රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

Date:

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අධිචෝදනා ගොනුකිරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව තුළ කිසියම් බෙදීමක් හටගෙන ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන අනුව හිටපු ජනාධිපතිවරයාට අධිචෝදනා ගොනුකිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇතිද, නැතිද යන්න සම්බන්ධයෙන් මෙසේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් අතර මතභේදාත්මක තත්වයක් නිර්මාණය වී ඇති බවයි එම පුවත්පත සඳහන් කරන්නේ.

සන්ඩේ ටයිම්ස් පුවත්පත සඳහන් කර ඇත්තේ මෙම තත්වය හේතුවෙන් අදාළ විමර්ශන කටයුතු අධීක්ෂණය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා එම වගකීම්වලින් ඉල්ලා අස්වී ඇති බවයි. හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සම්බන්ධ විමර්ශන ද අධීක්ෂණය කරනු ලැබුවේ එම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් වන අතර ඔහුගේ මතය වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට හෝ වෙනත් කිසිදු පුද්ගලයෙකුට එරෙහිව නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි විමර්ශන උධෘතවලින් අනාවරණය වී නොමැත යන්නයි.

ඒ අනුව, ප්‍රධාන චෝදනාව සනාථ කිරීමට සාක්ෂි නොමැති පසුබිමක, ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සමන් ඒකනායක මහතාට එරෙහිව ද නඩු පැවරිය නොහැකි බව පෙන්වා දෙමින් වසන්ත පෙරේරා මහතා නීතිපති පාරින්ද රණසිංහ මහතා වෙත පිටු හයක වාර්තාවක් ද ඉදිරිපත් කර ඇති බවත් සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත.

කෙසේ වෙතත්, විමර්ශනයේ ප්‍රධාන අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කරන අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට වෙනස් මතයක් ඉදිරිපත් කර ඇති අතර පවතින සාක්ෂි මත හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ හැකි බව ඔහු නීතිපතිවරයාට දැනුම් දී ඇති බවත් පුවත්පත් වාර්තාවෙහි දැක්වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් ද දිලීප පීරිස් මහතාගේ එම ස්ථාවරය අනුමත කර ඇති බවත් එහි සඳහන්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ, කියුබාවේ සිට නිව්යෝර්ක් හරහා ශ්‍රී ලංකාවට පැමිණීමේදී බ්‍රිතාන්‍යය හරහා ගමන් කිරීම සාමාන්‍ය ක්‍රියාවලියක් බවත් වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ආරාධනා පත්‍රයක් ලැබුණත් නැතත්, එම ගුවන් ගමන් මාර්ගය අනුව බ්‍රිතාන්‍යයේ නැවතීමට සිදුවන බවත් ය. එසේම, බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයෙන් එවූ බව කියන ආරාධනා පත්‍රයේ සත්‍යතාව විමර්ශනය කිරීම සඳහා එංගලන්තයට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම, ‘අපරාධමය කරුණුවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත’ යටතේ නිසි අවසරයක් ලබා නොගැනීම පිළිබඳව ද වසන්ත පෙරේරා මහතා ප්‍රශ්න කර ඇති අතර එම අවසරය නොමැති වීම හේතුවෙන් අදළ ආරාධනා පත්‍රය පිළිබඳව බ්‍රිතාන්‍ය බලධාරීන්ගෙන් නිල ප්‍රකාශයක් ලබා ගැනීමට විමර්ශන කණ්ඩායමට නොහැකි වී ඇති බවත් ඔහු පෙන්වාදී ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තාවෙහි දැක්වේ.

මේ අතර පවතින සාක්ෂි මත හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ හැකි බවට සිය මතය ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සම්බන්ධ විමර්ශන උධෘත විශ්ලේෂණය කළ රජයේ නීතිඥ සමදරී පියසේන මෙනවිය, ඔහුව අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට සකස් කළ පිටු 11ක වාර්තාවක් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ බ්‍රිතාන්‍යයට ගිය විමර්ශන කණ්ඩායම සිදුකළ වැඩිදුර විමර්ශන පිළිබඳ වාර්තා ලබාදෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...