්‍රමණය කළ හැකියි. එසේ එක් තැනක එක් රැස් කර තිබෙන දැනුමකින් අසුරණය පුරවා ගැනීම ටිකෙන් ටික සතෙන් සතේ එකතු කරනවාට වඩා කාර්යක්ෂමයි. මේ ක්‍රියාවලිය තුළ ස්වභාවිකවම දැනුම් ආධිපත්‍යයන් ඇති වෙනවා. හැම විටම වාගේ වැඩිහිටි පුද්ගලයෙකුව බිහි කරන්නේ කවර හෝ දැනුම් ආධිපත්‍යයක් විසින්.

නලින් ද සිල්වාගේ මතවාද බිහි වන්නේ සමාජවාදී අවකාශයක මාක්ස්වාදයට හා සමාජවාදයට එරෙහි විවේචනයක් ලෙසයි. මාක්ස්වාදය තුළ දැකිය හැක්කේ ප්‍රාග්ධනයේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීමක්. දැනුම් ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ අදහස මතු වන්නේ ප්‍රාග්ධනයේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ අදහසේ දිගුවක් ලෙසයි.

දැනුම සමස්තයක් ලෙස ප්‍රතික්ෂේප කිරීම විකාර අදහසක් වුවත්, දැනුමේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම හෝ ප්‍රාග්ධනයේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම නරක අදහස් දෙකක් නෙමෙයි. ප්‍රශ්න මතු වන්නේ එයින් පසුවයි. මේ ප්‍රතික්ෂේප කිරීම් කළ යුත්තේ ඇයි? මේ ප්‍රතික්ෂේප කිරීම් කළ හැක්කේ කොහොමද?

දේශපාලනිකව ගත්තොත්, කොන්දේසි විරහිතව නොවූවත්, මා පෙනී සිටින්නේ ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා (බටහිර) විද්‍යාව යන පැකේජය වෙනුවෙනුයි. ඔය තුනටම බරපතල විවේචන තිබෙනවා. ඒ විවේචන ගැන මා නොදන්නවා නොවෙයි. ඒ වගේම ඒ විවේචන නොසලකා හරිනවාත් නෙමෙයි. ඒ විවේචන සියල්ල එලෙසම තිබියදී වුවද මගේ හේතු සහගත තෝරා ගැනීම ඉහත පැකේජයයි. එහෙත්, මේ කිසිවක් වෙනුවෙන් අනුරාගයක් මට නැහැ. හේතු ඇත්නම් ඔය තුනෙන් ඕනෑම එකක් අත හැර දමන්න මම පැකිලෙන්නේ නැහැ.

ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා (බටහිර) විද්‍යාව යන පැකේජයෙන් වඩාත්ම අර්බුදයට ගොස් තිබෙන්නේ විද්‍යාව කියා කියන්න පුළුවන්. විද්‍යාව හරහා අප ඇත්තටම ඉදිරියට යනවාද කියන එක කෙනෙකුට පහසුවෙන් ප්‍රශ්න කළ හැකි දෙයක්. මා පෞද්ගලිකව එසේ විශ්වාස කරනවා. එහෙත්, එය හුදෙක් විශ්වාසයක් පමණයි. එහෙත්, එම විශ්වාසයට පදනමක් තිබෙනවා. ඒ මගේ අනුභූතික නිරීක්ෂණ.

මගේ අනුභූතික නිරීක්ෂණ හා වෙනත් අයෙකුගේ අනුභූතික නිරීක්ෂණ සමාන විය යුතු නැහැ. ඒ නිසාම, වෙනත් අය විද්‍යාව හරහා අප ඇත්තටම ඉදිරියට නොව පසුපසට යනවා කියා හිතනවානම් මට ඒ අදහසට අභියෝග කළ හැකි පදනමක් නැහැ. බටහිර විද්‍යාවට එරෙහි ඇතැම් අය වෙනත් විකල්ප දැනුම් වෙනුවෙන් පෙනී සිටිනවා. මා මෙවැනි විකල්ප දැනුම් අහේතුකව ප්‍රතික්ෂේප කරන්නේ නැතත්, සාමාන්‍ය මූලධර්මයක් ලෙස අහේතුකව පිළිගන්නේද නැහැ. බටහිර විද්‍යාවේ ක්‍රමවේදය මගේ තේරීම වන්නේ එම ක්‍රමවේදය තුළ වෙනත් විකල්ප ක්‍රමවේද හා දැනුම් පහසුවෙන් අවශෝෂණය කර ගැනීමේ පුළුල් හැකියාවක් තිබෙන නිසයි. අනෙක් විකල්ප දැනුම් කිසිවකට මේ හැකියාව මෙපමණකට නැහැ.

ලෝකය ප්‍රගතිය කරා ගමන් කරන්නේය යන අදහස කෙනෙකු ප්‍රතික්ෂේප නොකරන්නේනම්, එම ප්‍රගතිය සිදු වන්නේ විද්‍යාවේ දියුණුව සමඟ කියන කරුණද පැහැදිලිව පෙනෙන දෙයක්. ධනවාදය වගේම මාක්ස්වාදී සමාජවාදයද විද්‍යාව වෙනුවෙන් පෙනී සිටිනවා. මාක්ස්වාදය ඉදිරියට ගියේම විද්‍යාවේ කොටසක් ලෙසයි. විද්‍යාව යනු සත්‍යයය යන අදහස අභියෝගයට ලක් වන තුරු මාක්ස්වාදය ප්‍රශ්න කෙරුණේ විද්‍යාවට සාපේක්ෂවයි. විද්‍යාවට ප්‍රමුඛතාවය ලැබුණු ලෝකයක ආගම් මිථ්‍යාවන් සේ ප්‍රතික්ෂේප කෙරුණා.

කවර සීමාවන් තිබුණත්, අද පවා, විද්‍යාවේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරන අය විසින් වුවද විද්‍යාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එසේ කරනවානම් කරන්නේ සියළු දැනුම් ප්‍රතික්ෂේප කරන අතළොස්සක් පමණයි. මේ හේතුව නිසා ලෝකයේ සියළු රාජ්‍යයන් අඩු වැඩි වශයෙන් විද්‍යාව වෙනුවෙන් පෙනී සිටිනවා.

මාක්ස්වාදය මත පදනම් වූ සමාජවාදියෙකුට කෙසේවත් විද්‍යාව අත හරින්න බැහැ. මාක්ස්වාදී රාජ්‍යයන් බොහෝ විට විද්‍යාව වෙනුවෙන් සෘජුව පෙනී සිටිනවා වගේම බොහෝ අවස්ථා වලදී ආගම් වලට එරෙහිවද සෘජුව පෙනී සිටිනවා. ඒ නිසා, සමාජවාදී ඒකාධිපතිත්වයක් තුළ බොහෝ විට විද්‍යාවේ ආධිපත්‍යයද නඩත්තු වෙනවා. විකල්ප දැනුම් විනාශ වීමක් හෝ විද්‍යාව තුළට අවශෝෂණය කර ගැනීමක් සිදු වෙනවා.

ධනවාදය තුළ යෝජනා කෙරෙන ප්‍රගතිය සඳහාද විද්‍යාව නැතුවම බැහැ. ඒ නිසා, ධනවාදී රාජ්‍යයකටද විද්‍යාව වෙනුවෙන් සෘජුව පෙනී සිටින්න සිදු වෙනවා. එහෙත් එය සිදු වන්නේ ප්‍රගතිය සඳහා විද්‍යාව ඉවහල් වීම හේතුවෙනුයි. එය එසේ වන්නේද යන්න පරීක්ෂාවට ලක් කෙරෙන යාන්ත්‍රනය ප්‍රජාතන්ත්‍රවාදයයි. රටේ බොහෝ දෙනෙකු විසින් විද්‍යාව ප්‍රතික්ෂේප කරන සන්දර්භයක, ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට විද්‍යාව වෙනුවෙන් සෘජුව පෙනී සිටිය නොහැකියි. එසේ නොවීම තුළින් ගම්‍ය වන්නේ ධනවාදී රටවල බොහෝ දෙනෙකු විද්‍යාව ප්‍රගතිය සඳහා ඉවහල් වන බව පිළිගන්නා බවයි.

මෙයින් වෙනස්ව බොහෝ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් කිසියම් ආගමක් වෙනුවෙන් සෘජුව පෙනී සිටින්නේ නැහැ. එහෙත්, ප්‍රජාත්නත්‍රවාදය තුළම, කිසියම් රටක බහුතර කැමැත්ත අනුව, රාජ්‍යයක් කිසියම් ආගමක් වෙනුවෙන් සෘජුව පෙනී සිටින තත්ත්වයක් ඇති විය හැකියි. විද්‍යාව එකම හෝ පරම සත්‍යය සේ නොපෙනෙන සන්දර්භයක එවැනි අවකාශයක් ඉතිරිව තිබීමේ කිසිදු වරදක් නැහැ.

අප පුද්ගලයින් සේ ගොඩ නැගීමම දැනුම එකතු කර ගැනීමක් නිසා අප හැදෙන වැඩෙන දැනුම් ආධිපත්‍යයෙන් ස්වායත්තව අපට ගොඩ නැගිය නොහැකියි. දැනුම් එකතු කර නොගත්තොත් අප පුද්ගලයන් සේ පවතින්නේම නැහැ. දැනුම් තිබෙන තුරු, නොවැලැක්විය හැකි ලෙස, දැනුම් ආධිපත්‍යයන්ද තිබෙනවා. දැනුම් ආධිපත්‍යයක් තුළ ගොඩ නැගෙන පුද්ගලයෙක්ට ඒ දැනුම් ආධිපත්‍යයෙන් මිදෙන්න හෝ සවිඥානිකව ඒ තුළම රැදී සිටින්න තමන් සමඟම යම් අරගලයක් කරන්න සිදු වෙනවා. මේ සඳහා යම් පෙළඹවීමක් හෝ ඇති වන්නේ තමන් රැඳී සිටින දැනුම් ආධිපත්‍යය තුළම එම දැනුම් ආධිපත්‍යයට එරෙහිව කැරළි ගසන යම් පිරිසක්ද සිටීනම් පමණයි. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් කියා කියන්නේ මෙවැනි කැරළිකරුවන්ගේ හඬටද ඉඩක් ලැබෙන තැනක්.

පරම වූ දැනුමක් පිළිබඳ සහතිකයක් නැති සන්දර්භයක, රජය විසින් කිසියම් දැනුම් ආධිපත්‍යයක් නඩත්තු කිරීම ප්‍රශ්නයක් නොවන්නේ එම දැනුම් ආධිපත්‍යය පහසුවෙන් බිඳ දැමිය හැකි කවර හෝ යාන්ත්‍රණයක් ඇත්නම් පමණයි. එසේ නැත්නම්, ප්‍රගතියේ දිශාව මග හැරී ආපසු ගමන් කරන අවස්ථාවක, ඒ බව පහසුවෙන් දැනගන්න නොලැබෙන නිසා, බොහෝ දුර ආපසු යන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒකාධිපතිත්වයන්ගේ තිබෙන ප්‍රශ්නය මෙයයි.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස් මාක්ස්වාදීන් විසින්ද අගය කරන අදහසක්. කොමියුනිස්ට් ප්‍රකාශනය තුළ, අතරමැදි සමාජවාදී රාජ්‍යයක් යෝජනා කරන්නේම ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමේ අරමුණින්. එහෙත්, සමාජවාදීන් විසින් යෝජනා කරන ප්‍රජාතන්ත්‍රවාදය බටහිර ප්‍රජාතන්ත්‍රවාදයම නෙමෙයි. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය තුළ සිදු වන්නේ අලුත්, වෙනස් අදහස් වලට මතු වන්නට හා සමාජය පුරා පැතිරෙන්නට ඉඩ දීමයි. ඒ හරහා, හොඳම අදහස බහුතර අදහස බවට පත් වනු දැකීමයි. මෙයින් වෙනස්ව, මාක්ස්වාදය විසින් යෝජනා කරන ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් ඉලක්කය වන්නේ ඔවුන් දකින “හොඳම” අදහස බහුතර අදහස බවට පත් වන තුරු දැනුම් ආධිපත්‍යය හරහා මොළ ශෝධනය කිරීමයි. අධ්‍යාපනයේ හා මාධ්‍ය වල රාජ්‍ය ඒකාධිකාරය මාක්ස්වාදීන්ට ඉතාම වැදගත් වන්නේ ඒ නිසයි.

දැන් චීනය ප්‍රජාතන්ත්‍රවාදය සේ සලකන්නේත්, ජවිපෙ වැනි පක්ෂ විසින් මෙතෙක් ප්‍රජාතන්ත්‍රවාදය සේ සැලකුවේත්, පෙසපෙ ඉතා පැහැදිලිව හා සෘජුව පෙනී සිටින්නේත් මේ ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන්. මෙහිදී “නිවැරදි දෙය” යම් වූ දෙයක් තිබෙනවා. එය දන්නේ පක්ෂයයි. නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමේ මිනුම් දණ්ඩ මාක්ස්වාදී න්‍යායයි. පක්ෂය තුළ සිටින සියලු දෙනාටම (අඩු වශයෙන් සෛද්ධාන්තිකව) අධ්‍යාපනය හරහා මේ නිවැරදි දෙය පිළිබඳව දැන ගන්න ලැබෙනවා. ඒ අනුව, අධ්‍යාපනය හරහා පාක්ෂිකයන් නම් වූ පිරිසක් ගොඩනැගෙනවා.

සමාජවාදී පක්ෂයක පවතින ප්‍රජාතන්ත්‍රවාදය අනුව බිම් මට්ටමේ සාමාජිකයෙකුට එහි නායකත්වය කරා යන්න පුළුවන්. ඒ අතින් සමාජවාදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයද බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට සමානයි. (ලංකාවේ දැන් පවතින ප්‍රජාතන්ත්‍රවාදයනම් වැඩවසම් ක්‍රමයට වඩා ලොකු වෙනසක් නැති ක්‍රමයක්! මැතිවරණ කියා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ එක් සුළු කොටසක් පමණයි.) හැබැයි මේ දෙකේ පැහැදිලි වෙනසක් තිබෙනවා.

බටහිර ප්‍රජාතන්ත්‍රවාදය තුළ පක්ෂයක හෝ වෙනත් ආයතනික ව්‍යුහයක පහළ මට්ටමේ සාමාජිකයෙක් නායකත්වය කරා එන්නේ ඔහුගේ අදහස්ද සමඟයි. බොහෝ විට පුද්ගලයා එතැනම සිටියදී අදහස් නායකත්වය කරා එනවා. ඒ නිසා, නායකත්වයේ සිටින පුද්ගලයා කවුද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නායකත්වයේ මුහුණ එකම වුනත් අදහස් වෙනස් වෙලා.

මෙයින් වෙනස්ව, සමාජවාදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පහළ මට්ටමේ සාමාජිකයෙක් නායකත්වය කරා ආවත් ඔහු හෝ ඇය විසින් අලුත් අදහස් නායකත්වය කරා අරගෙන එන්නේ නැහැ. ඒ වෙනුවට, න්‍යාය සමඟ හොඳින්ම ගැලපෙන අදහස් තිබෙන පුද්ගලයා නායකත්වය කරා එන එකයි වෙන්නේ. නායකත්වයේ මුහුණ වෙනස් වුනත් අදහස් වෙනස් වෙලා නැහැ. (චීනය පවා මෑත කාලයේදී මේ ආකෘතියෙන් විතැන් වීමට උත්සාහ කරමින් සිටිනු දැකිය හැකියි.)

සමාජවාදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පක්ෂ සාමාජිකයින් විසින් අධ්‍යාපනය ලැබීම ඉතාම වැදගත්. (ජවිපෙට අනෙක් මාක්ස්වාදීන් විසින් කළ බරපතල විවේචනයක් වුනේ ඔවුන්ගේ මේ අධ්‍යාපනය පංති පහකට සීමා වූ බවයි.) මෙහිදී පක්ෂ සාමාජිකයින් සියලු දෙනාම එකම ආකාරයට සිතන පිරිසක් බවට පත් කෙරෙනවා. නායකත්වය කරා යාම වැනි කරුණු වලදී ඔවුන්ට සමාන අවස්ථා ලැබෙන්න පුළුවන්. එහෙත්, පක්ෂයෙන් පිට සිටින, වෙනත් අදහස් දරන අයෙකුට ඒ සමාන අවස්ථාව එලෙසම ලැබෙන්නේ නැහැ. සමාජවාදී රාජ්‍යයක ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීම කියා කියන්නේ පක්ෂයෙන් පිටත සිටින සියලු දෙනාටද, රාජ්‍ය බලයේ උදවුවෙන්, අවශ්‍ය “අධ්‍යාපනය” ලබා දීමයි. සියල්ලන්ටම එම අධ්‍යාපනය ලැබුණු පසු සියල්ලන්ටම සමාන අවස්ථා ලබා දීම ගැටලුවක් වන්නේ නැහැ. කියන්නේ එකම දෙයනම් කියන කට කාගෙ වුනත් වෙනස කුමක්ද?

මාක්ස්වාදය මත පදනම්ව, සන්නද්ධ විප්ලවයක් මගින් බලහත්කාරයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීමේ අරමුණින් හැදූ දේශපාලන පක්ෂයක් මැතිවරණ දේශපාලනයට පැමිණි විට ඔවුන්ට උභතෝකෝටිකයකට මුහුණ දෙන්න සිදුවනවා. රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා ඔවුන්ට බහුතර සහයෝගය අවශ්‍යයි. එහෙත්, පක්ෂ සාමාජිකයින් ප්‍රමාණය රටේ කුඩා සුළුතරයක්. පක්ෂයට පිටතින් සිටින අය පක්ෂ සාමාජිකයින් විසින් ලබා තිබෙන “අධ්‍යාපනය” ලබා නැහැ. (ඔවුන් ප්‍රමාණවත් තරමට මොළ ශෝධනය වී නැහැ.) ඔවුන් හිතන්නේ පක්ෂයේ රාමුව ඇතුළේ සිට නෙමෙයි. රාජ්‍ය බලය නැතිව පක්ෂයෙන් පිටත සිටින අයට අවශ්‍ය “අධ්‍යාපනය” ලබා දෙන එක කරන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. ඔවුන්ගේ සහයෝගය ගන්නනම් පක්ෂයට ඔවුන්ට ගැලපෙන සේ වෙනස් වෙන්නම සිදු වෙනවා.

වටෙන් ගොඩෙන් නැතුව කෙළින්ම කතා කළොත් ජවිපෙ කියන්නෙත් සන්නද්ධ විප්ලවයක් මගින් බලහත්කාරයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීමේ අරමුණින් හැදූ දේශපාලන පක්ෂයක්. මැතිවරණ දේශපාලනයට පැමිණීමෙන් පසුවද බොහෝ කාලයක් ඔවුන් මේ අරමුණ අත හැර තිබුණේ නැහැ. ඒ වගේම, ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හැම විටම දැක්කේ මා ඉහත විස්තර කළ මාක්ස්වාදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය මිසක් බටහිර ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. ඔවුන්ට තිබුණේ මාක්ස්වාදී සමාජවාදය මත පදනම් වූ ප්‍රතිපත්ති.

එක්තරා අවස්ථාවකදී, මැතිවරණ දේශපාලනය තුළ, විශාල ජයග්‍රහණයක් ලබන්නට ජවිපෙ සමත් වුනා (චන්ද්‍රිකා සමඟ සභාගය). එහෙත්, එයට හේතුව වූයේ ලංකාවේ මිනිස්සු හදිසියේම ජවිපෙ ප්‍රතිපත්ති පිළිගැනීම නෙමෙයි. ඔවුන්ට ප්‍රධාන පක්ෂ දෙකම එපා වීමයි.

මේ අවස්ථාවේ වුවද ජවිපෙ කටයුතු කළේ සාමාන්‍ය මාක්ස්වාදී සමාජවාදී පක්ෂයක් ලෙසයි. ඔවුන්ව තෝරාගත් මිනිස්සුන්ට අවශ්‍ය පරිදි ජවිපෙ වෙනස් වුනේ නැහැ. ඒ නිසා, මැතිවරණ දේශපාලනය තුළ ඉදිරියට පැමිණීමට තිබුණු අවස්ථාව ජවිපෙට අහිමි වී ගියා. කෙසේ වුවද, මේ අවස්ථාවේදී මහජන නියෝජිතයින් සේ පත් වුනු ඇතැම් පුද්ගලයින් මේ උභතෝකෝටිකය තේරුම් ගත්තා. පක්ෂය වෙනස් කර ගන්න බැරි නිසා විමල් වීරවංශ වැනි ඇතැම් අය පක්ෂය අත හැර රැල්ල හමන පැත්තට පාවෙලා ගියා. තවත් අය මේ විදිහටම රැල්ල එක්ක පාවී ගොස් පක්ෂය දිය වීමේ අවදානම හමුවේ ජවිපෙ ටිකක් වෙනස් වුනා. ඒ වෙනස් වීම මුල් ස්ථාවරයට නොගැලපුණු නිසා පක්ෂයේ සිටි මූලධර්මවාදීන් ටික පෙසප ලෙස ඉවත් වී ගියා. ජවිපෙ රුවල් බිඳුණු ඔරුවක් වගේ දෙපැත්තට වැනෙන්න ගත්තා. මැතිවරණ කිට්ටු වෙද්දී ජනමතය පැත්තට නැමුනා. අනපේක්ෂිත මැතිවරණ ප්‍රතිඵල හමුවේ ආපහු න්‍යාය පැත්තට නැමුනා.

ඔහොම දෙපැත්තට වැනි වැනී හිටපු ජවිපෙ දැන් නැවතත් ජනමතය ගැන හිතන්න පටන් අරගෙන තිබෙනවා. මේ වෙනස වෙන්නේ හරිනි ජවිපෙ සමඟ සම්බන්ධ වීමෙන් පසුවයි. පසුගිය කාලය පුරාම ජවිපෙ පක්ෂයට පිටින් සිටි විවිධ උගතුන්, බුද්ධිමතුන්, කලාකරුවන් පක්ෂය සමඟ සම්බන්ධ කර ගත්තත් ඒ කාටවත් ජවිපෙන් වෙනස් වූ ස්වාධීන දේශපාලන අනන්‍යතාවයක් තිබුණේ නැහැ. හරිනිට ඒ අනන්‍යතාවය වගේම අවශ්‍ය පෞරුෂයද තිබෙනවා. මම පෞද්ගලිකව හරිනිව ජවිපෙ මතවාදය සමඟ අනන්‍ය කර දකින්නේ නැහැ. ඇගෙන් නියෝජනය වන්නේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස්. අඩු වශයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කරා වෙනස් වීම මේ වෙලාවේ ජවිපෙ හමුවේ තිබෙන තෝරා ගැනීමක්.

සමාජවාදී පක්ෂයක් විදිහට ජවිපෙ/ජාජබ විද්‍යාව වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වගේම, උගතුන් විසින් රට පාලනය කිරීම වෙනුවෙන්ද පෙනී සිටිනවා. තවත් විදිහකින් කිවුවොත් ජවිපෙ/ජාජබ පෙනී සිටින්නේ රජය මුල් වී (බටහිර) විද්‍යාවේ ආධිපත්‍යය පවත්වා ගැනීම වෙනුවෙන්. මේ කාරණයේදීත් ජවිපෙ/ජාජබට උභතෝකෝටිකයකට මුහුණ දෙන්න වෙනවා. ඒ, මේ පැකේජ් එක ගනිද්දී එහි කොටසක් ලෙස එන නූතන ආර්ථික විද්‍යාව අත හරින්න බැරි වීමයි. නූතන ආර්ථික විද්‍යාව හා මාක්ස්වාදය එකට පැකේජ් කරන්න බැහැ. සුනිල් හඳුන්නෙත්ති වැනි අයට ධනවාදය ගැන කතා නොකර වෙළඳපොළ ගැන කතා කරන්න සිදු වී තියෙන්නේ මෙවැනි පසුබිමක.

මම මේ ටික ලියන්නේ සමච්චලයට නෙමෙයි. මෙය මම දකින හොඳ හැරවුමක්. හැබැයි ඒ එක්කම ජවිපෙ සාමාජිකයින් මෙන්ම නායකයින් බොහෝ දෙනෙකුට තවමත් සම්ප්‍රදායික ජවිපෙ මානසිකත්වයෙන් මිදෙන්න හැකි වී නැහැ. ජවිපෙ විසින් මුලින්ම කළ යුත්තේ තමන්ගේ සාමාජිකයින්ව යාවත්කාලීන කර ගැනීමයි. ජවිපෙ/ජාජබ විසින්ම හඳුනා ගන්නා පරිදි ඉදිරි මැතිවරණයකදී මුඛ්‍ය නිර්ණායකය වන්නේ රටේ ආර්ථිකය නිසා මෙය සෑහෙන බරක් තැබිය යුතු කරුණක්.

ධනවාදය වුවත් රජය මුල් වී ආධිපත්‍යවාදී ලෙස ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මම පෙනී සිටින්නේ නැහැ. රජය විසින් සැලසුම්සහගතව ක්‍රියාත්මක කරන්න යන දෙයක් ධනවාදය වෙන්නෙත් නැහැ. හැබැයි රාජ්‍යමූලික සමාජවාදී ක්‍රමයක් ඇතුළේම වුනත්, වෙළඳපොළට ඉඩක් දීම එසේ නොදෙනවාට වඩා ගොඩක් සාර්ථක ක්‍රමයක්. චීනය කරන්නේ ඒකයි.

ජවිපෙ/ජාජබට ප්‍රතිමුඛ වී සිටින චම්පිකගේ 43 බලකාය විසින්ද ජවිපෙ මෙන්ම උගතුන් විසින් රට පාලනය කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. මේ කණ්ඩායම් දෙකම පෙනී සිටින්නේ බටහිර විද්‍යාව වෙනුවෙන්. උගතුන් සේ සැලකෙන්නේ විධිමත් අධ්‍යාපනයක් ලැබූ අයයි. නූතන ආර්ථික විද්‍යාව වෙනුවෙන් පෙනී සිටීමේදී ජවිපෙ/ජාජබට මුහුණ දෙන්න වන ගැටළුවට මුහුණ දෙන්න නොවීම 43 බලකායට තිබෙන සාපේක්ෂ වාසියක්.

නලින් ද සිල්වාගේ මතවාද අනුව යමින් බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට විරුද්ධ වූ පිරිස් සිටියේ මේ ආණ්ඩුව සමඟයි. ඔවුන් ඇතැම් විට බටහිර විද්‍යා ආධිපත්‍ය විරෝධය බටහිර විද්‍යා විරෝධයක් දක්වා දිගු කළ අවස්ථා තිබුණා. මේ වෙද්දී මේ බලවේග ආණ්ඩුව සමඟ විරසක වී ඇති බවක් පේනවා. ඇත්තටම මේ ආණ්ඩුව බලයට ගෙනාවේම එක් සංවිධානයක් තුළ ගොනු නොවී විසිරී සිටි මේ මතවාදය සමඟ සිටි පිරිසකගේ උදවුවෙන්. මේ මැතිවරණ සන්දර්භය තුළ මේ පිරිස යම් අවස්ථාවක කවුරු හෝ වටා එකතු වෙයි. මේ කණ්ඩායමට තිබුණු හා තිබෙන ලොකුම අඩුපාඩුව ආර්ථිකය කළමනාකරණය සම්බන්ධව කිසිදු විකල්ප මතවාදයක් නැති වීමයි.

නලින් ද සිල්වාට ආර්ථිකය සම්බන්ධව විකල්ප මතවාදයක් හදා ගන්න නොහැකි වී තියෙන්නේ ඔහු ආර්ථික විද්‍යාව නොදැන සිටීම නිසාම නෙමෙයි. විධිමත් ලෙස හදාරා නැති වෙනත් විෂයයන් ගැනද ඔහුට විකල්ප අදහස් තිබෙනවා. ඔහුගේ ප්‍රශ්නය ඔහු මාක්ස්වාදය පිළිබඳ කොයි තරම් දරුණු විවේචකයෙකු වුවත් ආර්ථිකය තේරුම් ගැනීමේදී මාක්ස්වාදයේ රාමුව තුළම හිර වී සිටීමයි. දැනුමේ ආධිපත්‍යය පිළිබඳ නලින් ද සිල්වාගේ ප්‍රවාදයත් මාක්ස්වාදී රාමුවේම තිබෙන ප්‍රාග්ධනයේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රවාදයේම දිගුවක්. ඔහු දැනුමේ ආධිපත්‍යය දකින්නේ මාක්ස්වාදීන් ප්‍රාග්ධනයේ ආධිපත්‍යය දකින රාමුවේම සිටයි. ඒ නිසා, මේ ආධිපත්‍යයට එරෙහි විය හැකි ප්‍රායෝගික ක්‍රමයක් ගැන සිතන එක ඔහුට අසීරු වී තිබෙනවා.

දැනුම් කළමනාකරණය ලංකාවේ සන්දර්භයේදී විශාල දේශපාලනික වැදගත්කමක් තිබෙන කරුණක්. ලිපිය පටන් ගත්තේ පිරමිඩ් ක්‍රම ගැන ලියන්න හිතාගෙනයි. එය වෙන ලිපියකට තියමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.