ප්‍රමෝද් චින්තක පීරිස්
ජනවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දක්ෂිණාංශික අන්තය කියන්නේ අමුතුම ආතල් දෙන දේශපාලන අන්තයක්. ලංකාවේ නයි පෙන්නන, රට ක්ලීන් කරන්න ගිහිං වාහනවල බුදුපිළිමවලටත් කෙළෙව්වා වැනි අන්තවාදී පුවත් මවන නාලිකා වගේ ඇමරිකාවේ මෙහෙම දෙන ආතල්වලට ලොකුම ආවරණය දෙන්නේ “ෆොක්ස් නිව්ස්.”
මොකක් හරි අර්බුදයක දී වගකීම් දරන කුමන හෝ පාර්ශවයකට ඇඟිල්ල දිගුවීම සාමාන්‍ය දෙයක්. නමුත්, අර්බුදයක් වවාගෙන කන කලාව, ඒ තුළින් තම දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම, අර්බුදයේ වාසිය තමා අතට හරවා ගැනීම තක්කඩි දේශපාලනයේ හැටි. මේ දවස්වල කැලිෆෝර්නියා හි ඇතිව තිබෙන ලැව්ගිනි අර්බුදයේ දේශපාලන වාසිය ගන්න අන්ත දක්ෂිණාංශික බලවේගවල ප්‍රධාන ධූත කණ්ඩායම බවට පත්ව තිබෙන්නේ ෆොක්ස්.
ලැව්ගිනි ඛේදවාචකය වළක්වා ගැනීමට අසමත් වීම ඇමරිකාවේ මීළඟ ජනාධිපති වීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ සුවච කීකරු ඊලෝන් මස්ක්ගේ දෝෂදර්ශණයට තුඩු වූයේත් මේ පටු න්‍යාය පත්‍රයේ කොටසක් ලෙසින්.
සාවද්‍ය තොරතුරු සමාජගත කිරීම තම “නෝර්ම්” එක බවට පත්කරගෙන සිටින ෆොක්ස් නාලිකාව, 2020 වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ විට ඔහුගේ මැතිවරණ ප්‍රතිඵල විකෘතිකොට ට්‍රම්ප් ජයග්‍රහණයකළ බවට රිපබ්ලිකානුවන් අතර මතයක් ජනගත කිරීමට කටයුතුකළ අයුරු ඔබට මතක ඇති.
ලැව්ගිනි ඛේදවාචකය හමුවේ ෆොක්ස් දැන් අලුත් ම නාඩගමක් පටන්ගෙන තිබේ. ඔවුන්ගේ අලුත්ම තර්කය වන්නේ, කැලිෆෝර්නියාවේ ලැව්ගිනි ඇතිවීමට සමරිසියන් වගකිවයුතු බවයි!
ඒ සඳහා ෆොක්ස් නාලිකාව ලොජික් ගොඩනඟන අයුරුත් මරු. කැලිෆෝර්නියාවේ ලැව්ගිනි වළක්වා ගැනීමට අසමත් වීමට සෘජුව ම වගකිව යුත්තේ එහි Diversity, Equity, and Inclusion (DEI) ආයතනය බව පවසන රිපබ්ලිකානුවන් අතර, මෙම ආයතනයේ ප්‍රධානී සමරිසි කාන්තාවක වීම, සහ ඇගේ සමානාත්මතාවය පිළිබඳ “විකාරරූපී ප්රතිපත්තීන්” තුළින් පරිසර සමානාත්මතාවයට මුල්තැන ලබා දී තිබෙන නිසා මනුෂ්‍ය ජීවිත විනාශ වූ බව පවසන රිපබ්ලිකානුවන්ට වැඩි මාධ්‍ය ආවරණයක් ලබා දීමට ෆොක්ස් කටයුතු කරන හැටි නිරීක්ෂණය වනවා.
දේශගුණික විපර්යාස, ඉඩම් කලමනාකරණයේ ඇති ගැටළු, හෝ ලැව්ගිනි ඇතිවීම වැනි අර්බුදවල පවතින ගැඹුරු යතාර්ථය අවබෝධ කරනු වෙනුවට, අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් කවදත් කළේ සමරිසි, සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව ඇතුළු ආන්තීකරණයට ලක්වන ප්‍රජාවන් බිල්ලට දී මේ සියල්ලට වගකිව යුත්තේ ඔවුන් බව පැවසීමයි. මෙවන් අර්බුදවල පවතින මානව ගුණාංග සුළුතර ප්‍රජා අයිතිවාසිකම් සමඟ සහසම්බන්ධ ලෙස බැඳී පැවතීම නිසා, එවන් අර්බුද ආමන්ත්‍රණය කරනු වෙනුවට ජනතා මතය ව්‍යාකූලවන ආකාරයට සාවද්‍ය තොරතුරු ව්‍යාප්ත කරන දකුණු අන්තය, තම කූට දේශපාලනික අරමුණුවලට සුළුතර කණ්ඩායම්වලින් එල්ලවන අභියෝග මර්දනය කිරීමට මෙම උපායමාර්ගය භාවිතා කරනවා.
අන්ත දක්ෂිණාංශික ව්‍යාපාර සාමාන්‍යයෙන් සමාජ ප්‍රගතියට ප්‍රතිරෝධයක් දක්වන අය වනවා. විශේෂයෙන් ම පිළිගැනීම සහ විවිධත්වය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔවුන්ගේ පසුගාමීත්වය මනාව කැපී පෙනෙනවා. ඇමරිකාවේ DEI වැඩසටහන කියන්නේ විවිධ ජාතීන්, සමාජභාවී අනන්‍යතාවයන්, ලිංගික දිශානතීන් පවතින පුද්ගලයන් සඳහා වඩාත් සාධාරණ පරිසරයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන ආයතනයක්. ඉතින්, එවන් වැඩසටහන්වලින් අන්ත දක්ෂිණාංශික ගතිකයන්ට හා බල ව්‍යූහයන්ට ප්‍රභල වශයෙන් අභියෝග එල්ලවනවා. ලැව්ගිනි ඇතිවීම වැනි විපත් සඳහා එක්සත් ජනපදයේ ප්‍රතිචාර දක්වන්නේ එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) සහ අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව (USDI) වන පසුබිමක, පාරිසරික සමානාත්මතාවය වෙනුවෙන් කටයුතුකරන DEI ආයතනය අන්ත දක්ෂිණාංශිකයන්ගේ විශේෂ ඉලක්කයක් බවට පත්වන්නේ මෙම අභියෝගය මර්දනය කිරීමේ උපායමාර්ගයක් ලෙස.
අන්ත දක්ෂිණාංශිකයන් අතර බොහෝ පිරිසක් කුමන්ත්‍රණ න්‍යායන් ව්‍යාප්ත කිරීමට රුසියෝ වනවා; මිත්‍යාවන් පිළිගැනීමට බොහෝ ඉක්මන් වනවා. විශේෂයෙන් බිය, අවිශ්වාසය හෝ බෙදීම අවුස්සන න්‍යායන් මේ අතර ප්රමුඛ වනවා. DEI ආයතනය භාරව සිටින කාන්තාව සමරිසි කාන්තාවක වීම නිසා ඇගේ සමානාත්මතා ප්‍රතිපත්ති හරහා ලැව්ගිනි ඇති කළ බව යෝජනා කිරීම තුළ ම තියෙන්නේ, වඩාත් සංකීර්ණ ගැටළුවක් සඳහා විචක්ෂණශීලී විසඳුම් සොයනු වෙනුවට, අතාර්කික හා හැඟීම් අවුස්සන නිර්වචනයන් ලබා දී ජනතාව කුපිත කරවීමේ තක්කඩිකමයි. ඒ තුළින් දේශගුණික විපර්යාස හෝ සම්පත් කලමනාකරණයේ ඇති අඩුපාඩු වැනි බහුවිධ මුහුණුවරක් ගන්නා ගැටළු ඔවුන්ගේ පටු න්‍යාය පත්‍රයට ගැළපෙන පරිදි සරලකර ජනගත කිරීම ඔවුන්ගේ අරමුණයි.
ලැව්ගිනි ඇතිවීම කියන්නේ දේශගුණික විපර්යාස, කලමනාකරණයේ පවතින දුර්වලතා සහ නියං තත්ත්වයන් වැනි සාධක ගණනාවක් නිසා ඇතිවන සංකීර්ණ පාරිසරික ගැටලුවක්. කිසිවිටක දේශගුණික විපර්යාසවල පවතින ආදීනව බරපතල ලෙස සැලකිල්ලට ගත් කණ්ඩායමක් ලෙස අන්ත දක්ෂිණාංශිකයන් හඳුන්වන්න බැහැ. DEI ආයතනය පාරිසරික සමානාත්මතාවයට ලබා දෙන ප්‍රමුඛතාවය, සහ එම ආයතනයේ ප්‍රධානී සමරිසි කාන්තාවක වීම කැලිෆෝර්නියාවේ ලැව්ගිනි ඇතිවීමට හේතු වූ බව පැවසීම තුළින්, අර්බුදයේ පවතින විද්‍යාත්මක පසුබිමින් ජනතා අවධානය වෙනතකට හැරවීමට අන්ත දක්ෂිණාංශිකයන් උත්සාහ කරන්නේ මේ නිසා. ගැඹුරු පාරිසරික සහ ප්‍රතිපත්තිමය අභියෝගවලට මුහුණ දීමෙන් වැළකී සිටීමට, සහ එවන් මුලපිරීම් සඳහා වෙන්වන ප්‍රතිපාදනවලින් ගසා කෑම සඳහා අන්ත දක්ෂිණාංශික කණ්ඩායම්වලට හොඳ මාර්ගයක් මෙමඟින් සපයා දෙන බවත් සිහිපත්කළ යුතුයි.
දේශපාලනයේ ඉහළයන අතිශෝක්තිය බොහෝ විට ආන්තික ජන කණ්ඩායම් සමච්චලයට ලක්කිරීමට මඟ පාදනු ලබනවා. අන්ත දක්ෂිණාංශිකයන් බොහෝ විට අන්තවාදී ප්රවේශයන් ගනිමින් සුළුතර අයිතිවාසිකම් සංස්කෘතික ගැටුම් පැත්තට යොමු කරන ආකාරය දැකිය හැකියි. ඔවුන් තම ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීමට මෙන්ම, සැබෑ සමාජීය ගැටළු ආමන්ත්‍රණය කිරීමෙන් පළා යාමට මෙය මෙවලමක් බවට පත්කර ගන්නවා. මෙහි දී ඔවුන්ගේ ප්‍රධාන සන්නිවේදන හවුල්කරු වන්නේ ෆොක්ස්.
කෙටියෙන් කිවහොත්, මෙම කණ්ඩායම් තම දෘෂ්ටිවාදාත්මක අදහස් ප්‍රවර්ධනය කිරීමට, ආන්තික ජනකණ්ඩායම් බිල්ලට ගැනීමට, සහ පාරිසරික අර්බුද පිටුපස පවතින සැබෑ හේතු පිළිබඳ වඩාත් ගැඹුරු සාකච්ඡාවලින් අවධානය වෙනතකට යොමු කිරීමට වැරදි තොරතුරු සහ හැඟීම් අවුස්සන කටවාචාල අදහස් ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන සන්නිවේදන මාධ්‍යය බවට පත්කර ගන්නේ ෆොක්ස් නිව්ස් ය.