ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:වැඩවර්ජනයේ නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම් ඉතා අසාධාරණ බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසයි.
අයවැය යෝජනා අනුව රජයේ සේවකයින්ට වැටුප් වැඩිකිරීමේ එක් අදියරක් අද ක්‍රියාත්මක වෙන අතර වැඩවර්ජනයේ නිරත වෛද්‍යවරුන්ටද එම වැටුප් වැඩි වීම හිමි වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන් විසින් ඉල්ලා සිටින ආර්ථිකමය ඉල්ලීම් ඉතා ආසාධාරණ අතර දිට්වා අපදාවෙන් පසු රජයේ මුදල් විශාල ප්‍රමාණයක් එම විපතට පත් ජනතාවට වෙන්කර ඇති මොහොතක මෙම වැඩවර්ජනයේ ආර්ථිකමය ඉල්ලීම් අසාධාරණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙයි.
විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාවක් සැකසීමට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමද මෙම වැඩවර්ජනයට හේතුවී ඇති තවත් එක් ප්‍රධාන කාරණයකි.
එය පරිපාලනමය අවශ්‍යතාවක් වන අතර සේවා ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් 95%ක පමණ වෙනම අත්සන් කර ඉල්ලීමක්ද කර තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි.
ඒ සම්බන්ධයෙන් සොයා බැලූ කමිටුවද සේවා ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට තහවුරු කර ඇති බවද හංසක විජේමුණි මහතා ප්‍රකාශ කරයි.
සේවා ව්‍යවස්ථාවේ අඩංගු විය යුතු කරුණු මොනවාද යන්න තාක්ෂණික කරුණක් වන අතර ඒ සඳහා ඉදිරියේ කමිටුවක් පත්කරන අතර ඊට යෝජනා අදහස් ලබාදීමේ අවස්ථාව පවතියි.
මේ අතර වෛද්‍යවරුන්ට පොදුවේ සේවා ව්‍යවස්තාවක්ද සකස් කිරීමට නියමිත බව සඳහන්.
ඒ අනුව තවමත් සකස් කර නොමැති සේවා ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් රටේ අහිංසක ජනතාවගේ ජීවිත බිල්ලට ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
එමෙන්ම පරිණත වෘත්තීය සමිතියක් මෙවැනි අපරිණත තීරණ ගැනීම සම්බන්ධයෙන් කණගාටුවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
එම නිසා මිනිස්සුන්ගේ ප්‍රශ්නවලදී මීට වඩා පුළුල්ව හිතන ලෙසද මෙම වෘත්තීය සමිතියට ආරාධනා කරන අතර ඔවුන් විසින් මේ ගෙනයන්නේ දේශපාලන වුවමනාවක් ඉටුකරගැනීම වෙනුවෙන් මැදිහත්වීමක් බවද ඔහු කියාසිටියි.
දේශපාලන අරමුණු ඉටුකරගැනීමේ තෝතැන්නක් බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කර නොගන්නා ලෙසද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවධාරණය කාන බවද නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි සඳහන් කරයි.


