ආර්ථික අර්බූද හා මැතිවරණ හමුවේ රට, ජාතිය, ආගම බේරා ගැනීමේ ප්‍රොපගැන්ඩාවෙන් මිනිසුන්ගේ මොල සේදීමේ කලාව හොදින්ම ප්‍රගුණකල දේශපාලනඥයා මහින්ද රාජපක්ෂය. මේකට හේතුව දකුණු ආසියාතික පසුගාමී සමාජයන් තුල වෙසෙන ජනයා ලාබ ජාති ආලයන්ගේ පහසු ගොදුරු වීමේ දුර්වල ගතිකත්වයකින් සමන්විත වීම නිසාය.
කාලයක් තිස්සේ මේ ජාත්‍යාල බලවේගවල අයිතිය ලබාගැනීමට හෙළ උරුමය සහ ජ.වි.පෙ. වැනි ව්‍යාපාර දැවැන්ත උත්සාහයක් ගත්තද මහින්ද යුද්ධය ජයග්‍රහණය කිරීමත් සමඟ එය ඓතිහාසික ලෙස මහින්දගේ තනි බුක්තියට සින්න විය. මෙහිදී මහින්දට සින්න වුනු මේ ජාත්‍යාල බලවේගය යනු අනගාරික ධර්මපාලගේ සිට මේ දක්වා සිංහල බෞද්ධ ජාතිකවාදය විසින් වර්ධනය කරන ලද නිශ්චිත බලව්‍යාපෘතියකට අයත් ආකෘතියකි. එමෙන්ම දැන් එකී සිංහල බෞද්ධ ජාත්‍යාල වාදයට රාජපක්ෂ වාදයට පිටින් නිශ්චිත පැවැත්මක්ද නැත.
මෙහිදී ජන මනස ඔවුන්ට අවශ්‍ය පරිදි මෙහෙයවා ගතයුතු සෑම අවස්තාවකදීම රට බේරා ගැනීමේ නාටකය රඟ දැක්වෙයි. මහින්දගේ සහ ඔහුගේ සහචර උපදේශකයන්ගේ අධ්‍යක්ෂනයෙන් දිගහැරෙන රට බේරාගැනීමේ නාටකය “කොටි නැගිටීම” “ඉස්ලාම් ව්‍යාප්තවාදය” “විජාතික බලවේග” “ජාත්‍යන්තර අධිකරණය” “විදුලි පුටුව” වැනි එකම පිළුනු ජවනිකාවලින් සමන්විතවේ.
රටේ ආර්ථිකය බංකොලොත් වීමේ හේතුව මත පසුගිය සමයේ ඇතිවු තෙල් ගෑස් අර්බූදය තුල නාගරික ජනයාට රාජපක්ෂවරු එකවර වහකදුරු තත්වයට පත්විය. නමුත් ලාංකීය සමාජය යනු ඉතා දීර්ඝ කාලයක් තිස්සේ දේශානුරාගී ගොහොරුවේ කරවටක් එරී සිටි සමාජයක් වන බැවින් මහින්ද වැනි බූමිකාවක් එතරම් පහසුවෙන් දේශපාලන පිටියෙන් ඉවත් කල නොහැකිය.
එහිදී මතුවූ නාගරික ප්‍රජාවගේ අරගලය සෝඩා බෝතලයක් කැඩුවා සේ මතු පිටින් පුපුරා ගියද මහින්දගේ යුධ ජයග්‍රහණ වීර චරිතාපදානය ඝන මන්ඩියක් සේ ජාතිය පතුලේ දිගින් දිගටම ඉතිරිවිය.
මෙයට හේතු සාධක වන සමාජ පසුබිමේ ගැඹුර අපි මදක් විමර්ශනය කර බලතොත් ලංකාවේ වංශ කතාවල සහ පුරා වෘතාන්තවල පවා ඇති පරණ ජාත්‍යාලවාදයන් මේ තත්වයට ඝෘජුවම බලපා ඇතිබව පෙනෙන්නටක තිබේ.
ලාංකීය ඉතිහාසයේ වීර නරපතියන් ලෙස සළකුණු වී ඇති සෑම නිරිදෙක්ම දෙමළ සංහාරයේ යෙදී (දකුණු ඉන්දියානු ආක්‍රමනිකයන් සංහාරය කොට) ආගම ජාතිය බේරාගත් නරපතියන් ලෙස වංශ කතාවල හා ඉතිහාස වෘතාන්තවල සඳහන්වේ. ගැමුණු , ගජබා, විජයබා මීට උදාහරණවේ. ලංකාවේ රුවන්වැලි සෑ චෛත්‍ය සෙසු චෛත්‍යයන් අබිබවා නැගී සිටින්නේ චෛත්‍යය ඉදිකිරීමට පෙර දුටුගැමුණු කල ජාතික මෙහෙවර ලෙස සැලකෙන දෙමළ සංහාරය නිසාය.
මෙහිදී මෙයාකාර පරණ වංශකතා ඉතිහාසයට අළුතෙන් එක්වූ තිස් වසරක යුද්ධය නිමාකොට තුන් සිංහලය එක්සේසත් කල මහින්ද නරපතියාගේ බූමිකාවද තවත් චිරාත් කාලයක් ඉතිහාසයේ ගැඹුරු සලකුණක් සේ පවතිනු ඇත. පිටත දියුණු ලෝකයේ සිට බැලූවිට මහින්දගේ යුධ ජයග්‍රහණය ම්ලේච්ඡ ලේ සළකුණක් සේ දිස්වෙතත් රට ඇතුලේ ජාත්‍යාල සමාජයට එය රන් සළකුණක් සේ දිස්විය හැකිය. රාජපක්ෂ පාලනය පැවැත්මේ අර්බූදයට ගිය සෑම මොහොතකම ඔවුන් “රට අනතුරේ” යන කැම්පේන් එක ගෙනා සැනින් අර්බූදය අතුරුදන්වීමේ රහස ඇත්තේ එකී ඓතිහාසික ව්‍යාජ ජාත්‍යාල විඥානය තුලය.
මෙහිදී රාජපක්ෂවාදයට එරෙහිව මතුවෙන බලවේග ගත්කල ඒවාද දීර්ඝ කාලයක් එකට එකතු කර තැබිය නොහැකි විවිධ අබිලාශ සහිත කන්ඩායම් බව ගොල්ෆේස් අරගලයෙන් පසු එහිම ඇතිවූ බෙදීම් වලින් මනාව පැහැදිලි වේ. මෙයින් පැහැදිලි වන්නේ රාජපක්ෂවාදය යම් දෘෂඨිවාදයක් ලෙස ගතහොත් (අපි මොනවා කිව්වත්) එහි පිටත පවතින ප්‍රතිවාදය තාමත් දුර්වල මට්ටමක පවතින බවය.
නාගරික මැද පන්තිය නියෝජනය කල පසුගිය අරගලය තුල ප්‍රබල මහින්ද විරෝධයක් අඩංගුව තිබුනද එයද වැඩිකල් අල්ලා සිටීමට නොහැකිවූ අතර ඈත ගමේ සමාජයේ සහ නගරවලට එපිටින් පවතින මහා සමාජයේ සිටින සාම්ප්‍රදායික පොදු ජනයා රට බේරාගත් නරපතියාට සිදුවන හිරිහැරය ගැන නිහඬ අමනාපයකින් බලා සිටියේය.
තත්වය මේ මොහොතට අදාලව ගත් කල විසඳුමක් නැතිව ටිකෙන් ටික කල් දාගන්නා ආර්ථික අර්බූදය එකවර කඩාවැටීමට නියමිත මොහොත පැමිනීමට පෙර මහජන ආතතිය ජාත්‍යාල වර්ගවාදයක් කරා තල්ලුකර දැමීම මේ මොහොතේ පාලකයන් සතුව ඇති එක් දේශපාලන උපාය මාරුවකි. මහින්ද යනු මෙවන් ක්‍රියාන්විතයන්වල කෙළ පැමිණි දේශපාලකයෙකි. මේ මොහොත වනවිට බිමේ පෙනෙන්නට තිබෙන බොහෝ දේශපාලන චලනයන් වලින් මේ ක්‍රියාන්විතයේ පිඹුරු පත්වල සෙවනැලි අපට දැකගත හැකිය.
මෙහිදී සේපාලගේ සිද්ධිය ඊළඟට මර්වින්ගේ ජවනිකාව වූකලී ලඟ ලඟ එන මහා දේශානුරාගී රංගනයක ට්‍රේලරයේ මුල් කොටස් විය හැකිය. මෙහිදී රනිල් යනු ජාතිවාදය සමඟ ඩීල් කරන දේශපාලකයෙකු නොවුවද විකල්ප නොමැතිකම නිසා මහින්දගේ ජාත්‍යාල දේශපාලනය තමන්ට අවශ්‍ය ආවරනය සකස්කර ගැනීම සඳහා බාවිතාකරනවාද විය හැකිය.
ජේ. ආර්. ජයවර්ධන යනු ජාතිවාදී පාලකයෙකු නොවුවද ඔහුගේ විවෘත ආර්ථික ක්‍රියාන්විතයට එරෙහිව පොලොවෙන් මතුවූ පොදු විරෝධය වෙනතකට හරවා යැවීම පිනිස ඔහු 83, දෙමළ සංහාරය ඔහේ ඇදෙන්නට ඉඩ දුන්නේය. ඇත්තෙන්ම එය ඔහු දුන් නරකම සහ බයානකම පූර්වාදර්ශයක් විය. පසුකාලයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට දෙමළ ජනයාගේ හා ජාත්‍යන්තරයේ සහයෝගය නොමදව ලැබීමට ජයවර්ධනගේ ඒ ක්‍රියාකලාපය හේතුවිය.
ඒ අනුව මේ මොහොතේ ලිබරල් දේශපාලකයෙකුවූ රනිල් විසින් ඔහුගේ දේශපාලනයට අවශ්‍ය ආවරනය ලබාගැනීමට එවන් වර්ගවාදී ආවරණ ලබාගන්නේ නම් එහි කෙලවර කොහෙදැයි දන්නා කිසිවෙකුත් නැත.
ගිනි පුපුරක් වැටුන සැනින් වහා ගිනි ඇවිලෙන ජාත්‍යාලයන් ඇති රටක එවන් බයානක ගෝත්‍රවාදයන් අතිශය බයානකවේ. විශේෂයෙන් මිනිසුන් ඇතුලේ කැකෑරෙන ධරුණු ආතතියකින් පසුවෙන මෙවන් මොහොතක එවන් වාර්ගික ම්ලේච්ඡත්වයක් ඇවිල ගියහොත් එය නිවා දැමීම කෙසේවත් කල නොහැකි දෙයක් වන නිසා..
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN