(අසම්පූර්ණ කටු සටහනක් !)
එකල අපගේ වීරයා වූයේ වික්ටර් අයිවන් නොව සුනිල් මාධව ප්‍රේමතිලක ය. ඒ දෙදෙනා ම විකල්ප පත්තර සංස්කාරකවරුන් වුවද වැඩ කළේ දේශපාලන චලනයන් දෙකක ය. මේ කියන්නේ, විකල්ප පත්තරවල ස්වර්ණමය යුගය ගැන ය. (දේශපාලන කාටූන් ශිල්පියාගේ හොඳම කාලය රටේ නරකම කාලය කියා කියමනක් ඇත. ඒ ලෙසින්ම, විකල්ප පත්තරවල ස්වර්ණමය යුගය, ලංකාවේ දේශපාලනයේ ලෝකඩමය යුගයක් විය) ඉතින්; විප්ලවය, ආදරය හා මනුෂ්‍යත්වය පිළිබඳ සංකේතය ‘සුනිල් අයියා’ මිසක වික්ටර් අයිවන් නොවීය.
කෙසේ වෙතත්, වික්ටර් අයිවන් යනු 71 පොඩි අතුල ය යන තොරතුර, අප ගැටවර මනසට එකල කුතූහලය දනවන්නක් වූයේය. “මිනිහා ඒ කාලෙ පක්ෂෙ නායකයෙක් ලු. බෝම්බ හදන්න ගිහින්ලු අත ආබාධිත වුණේ. සටනට බාධාවක් නම් තමා මරා දමන ලෙසත් ඔහු කීවේලු” යන පුවත විසින්, රාවයේ වික්ටර් අයිවන් කෙරෙහි නොව 71 පොඩි අතුල කෙරෙහි යම් ආදරයක් උපදවන ලදී. සන්නද්ධ අරගලය සම්බන්ධ යෞවන ප්‍රහර්ෂය තුල, ඒ දේශපාලන ප්‍රවාදයන්ගේ, වීරත්වය ගැබ්ව තිබිණි. අනෙක් අතට, සහෝදරයා යන ආමන්ත්‍රණය නැතත්, ‘මිනිහා’ යන යෙදුම තුල, එකී ගෞරවාදරය අයත් වන්නේ අතීතයට පමණ ය යන හැඟවුම ද විය.
‘ඇත්ත’ පත්තරයෙන් ඉස්මතු වූ මෙරට විකල්ප පුවත්පත් කලාව, ජනතා විමුක්ති පෙරමුණේ සේයාව මත යළි ගොඩ නැගෙන්නට පටන් ගත්තේ රාවය හරහා ය. ජවිපෙ අතීත නායකයකු වූ පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන් ප්‍රධාන සංස්කාරකත්වය දැරූ රාවය, (මිතුරු හෝ පසමිතුරු අර්ථයෙන්) ජවිපෙ සේයාව මත උපන්නේය. එය සඟරාවේ සිට පත්තරය දක්වා එන විට, (අත් අකුරින් නිමැවුණ) එහි ලෝගෝව පවා නියෝජනය කළේ ජවිපෙ ප්‍රචාරක සංස්කෘතිය මිස අන් යමක් නොවේ. එහෙත් එය කිසිදා ජවිපෙ ප්‍රකාශනයක් වූයේ නැත. යටිබිම්ගත ජවිපෙ කේඩරයට විටින් විට මඳක් ළං වී ඈත් වූවා පමණි.
අත්තනෝමතික ජේ ආර්ගෙන් අනුප්‍රාප්තිකව ප්‍රේමදාස පාලනයට විරුද්ධ ස්ථාවරයක රාවය සිටිය ද, ප්‍රේමදාස පරදවා (ජේ ආර් ආණ්ඩුවේ ජාතික ආරක්ෂක අමාත්‍යව සිටි) ලලිත් ඇතුලත්මුදලි පාලනයකට රාවය සූදානම් වෙමින් සිටියේ ය. එහෙත් එවකට පැවති ඝාතන සංස්කෘතිය විසින් රාවය අවසානයේදී ගෙනැවිත් නතර කරන ලද්දේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පය පාමුල ය. 94 අගෝස්තුවේ මැතිවරණය මුව විට වන විට, අත ඔසවා ආචාර කරන චන්ද්‍රිකා රාවයේ මුල් පිටුවටම පැමිණියාය.
රාජ්‍ය මර්දනය හේතු කොටගෙන ජවිපෙ පසුබැස ගිය වකවානුවේ වික්ටර් අයිවන් මාධ්‍ය භූමිකාව, ජවිපෙට එතරම් සතුරු නොවන විවේචනාත්මක ආස්ථානයක රැඳුණද, ජවිපෙ නැග ආ හැම මොහොතකම වික්ටර් අයිවන් ඊට විරුද්ධ ආස්ථානයක සිටියේය. ඔහුගේ ලේඛනවල, රූපිකව පවා ජවිපෙ උත්කර්ෂයට නොනැඟීය. නිදසුනක් ලෙස, ජනතා විමුක්ති පෙරමුණ හෝ ජවිපෙ යන නාමකරණය වෙනුවට වික්ටර් අයිවන් යොදාගත්තේ, ජවිපෙරමුණ යන පදයයි. ඒ පදය, දේශපාලන ව්‍යාපාරයේ පෞරුෂය විදහා නොදක්වයි. එවැනි දේ හරහා වික්ටර් අයිවන් අතිශය සවිඥානික ලෙස ජවිපෙට එරෙහිව භාෂාව යොදාගත් බව, ලියුම්කරුගේ නිරීක්ෂණයයි.
එජාප ශ්‍රීලනිප පක්ෂ දෙකට සෘජුව සහයෝගය නොදක්වන, ජවිපෙ විවේචනය කරන සියලු කොටස් රාවයේ සෙවන යටට එක යුගයක ගෙන එන්නට වික්ටර් අයිවන් සමත් විය. එතෙකින් නොනැවතී, ඉතා සියුම් ලෙස, ඒ පක්ෂ දෙක කරා, ඔවුන්ව, වරින් වර, ක්‍රමානුකූලව රැගෙන යන්නට ද වික්ටර් අයිවන් සමත් විය. ඊට අවශ්‍ය න්‍යායික හා මතවාදී පසුබිම වික්ටර් අයිවන් මනා ලෙස ගොඩ නැගුවේ ය. (ඒ මධ්‍යම පාන්තික ලේඛක පාඨක වළල්ල රාවයේ පැවැත්ම වෙනුවෙන් රාවයේ අවසානය දක්වාම රැඳී සිටියේ ය.)
ඒ ක්‍රියාදාමය මැද, සංශෝධනවාදී මාධ්‍ය අරගලයන් වෙත රාවය පෙරළිකාර ලෙස නායකත්වය දුන්නේ ය. එවකට එජාප ආණ්ඩුවේ ඒකාධිපතීත්වයට එරෙහිව රාවය පළමු පිටුවේ යෝධ අකුරින්, ‘කැතයි ලැජ්ජයි නින්දිතයි!’ යනුවෙන් සටහන් විය. අධිකරණ ස්වාධීනත්වයේ ඉරණම කියා පෑම උදෙසා, චන්ද්‍රිකා ආණ්ඩුවේ අග විනිසුරු පත් කිරීමේ ඡායාරූපය ඔළුවෙන් හිටෙව්වේ වික්ටර් අයිවන්ය. ඒවා, ශ්‍රී ලංකාවේ පත්තර කලාවේ දෘෂ්‍ය දේශපාලනයේ දැවැන්ත විරෝධතාවන්ය. අධිකරණ ස්වාධීනත්වය, ප්‍රභූ තන්ත්‍රයේ චෞරත්වය පිටු දැකීම ආදී කලාපවල, තමන්ගේම සීමාවන්ට යටත්ව වුව වික්ටර් අයිවන් මුළු වෙර යොදා පොර බැදුවේ ය. ඒ පොරබැදීම් විසින්, විකල්ප පත්තර කලාවේ මෙන්ම විකල්ප දේශපාලනයේ ද තීරණාත්මක මායිම් සලකුණු කරන ලදී. ඒවා ඉවත් කර ඉතිහාසය ලිවිය නොහේ. ජාතික හා විකල්ප යන පුවත්පත් ධාරා දෙකටම රාවය බලපෑවේය. විශේෂයෙන්ම කලා සංස්කෘතික විචාරයේදී රාවයේ භූමිකාව ප්‍රශස්ත එකකි. ජවිපෙ ආභාසය සහිත විකල්ප පත්තර කලාවද එයින් පෝෂණය නොවූයේ යැයි කිව නොහැකි ය.
කාලය ඉගිලෙයි. යුග වෙනස්කම් සිදු වෙයි. විකල්ප පත්තර, මාක්ස්වාදයේ එන අභාවයාගේ අභාවයට නිදසුනක් වී ඇත. නව මාධ්‍ය – සමාජ මාධ්‍ය පැමිණ ඇත. වික්ටර් අයිවන් විසින් සිය භාෂාවෙන් පවා පසුපසට ඇද දමනු ලැබූ ජනතා විමුක්ති පෙරමුණ, නව ජනතා ව්‍යාපාරයක් නිර්මාණය කර ආණ්ඩු බලය ලබාගෙන ඇත. වික්ටර් අයිවන් යෝජනා කළ දේශපාලන බලවේග පරාජය වී තිබේ. එහෙත් මේ ජයග්‍රහණ පිටුපස ‘පොඩි අතුල’ලාගේ කැපකිරීම් ද ස්ථිරවම තිබේ. ඉතිහාසය, සියල්ලන්ට හිමි ගෞරවය නිසි මාත්‍රාවෙන් බෙදා දෙනු ඇත.
– විමල් කැටිපෙආරච්චි
(පින්තූරය ලෙස ඇත්තේ, වික්ටර් අයිවන් මහතාගේ අභාවයට ශෝකය පළ කරමින් සංජය ඈපා සෙනෙවිරත්න සොයුරා අතින් නිමවූ අතිශය අධ්‍යාපනික සංකේතාත්මක නිර්මාණයයි)