ජනපති සමඟ මැදපෙරදිග රටවල් 10 ක තානාපතිවරුන් සාකච්ඡාවක්!

0
107

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 11 කොළඹ (LNW): අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මැදපෙරදිග රටවල් 10 ක තානාපතිවරුන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡාවක් පවත්වා ඇති බව සඳහන් වේ.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, එහිදී මැදපෙරදිග කලාපය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳවද ජනාධිපතිවරයා විසින් තානාපතිවරුන් දැනුවත් කළ බවයි.

ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ, එම රටවල් සමඟ වඩාත් සමීප සහයෝගීතාවයක් වැඩිදියුණු කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දී ඇති බව ද මෙහිදී අවධාරණය කළ බවයි.

තවද, ස්ථීර සහ ක්‍රියාකාරී පලස්තීන රජයක් පිහිටුවීම වෙනුවෙන් පෙනී සිටින අතරම බටහිර ඉවුරේ (West Bank) සිටින පදිංචිකරුවන් ඉවත් කිරීමට බලධාරීන් තීරණාත්මක පියවර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළ අතර, එක් රාජ්‍යයක් පිහිටුවීම මගින් ද්විත්ව රාජ්‍ය විසඳුමක් ලබා දිය නොහැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. හමාස් සංවිධානයේ ත්‍රස්තවාදී ප්‍රහාර මෙන්ම ගාසා තීරයට දිගින් දිගටම බෝම්බ හෙලීම සාධාරණීකරණය නොකළ යුතු බව තරයේ ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා සාමකාමී යෝජනාවක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව පැවසීය.

මීට අමතරව, ගාසා තීරය වෙත ශ්‍රී ලංකාවද මානුෂීය ආධාර සැපයීමට කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාසා තීරය වෙත මානුෂීය අධාර සැපයීම් අඛණ්ඩව සිදු කරන ලෙස ද ඉල්ලා සිටි අතර , පලස්තීන ජනතාව මුහුණ දී සිටින දුක්ඛිත තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නොසැලෙන කැපවීම පෙන්නුම් කරමින් සටන් විරාමයක් ඇතිකරගන්නා ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය..

පලස්තීනය සහ ගාසා තීරය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දක්වන ස්ථාවර සහයෝගය වෙනුවෙන් මැදපෙරදිග රටවල් නියෝජනය කරමින් සහභාගී වූ තානාපතිවරු එහිදී සිය ස්තූතිය පළ කර ඇත.

ගාසා තීරයේ සිදුවන සටන් නැවැත්විය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා සඳහා ශ්‍රී ලංකාව දක්වන සහයෝගය පිළිබඳ සිහිපත් කළ තානාපතිවරු, ඒ සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකාවේ නොසැලෙන ස්ථාවරය ද අගය කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකාව රතු මුහුදේ ආරක්ෂක මෙහෙයුම්වලට සහභාගී වීම පිළිබඳ සඳහන් කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීම සහ නාවික ගමනාගමනය සඳහා පැවතිය යුතු නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව මෙම මෙහෙයුම සඳහා සම්බන්ධ වී ඇති බව ද සඳහන් කළේය.

මෙම සාකච්ඡාවන්හිදී, බටහිර රටවල් සමඟ පවතින සබඳතාවලට අමතරව ආසියාව, බටහිර ආසියාව, අප්‍රිකාව සහ මැදපෙරදිග යන කලාප සමඟ ද පවතින සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධාරණය කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව අනුගමනය කරන පුළුල් විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධව තානාපතිවරුන් වෙත කරුණු පැහැදිළි කළේය.

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා ප්‍රමුඛ, ඊජිප්තුව, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ලිබියාව, ඉරානය, කුවේට්, සෞදි අරාබිය, ඕමානය සහ ඉරාකය යන රටවල තානාපතිවරුන් මෙම සාකච්ඡාව සඳහා එක්වූහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇