ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වාභවික ව්‍යසනයට 2025 වසර අවසානයේදී මුහුණ දීමට සිදු වූ අතර දිස්ත්‍රික්ක 3කට හැර සෙසු සියලුම දිස්ත්‍රික්ක වෙත එහි බලපෑම සිදුවිය.
ලෝක බැංකු ඇස්තමේන්තු අනුව දිට්වා රටට කළ සමස්ත හානිය ඇමරිකානු ඩොලර් බිලියන 4.1කි. එය මෙරට මුදලින් ගත් විට රුපියල් ට්‍රිලියන 1.27ක් හෙවත් රුපියල් බිලියන 1270කි.
මෙම දිට්වා අපදාවෙන් වැඩිම හානිය සිදුවූයේ මහනුවර දිස්ත්‍රික්කයට වන අතර ලෝක බැංකුව එය ඇස්තමේන්තු කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 689 ක් ලෙසය. ආසන්න වශයෙන් එහි ශ්‍රී ලංකා රුපියල් වටිනාකම මිලියන 212,895ක් ලෙස දැක්වෙයි.
කිසිවෙකුත් අපේක්ෂා නොකළ ආකාරයේ විපතකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදු වූ අතර දන මුහුණ දී සිටින්නේ නැවත ගොඩගැනීමේ වැඩපිළිවෙලටය.
මෙම ආපදා හමුවේ යළි රට ගොඩනැගීමේ ක්‍රියාවලිය වෙනුවෙන් අරමුදල සපයා ගැනීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතීත්වයෙන් කළමනාකරණ කමිටුවක් ස්ථාපිත කිරීමට කටයුතු කළ අතර එහි නියෝජනය සම්බන්ධයෙන්ද රජයට චෝදනාත්මක ප්‍රතිචාර ලැබුණි.
විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්,
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම,
ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව,
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකාව සඳහා අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න,
පත්කළ අතර
හේලිස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ,
ජෝන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්,
එයිට්කන් ස්පෙන්ස් උප සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක,
බ්‍රැන්ඩෙක්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර්,
LOLC විධායක සභාපති ඉෂාර නානායක්කාර, යන ව්‍යාපරිකයින්ද එම කමිටුව නියෝජනය කරයි.
ඒ අනුව අරමුදල ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ බලය මෙම කළමනාකරණ කමිටුවට හිමි වන අතර, අවශ්‍යතා තක්සේරු කිරීම, ප්‍රමුඛතා සැකසීම, අරමුදල් වෙන් කිරීම සහ අනුමත ප්‍රතිසාධන කටයුතු සඳහා මුදල් නිකුත් කිරීම එහි වගකීම් වෙයි. විවිධ චෝදනා මද එම කළමනාකරණ කමිටුවද මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් හිඳියි.
අරමුදල් රැස්කිරීම වෙනුවෙන් ඇති කරන ලද Rebuilding Sri Lanka අරමුදලට මේ වන විට රුපියල් බිලියන 8කට ආසන්න මුදලක් ලැබී තිබේ. ලෝක බැංකුව විසින් තක්සේරු කර ඇති ඇති හානිය සමඟ ගත් කළ මෙවැනි අරමුදලක් හරහාම නැවත ගොඩනැගීමේ කාර්යය කළ හැක්කක් නොවන බව පෙනී යයි.
ඒ අනුව මෙම අරමුදල හරහා පමණක් යළි ගොඩනැගීමේ කටයුතු සීමා කළ නොහැකි අතර ඊට අයවැය ප්‍රතිපාදනයන්ට අමතරව තවත් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක්ද සම්මත කර ගැනීම සිදු විය.

ජාත්‍යන්තර මානුෂීය ආධාර
දිට්වා ආපදා හමුවේ පූර්ණ නිවාස හානි 6025ක් සිදුව තිබේ. අර්ධ නිවාස හානි 108,591ක් වාර්තා වී ඇත. මෙම ආපදාව සිදු වූ මොහොතේ සිට අසල්වැසි ඉන්දියාවේ සිට රටවල් බොහොමයකින් මානුෂීය ආධාර රැසක් ලැබුණු අතර එහිදී ඉන්දියාවේ දායකත්වය කැපී පෙනෙන තැනක පසුවෙයි.
2004 සුනාමි ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාව ලද විශාලම හදිසි ආපදා ප්‍රතිචාර සහය ලබමින් විදේශීය සහන සේවා හා වෛද්‍ය කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණියේ ය.
ගුවන් ප්‍රවාහන සහය සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉන්දියාව, පකිස්ථානය, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවලින් හමුදා ගුවන් යනා එවන ලද අතර ජපානය ඇතුළු රටවල් වෛද්‍ය කණ්ඩායම් අනුයුක්ත කරමින් හදිසි ප්‍රතිචාර දැක්වීය.
කෙසේවෙතත් යළි ගොඩනැගීමේ ක්‍රියාවලිය වෙනුවෙන් දැනට ලැබී ඇති දායකත්වයක් ප්‍රමාණවත් නොවන බව පෙනෙන්නට තිබෙන කාරණයකි. කෙසේවෙතත් ආපදාවට පත්වූවන්ට වන්දි ලබා දෙමින් අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරමින් ක්‍රියාත්මක වෙමින් පවතියි.
මෙම ක්‍රියාවලිය තුළ විශේෂයෙන් ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජයක් ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පසුගිය මස 23 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූ අවස්ථාවේදී පවසා තිබිණි.
එයින් ඩොලර් මිලියන 100ක් ඉන්දීය ආධාර වන අතර ඉතිරිය පහසු පොළී අනුපාතිකයක් යටතේ ලබා දෙන ණය මුදලකි.
කෙසේවෙතත් ජාත්‍යන්තර සහය නොමදව නොමැතිව මෙම කාර්යභාරය රටක් ලෙස අපට තනිවම කළ හැක්කක් නොවේ.

Rebuilding Sri Lanka
ගෙවුණු 13 වැනිදා ආපදා හමුවේ යළි හිස එසවීම වෙනුවෙන් Rebuilding Sri Lanka වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මම කටයුතු වෙනුවෙන් විශේෂ කාර්ය සාධක බලකායක්ද ස්ථාපිත කර ඇති අතර එහි ප්‍රධානියා වන්නේ අගමැතිනියයි.
විශේෂයෙන් නැවත පදිංචි කිරීම, මාර්ග, පාලම්, බෝක්කු ඇතුළු යටිතල පහසුකම් යළි ඉදිකිරිම සහ ප්‍රතිසංස්කරණය ඉහටත් උඩින් පවතියි. මෙහිදී පූර්ණ නිවාස හානි වෙනුවෙන් වන්දි ලබා දීම සහ නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියද මේ වන විට ආරම්භ කර ඇත.
අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්ය සාධක බලකාය හරහා ප්‍රමුඛතා මත නැවත සකස් කිරීම (Re-purposing) යටතේ දැනට ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති අතරින් තෝරා ගත් ව්‍යාපෘතිවල අරමුණු වෙනස් කරමින් ක්‍රියාත්මක කිරීම, නැවත ප්‍රතිපාදන වෙන් කිරීම (Re-allocating) යටතේ මූල්‍ය කළමනාකරණ පනතේ ඇති ප්‍රතිපාදන මත පදනම්ව අයවැයෙන් වෙන් වන ප්‍රතිපාදනවලට අමතරව අතිරේක මුදලක් වෙන් කිරීම මෙන් ම 2026 වසර සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම සහ ‘Rebuilding Sri Lanka’ අරමුදල මගින් දේශීය, විදේශීය සහ රාජ්‍ය, පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ලබා ගැනීම තුළින් සිදු වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙම කාර්ය සාධන බලකාය මඟින් මූලික අවශ්‍යතා, සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය නැවත ස්ථාපනය කිරීම, මූලික යටිතල පහසුකම් නැවත ගොඩනැගීම, ජීවනෝපාය සහ වත්කම් ප්‍රමාණවත් ලෙස ඉහළ නැංවීම, දේශීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම, ඩිජිටල් දත්ත පද්ධති සහ තීරණ සහය යාන්ත්‍රණය ස්ථාපනය කිරීම, සන්නිවේදනය සහ පාර්ශ්වකාර සම්බන්ධතා වැඩිදියුණු කිරීම යන නැවත ගොඩනැගීමේ ක්‍රියාකාරකම්වලදී සමස්ත මග පෙන්වීම, උපාය මාර්ගික තීරණ ගැනීම, අන්තර් අමාත්‍යාංශ ගැටලු විසඳීම, ප්‍රධාන අරමුදල් සැපයීම ප්‍රතිසාධන සහ ප්‍රතිසංස්කරණවල තීරණ සඳහා මග පෙන්වීම සිදු කරනු ඇත.
එසේම ප්‍රධාන කමිටුවේ තීරණ ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීම සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ආංශික අමාත්‍යවරයාගේ සභාපතිත්වය යටතේ උපකමිටු 8ක් පිහිටුවීමට ද නියමිතයි.
ස්වභාවික ආපදාවෙන් සිදුවූ භෞතික, ආර්ථික සහ සමාජයීය බලපෑම් පිළිබඳ දත්ත රැස් කිරීම විශ්ලේෂණය හා අගැයුම සඳහා පශ්චාත් ආපදා අවශ්‍යතා අගැයුම් කමිටුව.
ප්‍රවාහනය, විදුලි බලය, ජලය, වාරිමාර්ග, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ විදුලි සංදේශ ඇතුළු බලපෑමට ලක්වූ යටිතල පහසුකම් පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණය කිරීමේදී සම්පත් සම්බන්ධීකරණය, ප්‍රමිතීන් පිළිබඳ සහතික කිරීම ආදිය වෙනුවෙන්, පොදු යටිතල පහසුකම් ප්‍රතිස්ථාපනය කිරීමේ කමිටුව.
නිවාස, ප්‍රතිසාධන සැලැස්ම මත පදනම්ව බලපෑමට ලක්වූ ප්‍රජාවන් සඳහා හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණය හෝ නව නිවාස ඉදිකිරීම වෙනුවෙන්, පීඩාවට පත් ප්‍රජාවන් සඳහා නිවාස ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කමිටුව.
ජීවනෝපාය සහ ව්‍යාපාර කඩිනමින් ස්ථාවර කිරීමට සහාය ලබාදීම, ප්‍රධාන සැපයුම්දාම නැවත ගොඩනැංවීම, මූල්‍ය සේවාවන් වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීම, ආර්ථික අවස්ථා සංවර්ධනය කිරීම ආදිය වෙනුවෙන් දේශීය ආර්ථිකය සහ ජීවනෝපායන් පුනර්ජීවනය කිරීමේ කමිටුව.
අධ්‍යාපනය, සෞඛ්‍ය, ජලය, සනීපාරක්ෂාව සහ සුබසාධන සහාය ඇතුළු අත්‍යවශ්‍ය සමාජ සේවා ප්‍රතිෂ්ඨාපනය සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන්, සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ කමිටුව.
අරමුදල් රැස් කිරීම, අයවැය සැලසුම් කිරීම, පරිත්‍යාගශීලීන් සම්බන්ධිකරණය සහ ‘Rebuilding Sri Lanka’ අරමුදල රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති රාමුව තුළ විනිවිදභාවයෙන් යුතුව උපයෝජනය කිරීම වෙනුවෙන්, මූල්‍ය සහ අරමුදල් කමිටුව.
පශ්චාත් ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසාධන අවශ්‍යතා සහ ප්‍රමුඛත්වය ලබාදීම, ප්‍රතිසාධන සැලසුම් උපායමාර්ග මෙහෙයවීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සඳහා උසස් විශ්ලේෂණ මෙවලම්, පුරෝකථන ආකෘති සහ නව්‍ය තාක්ෂණය අනුගත කළ තොරතුරු පද්ධති තීරණය කිරීම සහ ස්ථාපිත කිරීම වෙනුවෙන් දත්ත සහ තොරතුරු පද්ධති පිළිබද කමිටුව.
ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසාධන වැඩසටහන් පිළිබඳ මහජන සන්නිවේදනය, දැනුවත් කිරීම, පාර්ශ්වකාර සම්බන්ධතා සම්බන්ධීකරණය වෙනුවෙන් මහජන සන්නිවේදනය පිළිබඳ කමිටුව. ලෙස එම කමිටු නම් කර තිබේ.
තිබුණට වඩා හොඳ ජීවිතයක්!
මෙම Rebuilding Sri Lanka වැඩසටහන තුළ ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ පැවතියට වඩා හොඳ ජීවිතයක්, හොඳ රටක් ගොඩනගන බවයි. විශේෂයෙන් මෙවැනි ආපදා තත්ත්වයකදී එහි ගොදුරු බවට පත් වන, වින්දිතයින් බවට පත් වෙන පිරිස් දෙස බලන විට පෙනී යන කරුණක් වන්නේ සමජ අසමානතාව විසින් පීඩාවට පත් කර සිටින ජන ප්‍රජාවයි. දෛනික ආදායම් උපයමින්, ස්වයං රැකියාවල නියැලෙමින් ජීවිතය සමඟ අඛණ්ඩ පොරබැදීමක සිටින පිරිස් මෙවැනි අවස්ථාවල ගොදුරු බවට පත්වීම දැකිය හැකියි. ආරක්‍ෂිත බිමක, ශක්තිමත් නිවසක් නොමැතිව බොහෝ විට අවම පහසුකම් හෝ නොමැතිව ඔවුහු ජීවත් වෙමින් සිටිති. එවැනි ප්‍රජාවන් මෙවැනි අවස්ථාවක ඉතාම අසීරු අඩියකටම ඇද වැටෙන අතර ඔවුන් ඔසවා තැබීම රජයක් සතු වගකීමකි. එම නිසාම හිටියට වඩා ශක්තිමත් මිනිසෙක් ලෙස මෙම අපදාවෙන් පසු යළි ගොඩනැගීම අතිශය වගකීම් සහගත භාරදුර කාර්යයකි. එම වගකීමට රජය බැඳී සිටින බවට මේ වන විටත් ජනධිපතිවරයා සහතික වී තිබේ.
රටක් ලෙස ආර්ථික බංකොලොත්භාවය පත්ව යළි නැගිටිමින් ආර්ථික ස්ථාවරයක් ගොඩනගමින් පැවති මොහොතක මුහුණ දීමට සිදුවූ මෙම දරුණු ස්වභාවික ව්‍යසනය හමුවේ යළි ගොඩනැගීම තුළ ගෝලීය සහය මෙන්ම ජාතියක් ලෙස කැපවීම අනිවාර්ය කාරණයකි. හොඳම හොඳ අනාගතය සහතික කරගැනීම වෙනුවෙන් එම බැඳියාව අත්නොහැරිය යුතුවෙයි.


