වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW:

වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති ජයතිලක සභාපති සහ ලේකම් ලෙස පත්වීමෙන් පසුව,කාලෙකට පසුව ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයට නෙට්බෝල්මය පරිපාලන ව්‍යහුයක් ලැබී ඇත.නෝනාවරුන්ට ඡන්දය හිමි මේ නිලවරණයේ සමහර නෝනාවරු වෙනුවෙන් ඔවුන්ගේම මහත්තුරු ද,වෙනත් මහත්තුරුද පැමිණ ඡන්දය දී ඇත.ඒවා හොර ඡන්ද නොව නිසි පරිදි බලය ලබාගෙන ලබා දුන් ඡන්දය.එහෙත් පරාජිතයන්ට අනුව ඒ ඔවුන්ගේ ජයග්‍රහණය පැහැර ගැනීමේ කුමන්ත්‍රණයක්ය.එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වුව ද,තමන්ගේ ඡන්දය දෙන්නට පැමිණෙන්නට හෝ වෙලාවක් නැති අය වගකීම් දැරිමනම් කණ්ගාටුවට කරුණක්ය.නිකමට ඇය නෙට්බෝල් සම්බන්ධයෙන් කුමන හෝ වගකීමක් දරන බව සිතන්න.ඇයට මෙවැනි තත්ත්වයක් උදා වුවහොත් ඒ වගකීමට ද එනු ඇත්තේ මහත්තෙක්ය.


එහෙත් වඩාත් වැදගත් මේ ජයග්‍රහණය නෙට්බෝල් වංශ කතාව අලුත් පරිච්ඡේචයකින් ආරම්භ කිරීමට යොදා ගැනීමය.හැමදාම උසාවි ගාණෙ,අමාත්‍යංශය යටතේ රස්තියාදු වෙමින් පවතින නෙට්බෝල් පරිපාලනය නොවන්නට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මට්ටමේ සිටින ක්‍රීඩිකාවන් මේ දැල් පන්දුව ආසියාවෙන් එහාට ඔසවා අවසන්ය.
පත් වූ නෙට්බෝල් පරිපාලනය කල්පනාවට ගත යුතුව ඇති සහ අත්හළ දැමිය යුතු කාරණා දෙකක් ඇත.ඒ ඉතිහාසයේ සිට ක්‍රමයෙන් ලංකාව විනාශ මුඛයට ඇඳ දැමූ පරිපාලන ස්වභාවයන්ට අදාළ කාරණා දෙකකි.ජයග්‍රහණයෙන් පසුව කණ්ඩායම් බෙදීමේ නිමාව සටහන් විය යුතුය.ඒ අනන්‍යතාවය මත පිහිටා නෙට්බෝල් අපට ඡන්දෙ දුන්න අයගේ බලාපොරොත්තු හීන සපල කරන තැනට තල්ලු කරනු වෙනුවට රටේ නෙට්බෝල් හී ජාතික වටිනාකම පුළුල් කරන තැනකට රැඟෙන යා හැකි වැඩ පිළිවෙලකට ගෙන යා යුතුය.එහිදී නිලධාරි මණ්ඩලය ලෙස වගකීම් බෙදීහ හැරුණු විට ඒ ඒ කාරණා අධීක්ෂනයට සහ මෙහෙයවීමට තමන්ගේ කණ්ඩායමේ අය ද,නොවන අයද යන්න නොසළකා වගකීම් පැවරීම,නෙට්බෝලයට වගකීම ඉටු කිරීමක් වනු ඇත.


නිලවරණයටත්,ඉනික්බිතිවත් දෙපිල තුන් පිල බෙදී කෙහෙවලු පටලවාගෙන නටන අශ්ලීල ක්‍රමය වෙනුවට පරිපාලනය නෝනාවරු ලෙස ඒ වචනයට ගෞරවයක් වෙන හැසිරීමක් ප්‍රදර්ශනය කළ යුතුය.ආසියානු සභාපතිකමට ගොස් සිය මනදොල සපුරා ගැනීමෙන් ඔබ්බට හිටපු සභාපතිණිය ලක්ෂ්මීට යමක් කළ නොහැකි වූයේ ද,ඇය සෑම විටම තමන්ගේ කණ්ඩායම රටේ නෙට්බෝල් ලෙස සිතා වැඩ කිරීම හේතුවෙන්ය.ඒ නිසාම අවසාන කාලයේ ඇය මාධ්‍යවේදීන් ද ඒ ආකාරයට බෙදා සමීපව ඇසුරු කරන්නට පටන් ගත් අතර එම කණ්ඩායමට හැර එකම කණ්ඩායමක්වත් විශ්වාස නොකරන අයෙකුට හෝ ඇයව දුරකතනයට අල්ලා ගැනීමත් නොහැකි කටයුත්තක් විය.
දැන් අප සඳහන් කරන්නේ පරිපාලනය විසින් අත්හළ යුතු කරුණුය.
1ඔබට ඡන්දය දුන් අය අතර කොටස් දෙකකි.එකක් තමන්ගේ දොල සංසිඳුවා ගැනීමේ අපේක්ෂාවෙන් ඡන්දය දුන් අයය.තවත් පිරිසක් නෙට්බෝලය සැබවින්ම වැටී ඇති දුර්වල තත්ත්වයෙන් මුදවා ගැනීමේ උවමනාවෙන් ඡන්දය දුන් අයය.
2ඔබට ඡන්දය නොදුන් අය අතර ද එවැනිම පරමාර්ථ පෙරදැරි දෙපිරිසක් වෙයි.නෙට්බෝලය වෙනුවෙන් ද නෙට්බෝලයේ තම කණ්ඩායම ජය ගැනිමෙන් ඉනික්බිති තම අරමුණු සපල කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ද ඒ ආකාරයට නිලවරණයේදී පක්ෂපාති වූ ලෙස ඒ දෙකොටස ද බෙදා වෙන් කර ගන්න අපහසු නැත.


මේ කරුණු දෙකට කොටස් හතරක් අදාළ අතර මෙහිදී පත්වන නිලධාරි කණ්ඩායමට මේ කොටස් හතරෙන් දියෙන් කිරි වෙන් කර ගන්නවා සේ නෙට්බෝලයේ අභිවෘද්ධිය පිණිස වැඩ කිරීමේ අරමුණ ඇත්තේ කාටද කියා තෝරා ගැනීම අපහසු නැත.එයට භාවිතාව සම්බන්ධයෙන් ඇති ඉතිහාස සාක්ෂි ඇත.
දමයන්ති මීට පෙර ද එම තනතුරේ සිටි එසේම ශ්‍රී ලංකාවට ආසියානු කුසලානයක් දිනා දෙන්නට නායකත්වය දැරුව අදටත් ඇය ක්‍රීඩා කර දැක ඇති අයෙකුට පහසුවෙන් අමතක කළ නොහැකි අති දක්ෂ සෙන්ටර් ක්‍රීඩිකාවකි.එහෙත් පරිපාලනමය වශයෙන් දමයන්ති පත් වූ මොහොතෙන් පසුව වැඩ වරද්දා ගත්තේ මේ කොටස් හතරේ අත් හළ යුතු කොටස්වලට ගොඳුරු වීමෙන්ය.
දමයන්ති අදටත් මොහොතකටවත් අමතක කළ නොහැකි අපූරු ක්‍රීඩිකාවක්ය.ඒ ගැන විවාද නැත.ඒ ඇයගේ නෙට්බෝල්මය ක්‍රිඩා හැකියාවේ වර්ගපලය විසින් ඇති කළ ආදරයේ සහ ගෞරවයේ තත්ත්වයය.ඇය නිලධාරිණියක ලෙස ද එම වටිනාකමම ඉතිහාසයට එකතු කරන්නටනම් එහි වැඩ කටයුතුවල හැඩය ද නේට්බෝල්මය කර ගත යුතුය.


වජිරා මේ වගකීමට අලුත් ය.ඒ නිසාම ඇයට මේ වෙනස් කිරිම, අලුත් කිරිමේ සම්ප්‍රදාය සහ සංස්කෘතිය ලෙස හඳුන්වා දෙන්නට අපහසු නැත.ඇය එහිදී තදින් සිටිය යුතුය.පළමු දේ මුදල් ය.අමාත්‍යවරයාගේ දොරකඩ පාත්තරය සමඟ සිටගන්නා නිලධාරි පෝළිමේ නොසිට වජිරාට හැකිනම් අඩුම තරමේ දිස්ත්‍රික් තරගාවලි පවත්වා කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ට ලෙස දිස්ත්‍රික් සංචිත නඩත්තු කරමින් තරගකාරී අත්දැකීම් බෙදා දෙන්නට එය වැදගත්ය.මේ කාරණයේදී නෙට්බෝල් වෙනුවෙන් ස්වෙච්ඡා කැප කිරීමක් කළ හැකි පිරිස් ඒ ඒ දිස්ත්‍රික්කවලින් සොයා ගැනීමට යාමේදී වජිරාට ද,දමයන්තිට ද තමන්ගේ ඡන්දදායකයන්ගේ ආදරයේ හැඩය තේරුම් ගන්නට ලැබෙනු ඇත.


ඒ නිසා නීරස නොවිඳ ආරම්භයේ පටන් මේ ගමන නෙට්බෝල්මය වූ ආදරයකින් ආරම්භ කළ හැකිනම් වැදගත්ය.මේ දක්වා අප දුටුවේ නිල බලයට පත් කණ්ඩායම කෙරෙහි වූ ආදරයකින් වැඩ කිරීමය.ඊට අතර මැදින් එක් වූයේ ද තමන්ගේ වැඩ කොටස ඉටු කරවා ගැනීමට මුල් තැන දෙන පිරිසය.ඒ කණ්ඩායමේ සිට ගිලිහුණේ නෙට්බෝල්මය වික්‍රමයක් අපේක්ෂාවෙන් ඡන්දය දී එය ඉටු නොවීම ගැන කළකිරුණු මිනිස්සුය.
මෙහිදී සරලවම වජිරා – දමයන්ති සුසංයෝගයට තේරුම් ගැනීමට හැකි එක් කරුණක් කිව හැකිය.තමන් නිලවරණයට සහභාගි නොවී වෙනත් අයෙකුට බලය පැවරූ අයට වගකීමෙන් වැඩක් භාර දීමට නොහැකිය.එසේත් නැත්නම් ප්‍රතිවාදියාට විරුද්ධව සෘජුව සිට ගැනීමේ හැකියාවක් නැත.නිකමට සිතන්න.ක්‍රීඩාව වැනි තැනෙක එවැනි සැඟවෙන සුලු චරිතවලට,පෞරෂ හීන චරිතවලට,නෙට්බෝල්වලට ප්‍රමුඛතාවය දී හැසිරෙන්නට බාධාවන් ඇති චරිතවලට ක්‍රීඩාව ඉදිරියේ හමුවන අභියෝග පෙරළා පෙරට ඇඳෙන්නට ශක්තිය තිබිය හැකිද?


මෙතැන සිට කියවාගෙන අත්හළ යුතු සහ එක් කර ගත යුතු දේ නිවැරදිව තෝරා ගන්නේනම් මේ ගමන ශක්තිමත්ව පෙරට යා හැකි වනු ඇත.එහෙත් නිලළුරණය සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු සැක සහිතනම් ඒවා සැකයකින් තොරව සාධාරණය කර ගන්නට අධිකරණය ඉදිරියට යන්නටත් සිඳු විය හැකිය.නෙට්බෝල් පරිපාලනයේ ඇත්ත තත්ත්වය අනුව එය පුදුම වන්නට දෙයක් නොවනු ඇත.
කාටත් එකතු වෙන්න වැඩ කරන්න පුළුවන් නෙට්බෝලයට ආදරය ඇති තැනක් බවට පරිපාලන අවකාශය පුරවාලන්නට හැකිනම්, දමයන්තිගේ සෙන්ටර් ක්‍රීඩා ශෛලිය තරමටම ඇයත් වජිරාත් යුගය ස්වර්ණමය මතක ඉතුරු කරන ඉතිහාසයක් අනාගතයට ඉතුරු කරනු ඇත.එහෙත් එය කිරීමට මේ දක්වා ගලා ආ සංස්කෘතියෙන් බැහැරව තමන්ට ලැබුණ බලය වෙනසක් කිරීම සඳහා භාවිතා කළ යුතුව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...

දකුණු චීන මුහුදේ Devon Bay භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පෙරළී යයි!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු චීන...