*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

කාට කාටත් දෙවියන්ගේ පිහිටයි

මා දැන් ජීවත්වන්නේ උපන් ගමට යාබද ගමෙහි ය.පැරණි සංහිඳ ඇතුළු ව ගම්මානයම දැදුරු ඔය ජලාශයට යට විය.එහෙත් ගමේ අලුතින් අටවන ලද දැඩිමුණ්ඩ දේවාලය සහිත කොටස ඉතිරි වූ හෙයින් එය පටන්ගත් දා සිට වත්මන දක්වා ඈත පළාත්වලින් පිහිට පතා එන ධනපතියන්ගෙන් අඩුවක් නැත.පැරණි සංහිඳ ගමේ ගොවීන් අලුසාල් මංගල්ලය පැවැත්වූ කදිම තැනකි.හරකෙක් නැති වූ විට කොළ අත්තක් එල්ලා ඌ සෙවීමට යෑම,හදිසි ගංවතුරක් හෝ නියඟයකදී ආරක්ෂාව පැතීම යනාදී අවශ්‍යතා සඳහා සංහිඳට බාර වීමේ සිරිතක් ගම්මුන් අතර විය.


ඒ හැර ධන තණ්හාව හෝ වෛරය පිරිමසා ගැනීම සඳහා සංහිඳට යෑමේ සිරිතක් ගම්මුන් අතර නොවී ය.
ක්‍රමයෙන් සංහිඳ ගමෙන් සමුගනිමින් දේවාළ නමින් කෛරාටිකයන්ගේ මධ්‍යස්‍ථාන ව්‍යාප්ත විය.මා ජීවත්වන නිවසට ඇසෙන මානයේ දේවාළ දෙකකි.මේවා අටවා ඇත්තේද ගම්මුන්ගේ නිවෙස්වල ම ය.හිටිඅඩියේ ගමට කොහෙන් හෝ අමුතු ආගන්තුකයෙක් කඩා පාත්වෙයි.රැවුල හෝ කොණ්ඩය වවාගෙන සිටී.ඇට මාල පළඳයි.තමාට දේව වරමක් ලැබී ඇති බව පවසයි.බෙර පදයට ප්‍රලය වෙයි.මිනිස්සු මොහුගෙන් අනාගත ඉරණම අසති.පලාපල විමසති.අපල දුරුකර ගැනීමේ මං අසති.ඉඳහිට ගම්වැසියකුගේ ද චර්යා වෙනස් වන්නට පටන් ගනී.අඳින ඇඳුම,කන කෑම,ගමන බිමන වෙනස් වෙයි.ආවේශ වෙයි.ඔහුවෙනුවට දෙවියෙක් හෝ මළගිය ප්‍රාණ කාරයෙක් කතා කරයි.ගම්මු ඔහු පසුපස යති.


මේ ගැන කටින් කට ආරංචි වෙයි.වැඩි ම උනන්දුව ඇති වන්නේ ව්‍යාපාරිකයන් සහ දේශපාලකයන් අතර ය.තම ධන බලය සහ සමාජ බලය පිළිබඳ නිතර බියෙන් පසුවන ඔවුන්ට මේ ගැන දැනගැනීමට දෙවියකු වුවමනා වෙයි.


තම පුද්ගලභාවය අතැර වෙනත් කෙනෙකු බවට පත් වීම මානසික ගැටලුවකි.සමාජයෙන් කොන් වූ අය,භින්න පුද්ගලභාවයක් ඇති අය ආත්ම ශක්තිය දුබල අය,මිථ්‍යා විශ්වාසවලින් මනස පුරවාගත් අය අතර මේ විදියේ අනුන්ගේ ආත්ම ප්‍රදර්ශනය විය හැකිය.


මෑත දිනක අසල්වැසියෙක් තෙබූ කොළ කිහිපයක් කඩාගෙන යෑම සඳහා අප නිවසට පැමිණියේ ය.
“දේවාලෙ කපු මහත්තයාට සීනි වැඩිවෙලා”
ඔහු කීය.


“එයා දෙයියන්ගෙන් අහලා ලෙඩ්ඩුන්ටත් බේත් කියනව නේද?ඉතින් එයාට බේත් අහගන්ඩ බැරිද?’
අසල්වැසියා නිරුත්තර විය.ඔහු පිටස්තරින් පැමිණි කොණ්ඩකාරයකුට දේවාළයක් සඳහා තම නිවසෙහි කාමරයක් දුන් අයෙකි.


ජීවිතයේ විවිධ ගැටලුවලින් පලා යෑමේ වුවමනාවක් ඇති මානසික අවපතනයට ලක් වූ පුද්ගලයකු දෙවාරූඩ වූ විට ඔහුගෙන් හෝ ඇයගෙන් තම ජීවිත ඉරණම අසන්නට යන පුද්ගලයන්ගේ මානසික මට්ටම ඛේදජනක ය.


යම් පුද්ගලයකුගේ සිරුරට දෙවියකු,භූතයකු,පෙරේතයකු හෝ යක්ෂයකු ඇතුළු වන අවස්ථා ඇතැයි සිතන පුරුද්දක් පෙරපර දෙදිග අතීත සමාජයන්හි පැවතිණ.එහෙත් නූතන දැනුම් පද්ධතිය විසින් එහි පසුබිම අනාවරණය කර ගැනිණ.බටහිර රටක නම් මෙවැනි ආවේශයන් හමුවිය හැක්කේ ඉතා කලාතුරකිනි.එසේ හමුවීම සිනා උපදවන්නක් ද විය හැකිය.එහෙත් ලංකාව තුළ නම් මෙය බුද්ධ ඇදහිල්ලේම කොටසක් වන තරමට සමාජයෙහි මුල් බැසගෙන තිබේ.මේ මානසික ස්වභාවය කට්ට කෛරාටිකයකුට ධන උල්පතකි.තමා අනෙකකු මෙන් පෙනී සිටීමේ මානසික රෝගය ආකර්ෂණයට මෙන්ම ධනය පාදාගැනීමට ද මගක් වූ බව දැනුණු විට එම පුද්ගලයා එය දිගින් දිගටම කරගෙන යයි.කට්ටකමේ දිග පළල අනුව ධනයෙහි ප්‍රමාණය ද තීන්දු වේ.නිවස ඉදිරිපටට පිට පළාත්වලින් පැමිණෙන බලගතු දේශපාලකයන්ද ව්‍යාපාරිකයන්ද තමාගෙන් පිහිට යදින විට මෙතෙක් සමාජයෙන් කොන් වී ලද වේදනාවද සමනය වේ.තමා දැං බලවතෙකි.දිව්‍ය වරම් ලද්දෙකි.තමාට වඩා ඉහළ පන්තියේ යැයි පෙනෙන පුද්ගලයාට තරවටු කිරීමට නින්දා කිරීමට හා ඇතැම් විට පහරදීමට ද අවස්ථාව ලැබේ.


කලකට පෙර අංගොඩ ජීවකයා යැයි මාධ්‍යයෙන් පුම්බනු ලැබූ හොර වෙදා තමා කරා එන රෝගීන්ට පහර දුන් බවද ආරංචි විය.


මා දන්නා ගමේ දේවාළයකට මන්දිරයක් තනා දුන්නේ ලංකාවේ ඉහළම ප්‍රමිතියේ ටයර් නිපදවා පිටරට යවන සමාගම් ලොක්කෙකි.මෙහි කපුවා හොඳම වර්ගයේ රට බීමවලින් සප්පායම් වී රෝගීන්ට අනාවැකි කියයි.රහස් බෙහෙත් නිර්දේශ කරයි.ඔහු ළඟට පිහිට පතා එන සුපිරි වාහන පෙළ ගම්මුන්ට ද ආඩම්බරයකි.


මෙසේ පිහිට පතා එන අය අතර දැනඋගත්කම් පරතරයක් නැත.හැම ජාතියේම භාණ්ඩ එතැනට එයි.
දෙවිවරුන් පමණක් නොව මෑණිවරු ද පහළව සිටිති.මෑණිවරුන්ගේ ආරක්ෂාවට ආරක්ෂක අංශ යොදවන තරමට දේශපාලන සංස්ථාව ද අරාජිකය.


රටේ හැම වැරැද්දකටම හේතුව දේශපාලනයේ අඩුපාඩු යැයි සිතන කියන අය සමාජ පසුගාමිත්වයෙහි මුල් ගැන මීට වඩා සිතිය යුතුය.

සමහර උගත්තුද ඊණියා යක්කු සහ පෙරේතයන් ගැන විද්‍යාත්මක ව කරුණු දක්වති.ඔවුන් අර කියන දේශපාලකයන්ට නොදෙවෙනිය.වැල යන අතට මැස්ස ගැහීම පාලකයන්ට ද ඊණියා උගතුන්ට ද සැපදායක ය.අවිද්‍යාවෙන් ගිලී ගිය සමාජයක විචාර බුද්ධිය මොට වෙයි.එවැනි සමාජයක් පාලනය කිරීම දේශපාලකයන්ට ද පහසු ය. ඉරණම,කරුමය,අපල,ග්‍රහ දෝෂ,භූමි දෝෂ යනාදියට සියල්ල පැවරූ කල දේශපාලකයන් ද චෝදනාවලින් නිදහස් ය.

තිඹිරියාගම බණ්ඩාර
[[email protected])

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan