නිශ්මං රණසිංහ ජනවාරි 27, කොළඹ LNW:
පළමුවන දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ පිරිමි සූරතාවය දිනා ගන්නට මාල දිවයින සමත් වුණා.කාන්තා සූරියන් වූයේ බංගලාදේශ කණ්ඩායමයි.ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකම අන්තිමයා නොවී ගැලවෙන්නට වාසනාව උදා කර ගත්තා.පළමුවරට සහභාගි වූ තරගාවලියේද් ඉතිහාසයේ පළමු ෆුට්සාල් ජය වාර්තා කරන්නට සමත් වුණේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි.ඒ මාල දිවයින කණ්ඩායමට එරෙහිවයි.

පිරිමි මාල දිවයින කණ්ඩායම සූරතාවය දිනද්දී කාන්තා මාල දිවයින කණ්ඩායම එසේ නොවීම ගැන අපේ අවධානය යොමු විය යුතුයි.එයින් එක් අතකට පෙනෙන්නේ මාල දිවයින පිරිමියා සහ කාන්තාවට ඇති සැළකිල්ලේ වෙනස නොවේද?ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් නැහැ.
එහෙත් දකුණු ආසියාවේම නිදහස්ම ගැහැණිය ශ්‍රී ලාංකේය ගැහැණිය යන්න සිතුවද මේ වන විට පැරණි සම්ප්‍රදායික ගෝත්‍රික මතවලින් බැහැරව වෙනත් රටවල ද කාන්තාවගේ දස්කම්වලට සමාජය විවෘත කරන බව දකින්නට ලැබෙනවා.විශේෂයෙන් පාපන්දු පිටියේ මෑත කාලීනව බංගලාදේශය දක්වන දස්කම් මෙන්ම පකිස්තානය දක්වන දස්කම් ද ඉහළ මට්ටමක පවතිනවා
මේ තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම් ක්‍රමික ප්‍රගතියක් ලැබූ බව පැහැදිළියි.මුල් තරගවලදී අඛණ්ඩව තරගයේ රැදී සිටිමේ දුෂ්කරතාවයක් දකින්නට තිබුණ අතර, මුහුණ දුන් අවසාන තරගවලදී ඒ තත්ත්වය වෙනස් වී දරා ගැනිම දියුණු තත්ත්වයකට පැමිණ තිබෙන අයුරු දකින්නට ලැබුණා.

කාන්තා සූරතාවය සඳහා වූ තරගාවලියේ ශ්‍රී ලංකාව අවසාන වරට මුණ ගැසුණේ ඉන්දියාවයි.එම තරගයේදී ශ්‍රී ලංකාව 5-2 ක් ලෙස පරාජය වුව ද,ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ මට්ටමකින් ක්‍රීඩා කළා.සාමාන්‍ය ආකාරයට තරගාලියේ මුලදී ශ්‍රී ලංකාව තරගයක මුල් කාලය ක්‍රීඩා කරන ආකාරයට ක්‍රීඩා නොකර පසුබාන තත්ත්වයක් දකින්නට ලැබුණත් මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ දෙවන භාගයේ දී වැඩි ගෞරවය දිනා ගන්නට සමත් වුණා.තරගයේ පළමු අර්ධය ඉන්දියාව ගෝල 4-0 ක් ලෙස ඉදරියට පැමිණීයත්,දෙවන අර්ධයේදී ඔවුන් එක ගෝලයක් ලබද්දී ශ්‍රී ලංකාව ගෝල දෙකක් ලබා ගන්නට සමත් වුණා. මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශානු පාස්කරන් සහ ගෞරී සුරෙන්තිරන් ගෝල ලබා ගැනීමට සමත් වුණා.

පිරිමි තරගයේදී හ්‍රී ලංකාව අවසාන වරට මුණ ගැසුණේ සූරාවය දිනූ මාල දිවයින කණ්ඩායමයි.එහිදී ඉදිරියෙන් සිටි එම කණ්ඩායම සමග ශ්‍රී ලංකාව හොඳ සටනක නියැළුණා.පළමු අර්ධය ගෝල 2-1 ක් ලෙස නිමාවට පත් වුණ අතර දෙවන අර්ධයේදී ඔවුන් තවත් ගෝල 3 ක් රැස් කරද එයින් එක් ගෝලයක් වාර්තා වුණේ ශ්‍රී ලංකා දැලට ශ්‍රී ලංකාවේම මොහොමඩ් අකීබ්ගෙන් එල්ල වූ ගෝලයක් ලෙසයි.( Own goal)දෙවන අර්ධයේදී ද ශ්‍රී ලංකාව එක් ගෝලයක් ලබා ගත් අතර ඒ අනුව අවසාන සටහන දැක් වුණේ ගෝල 5-2 ක් ලෙසයි. මෙහිදී මොහොමඩ් තිලාම් සහ මොහොමඩ් ෆයිසර් ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝල රැස් කරන්නට සමත් වුණා.

අප මීට පෙර ද සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවට ෆුට්සාල් ජාත්‍යන්තර තරග සඳහා යොමු කළ හැකි කණ්ඩායමක් සතුයි.කාන්තා සහ පිරිමි යන දෙ‘අංශයෙන්ම වෙනම නඩත්තුවක් ෆුට්සාල් පාපන්දු වෙත ලබා දෙන්නට ශ්‍රී ලංකාව කටයුතු කළහොත් ලෝකයේ නව ප්‍රවනතාවක් ලෙස නැඟී එන මෙම ක්‍රීඩාවෙන් පාපන්දු ක්‍රීඩාවට වඩා වැඩි ආකර්ශණයක් ලංකාවට දිනා ගත හැකියි.ඒ සම්බන්ධයෙන් පාපන්දු මෙන්ම සමස්ත ක්‍රීඩාවට අදාළ බලධෘරීත්වයද සිතා බැලිය යුතුව තිබෙනවා.



