ඓතිහාසික වශයෙන් දිගින් දිගටම සිදුවන අයුක්තීන් හා අභියෝග හමුවේ, ශ්‍රී ලංකාවේ දමිළ ප්‍රජාව සිය දේශපාලන උපායමාර්ගය පිළිබඳ යළි සිතා බැලීම හදිසි අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ. නිසි විසඳුමක් ලබා ගැනීම සඳහා අතීතයේ පැවති අවස්ථා ප්‍රතික්ෂේප වී යාම හමුවේ අර්තවත් ප්‍රගතියක් අයත්කර ගැනීම පමා වී තිබේ. බෙදීම වළකාලනු ලබන, සියලු ප්‍රජාවන් අතර ඒකාබද්ධතාවය සහතිකකරනු ලබන, සහභාගීත්වය මත පදනම් වූ දේශපාලන විසඳුමක් කෙරේ යොමු වීම වෙනදාටත් වඩා දැන් අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්ව තිබේ. දමිළ, මුස්ලිම්, මලයාලම් දමිළ, සහ සිංහල බහුතරය ඇතුළු අගතියට පත් සියලු කණ්ඩායම්වල ගැටළු ඵලදායී ලෙස ආමන්ත්‍රණය කළ හැකි විශ්වාසනීය සහ ඇතුළත්භාවයෙන් යුතු සන්ධානයක් බිහිකර ගැනීම සඳහා දමිළ සිවිල් සමාජය සිය සහෘද ප්‍රජාවන් සමඟ එක්විය යුතු කාලය එළඹ තිබේ. එමෙන්ම, බරපතල මානව හිමිකම් උල්ලංඝනයවීම්වලට යුක්තිය ඉටු කිරීම සහ තිරසාර ප්‍රතිසංස්කරණයන් සඳහා අධිවාචනයේ නිරතවීම ද වැදගත් වේ.
ශ්‍රී ලංකා රාජ්‍යය, දිගු කාලයක් මුළුල්ලේ තම ව්‍යූහයන් සහ ප්රතිපත්තීන් ඔස්සේ පද්ධතිගත වූ අසාධාරණයන් සඳහා ඉඩකඩ සපයා දී තිබේ. දමිළ විරෝධී ජන සංහාර සහ ව්‍යවස්ථාවෙන් සහතිකකොට ඇති ආරක්ෂාව නොසළකා හැරීමේ සිට දඬුවම් නොපැමිණවීම සාමාන්‍යකරණය කර තිබීම දක්වා, මෙරට බහු-වාර්ගික ව්‍යූහය නොපිට හැරවීම ශ්‍රී ලංකාව තුළ ඓතිහාසික වශයෙන් සිදු වී ඇත. ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනයවීම හමුවේ වගවීමක් නොමැති වීම මෙකී ක්‍රියාවන් හා බැඳී ඇති අතර, එමඟින් ජනවාර්ගික ආධිපත්‍යය සහ බෙදීම් තවතවත් උත්සන්නකර ඇත. විවිධ ජන කොට්ඨාශ අතර බලය සමානව බෙදා දීමට අසමත්වීම හමුවේ, සුළුතර ප්‍රජාවන් තවදුරටත් දුරස් කොට යුක්තිය සහ සමානාත්මතාවය පිළිබඳ මූලධර්ම හෑල්ලුවට ලක් වී තිබේ.
ශ්‍රී ලාංකික අනන්‍යතාවය තුළින් වාර්ගික සමානාත්මතාවය ස්ථාපිත කිරීම සඳහා රජය විසින් මෑතකාලීන ව ගනු ලැබූ ප්‍රයද්නයන් අප පිළිගන්නා නමුත්, පීඩිත ප්‍රජාවන් අතර ගැඹුරින් මුල් බැසගෙන තිබෙන ගැටළු ආමන්ත්‍රණය කිරීමෙන් තොරව මෙම පියවර ප්‍රමාණවත් වනු ඇතැයි සැළකිය නොහැක. දමිළ, මුස්ලිම් සහ මලයාලම් දමිළ ජනයා දශක ගණනාවක් මුළුල්ලේ සාහසික අපරාධ, පද්ධතිගත වූ වෙනස්කොට සැලකීම්, සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතයේ ප්‍රතිඵලයක් ලෙස විරුද්ධ මත මර්දනය කිරීම සහ මූලික නිදහස අහිමි කිරීම වැනි තත්ත්වයන්ට මුහුණ දී ඇත. මෙවන් අසාධාරණයන් තුළින් විශ්වාසය බිඳ දැමෙන අතර, සංහිඳියාවට බාධා පැමිණවීම සිදුවේ. සැබෑ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා වගවීම, විනිවිදභාවය සහ යළි හට නොගැනීම සහතික කිරීම මෙන්ම, බලය බෙදා දීම සහ සහභාගීත්වය තහවුරුකළ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන ව්‍යවස්ථාමය සහ ආයතනික ප්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍ය වී තිබේ.
මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා, දමිළ සිවිල් සමාජය, සිංහල ප්රගතිශීලී ජනතාව, ප්රජාතන්ත්රවාදී පුද්ගලයන්, වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, සිවිල් සමාජය සහ අනෙකුත් ආන්තික කණ්ඩායම් සමඟ අත්වැල් බැඳ ගැනීමට සක්‍රිය පියවර ගත යුතු ය. අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා සියලු ප්රජාවන්ගේ හදවත් සහ මනස දිනා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. අවසානයේ, ශ්‍රී ලංකාවේ සියලුම ජනතාව විසින් අපේක්ෂා කරන පරිදි, දැවෙන ගැටළු විසඳනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ජනමත විචාරණයක අවශ්‍යතාවය මතුවේ. ඵලදායී සංවාදයක නිරත වීමෙන් සහ යුක්තිය සහ සමානාත්මතාවය පිළිබඳ පොදු දැක්මක් වෙනුවෙන් පෙනී සිටීමෙන්, ජාත්‍යන්තර සම්මුතීන්, ජනවාර්ගික යුක්තිය සහ ප්රජාතන්ත්රවාදී මූලධර්ම මත පදනම් වූ නව ශ්‍රී ලංකාවක් බිහිකර ගැනීමට අපට හැකියාව ලැබෙනු ඇත.
සංහිඳියාව, යුක්තිය සහ ඇතුළත්භාවයේ මාවතකට පිවිසීම සඳහා ශ්‍රී ලංකාවට කාලය පැමිණ තිබේ. මෙය, ප්රතික්ෂේපකරණ සංස්කෘතියෙන් මිදී සහභාගීත්වය සහතිකකරනු ලබන උපායමාර්ගයක් අනුගමනය කිරීම සඳහා, දමිළ සිවිල් සමාජයේ සියලුම සාමාජිකයන්ට මෙන්ම පොදුවේ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත කෙරෙන ආයාචනයකි. දමිළ ජනතාව අතිමහත් දුක් වේදනා සහ අයුක්තීන් ට මුහුණ දී ඇති අතර, අවුල් ජාලයක්ව පවතින අසම්පූර්ණ ලෝකයක කදිම විසඳුමක් එනතුරු බලා සිටීමට අපට නොහැකි ය. ඒ වෙනුවට, යුක්තිය සහ සමානාත්මතාවය තුළ මුල් බැසගත් අනාගතයක් ගොඩනැඟීම සඳහා තීරණාත්මක, නිර්මාණාත්මක සහ සහයෝගීවය සහතිකකරනු ලබන ප්‍රවේශයක් ලබා ගැනීමට අප විසින් කටයුතුකළ යුතු ව ඇත.
දමිළ බස කතා කරන ජනතාව සහ අනෙකුත් ආන්තික ප්‍රජාවන් අතර එකමුතුකම අර්ථවත් ප්‍රගතියක් සඳහා තබනු ලබන මුල්ගල බව ගෝලීය දෙමළ සිවිල් සමාජය (Global Tamil Civil Society: GTCS) තරයේ විශ්වාස කරයි. ශ්‍රී ලංකාවේ සියලුම පීඩිත ජනයාගේ අභිලාෂයන් නියෝජනය කරන ඒකාබද්ධ සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා, අප අතර පවතින ඓතිහාසික බෙදීම් පසෙකට දැමිය යුතුව ඇත. සාධාරණ, ඇතුළත්භාවයෙන් යුතු සහ බහු-ජනවාර්ගික ශ්‍රී ලංකාවක් සඳහා අපගේ දැක්ම බෙදා ගන්නා ප්රගතිශීලී සිංහල සහෘදයන් සහ සහ සිවිල් සමාජ කණ්ඩායම් සමඟ සහයෝගීතාවය වර්ධනය කිරීම මෙයට ඇතුළත් වේ.
සියළු ප්‍රජාවන් වෙත කෙරෙන ආයාචනයයි
මෙම ආයාචනය දමිළ, මලයාලම් දමිළ සහ මුස්ලිම් ප්‍රජාවන්ට පමණක් සීමා නොවේ. එය බහු-ජනවාර්ගික සහ සාධාරණ අනාගතයක් සඳහා අපගේ දැක්ම බෙදා ගන්නා සිංහල බහුතරය සහ සිවිල් සමාජ සාමාජිකයන් ඇතුළු සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත කෙරෙන ආයාචනයකි. යුක්තිය ඉටු කිරීම සදාචාරාත්මක බැඳීමකට පමණක් සීමා නොවන අතර, එය ශ්‍රී ලංකාවේ සැමට තිරසාර සාමය සහ සමෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය පදනමකි.
මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන එක්සත් වීමට, උපායමාර්ග සකස් කිරීමට සහ අරමුණක් ඇති ව ක්‍රියා කරන මෙන් අපි සියලු ප්රජාවන්ගෙන් ඉල්ලා සිටිමු. අප සැවොම එකට එක්වීමෙන්, දඬුවම් ලබා නොදීමට එරෙහි හඬ නැඟිය හැකි ය, වගවීම සහතිකකරන මෙන් ඉල්ලා සිටිය හැකි ය, සියලු ප්රජාවන්ගේ හඬට සවන් දෙන, ගරු කරන සහ අගය කරන ශ්‍රී ලංකාවක් බිහිකර ගැනීම සඳහා වැඩකළ හැකි ය.
අතීතයේ කැළැල් මකා දැමිය නොහැකිවිය හැකි ය, නමුත් එක්සත්කමේ සහ ප්රගතියේ අනාගතයක් කරා ඒවා අපට මඟ පෙන්වනු ඇත. ශ්‍රී ලංකාවේ සියලුම ප්රජාවන්ගේ යුක්තිය, සංහිඳියාව සහ සාමූහික දියුණුව සඳහා ඒකාබද්ධ කැපවීමකින් යුතු ව එක්ව ඉදිරියට යාමට අපි කටයුතු කරමු.
බලාපොරොත්තුවෙන්, දරා ගැනීමේ හැකියාවෙන් සහ අධිෂ්ඨානයෙන් ඉදිරියට යාමට අපි කටයුතු රමු. යුක්තිය, සාධාරණත්වය සහ එකමුතුකම සඳහා දැන් කාලය එළඹ ඇත.
*”A Call for Constructive Engagement” මැයෙන් Global Tamil Civil Society විසින් පළකළ ලිපියේ සිංහල අනුවාදය