පවන් දුර්මත බිඳියි – සහයට කෙනෙක් සිටියානම් ඓතිහාසික ජයකට යාමට තිබුණු ඉණිමක් දියත් කරයි

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW:

ඉතිහාසයේ එක් කලෙක ශ්‍රී ලංකාව පරාජය කරන්න ප්‍රතිවාදී කණ්ඩායමක් කොපමණ ලකුණු ප්‍රමාණයක් ලබා ගත යුතු ද යන්න පිළිබඳව සිතා ගත නොහැකි තත්ත්වයක් විය.එවන් පිතිකරණ හැකියාවන් පිරුණු කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතු වූ ඉතිහාසයක් සහිත අප, දීර්ඝ කාලයකට පසුව නැවතත් එවන් බලාපොරොත්තුවක් ඇති කරන්නට පවන් රත්නායක සමත් විය.පවන්,එවන් ශ්‍රී ලංකා කණ්ඩායමක් ගැන අදහසක් ඇති වන අන්දමේ හඹායාමකට මූලීකත්වය ගනිමින් එංගලන්තය ඉදිරියේ පරාජයට පත් වූයේ ක්‍රිකට් ලෝකයේම ගෞරවයට පාත්‍රවන සුළු හඹායාමකින් ඉනික්බිතිවය.


බොහෝ ක්‍රිකට් සම්බන්ධ මාධ්‍යකරුවන් පවන් රත්නායකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇති ඉඩ ගැන ලිවීය.එහෙත් ඔහු කණ්ඩායම් සංචිතයේ සිටියා විනා පිටියට බසින 11 ට නොවැටෙන කුමක් හෝ අඩුවක් තේරීම් කමිටුව දුටුවේය.ඒ අතරේ පත් වූ නව තේරීම් කමිටුව පවන්ට කණ්ඩායම තුළ ඉඩක් සැකසීය.ඒ ඉඩේ ඔහු කොතැනද යන්න තීරණය වූ සංවාදය තුළ නායකත්වය,පුහුණුකරු සහ තේරීම් කමිටුව විය.එය අංක හත විය.ක්‍රිකට් මාධ්‍යය එය හත නොවී හතර විය යුතු බවට ගෙනා තර්කය තුළ එම තීන්දුවේ පාර්ශවකරුවන් තවත් ඇති බව කියමින් පවන්ගේ ස්ථානය තීරණය කරන කමිටුව ගැන කීවේ චරිත් අසලංකම ය.


කෙසේ හෝ ඒ බලපෑම මත පවන් එංගලන්තය සමඟ පැවති තෙවන තරගයේදී අංක හතරට ඉහළ දැමීය.ඔහුට පෙර පැමිණි පිතිකරුවන් තිදෙනාම වේගයෙන් පන්දුවට පහර දී තිබිණ.පැතුම් නිශ්ශංක සහ කුසල් මෙණ්ඩිස්ගේ පන්දුවට පහර දීමේ ප්‍රහාරාත්මක වේගය 200% ඉක්මවා තිබුණ තැනෙක පන්දුවට පහර දීමට මද පහසුකමක්ද පවන්ට දැනෙන්නට ඇත.එහෙත් පවන් ඒ පහසුව සහ හැකියාව සමඟ කණ්ඩායමෙ දැවන්ත ලකුණු 357 ක් පසුපස රැඟෙන යද්දී පවන්ට පසුපසින් පැමිණි නැට්ටුවන් ඉක්මණින්ම පෙරහැර අවසන් කර ක්‍රීඩාගාරයට නික්ම ගියේය.මුල් අංක හතර හැරුණු විට ප්‍රහාරාත්මක වේගය මෙන්ම ජනිත් ලියනගේ 22,දුනිත් වෙල්ලාලගේ 22 සහ ජෙෆ්රි වැන්ඩර්සේ 14 හැරුණු විට අන් සියළු පිතිකරුවන්ගේ ලකුණු දායකත්වය ඇත්තේ එක ඉලක්කමකින්ය.


එවැනි පසුබිමක පවන් රත්නායක තමන්ගේ දායකත්වය හුදෙකලාවේ සටනක නියැලෙමින් ඉලක්කම් තුනක දායකත්වයක් බවට පත් කිරීම ක්‍රිකට් සම්බන්ධයෙන් ඔහුගේ පරිනත බව කියා පෑමක්ය.ඊට දවසකට පෙර පවන් නිර්මාණය කළ මහානාමයේම චාමික හීනටිගල තරගයේ වීරයා වෙන ඉණිමක් අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රියාත්මක කළේය.ඒ ඔහු මහා ප්‍රහාරයක් දියත් කර නොවේය.ප්‍රහාරයන් සඳහා සෙස්සන් පොළඹවමින් කඩුල්ල ආරක්ෂා කර ගනිමින් සියල්ල දැවී යාමේ අවදානමෙන් කණ්ඩායම බේරා ගෙන ජයග්‍රහණය කරා ගෙන යාම වෙනුවෙන්ය.පවන්ට එවැනි සහයක් දෙන්නට පරිණත කිසිදු පිතිකරුවෙකුට හැකි නොවීය.දෙවන කඩුල්ල දැවී යමෙන් ඉනික්බිති පිටියට පිවිස අවසාන පිතිකරුවා ලෙස දැවී යන තෙක්ම පවන්ට සිඳු වූයේ හුදෙකලාවේ සටන් කරන්නටය.


පන්දු 115 න් හතරේ පහර 12 ක් සහ එක් හයේ පහරක් සහිත වූ පවන් රත්නායක රැස් කරන ලද 121 පවන්ගේ වටිනාකම කියා දෙන්නට ප්‍රමාණවත් ඉණිමක් වුව ද,එය ජයග්‍රහණයකින් කෙළවර කරන්නට එක් අන්තයක සිට පවන්ගේ මහා ඉණිමට තල්ලුව දෙන්නට දෙටු ක්‍රීඩකයෙකු නොවීමනම් අවුලක්ය.එංගලන්ත නායකයා ඔවුන්ගේ ඉණිමේ ලකුණු 357 සඳහා දියත් කළ සිත් පිත් නැති ප්‍රහාරය ඔහුගේ පිත්තෙන් පමණක් ගලා ආ එකක් නොවිණ.කණ්ඩායමේ අති ජ්‍යෙෂ්ඨයා සහ මේ තරගාවලිය තුර ශ්‍රී ලංකාවට විශාලම පීඩනය බවට පත් වෙමින් තරගාවලියේ විරයා වූ ජෝ රූට්,හැරී බෘක්ගේ ඉණිමේ සහයකයා ලෙස රැදී උන්නේය.රූට් පන්දු 108 දී ලකුණු 11 ක් නොදැවී ලබා ගනිද්දී හැරී පන්දු 66 දී ලකුණු 136 ක් ලබා ගන්නේ බෘක්ගේ ප්‍රහාරයට ඉඩ දෙමින් රූට් වැඩි අවස්ථාවක් ඔහුට ලබා දෙමින් දුන් සහය නිසාය.පවන්ට අවාසනාවට එවන් සහයක් නොලැබිණ.


තරගයේ පන්දු යැවීමේ සංයුතිය ශ්‍රී ලංකාව වෙනස් කරමින් ප්‍රෙමාද් මධුශාන් ඉවත් කර තිබිණ.ඒ අඩුව පුරවන්නට පිතිකරු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ජනිත් ලියනගේට අවස්ථාව දී තිබිණ.ජනිත් පන්දු ඕවර් 3 ක් යවා නොයිදුල් ඕවරයක්ද සමඟ ලකුණු 7 ක් පමණක් දුන් අතර එතැනින් නැවතුණේ කෙසේද යන්න දන්නේ නායක චරිත් අසලංක පමණි.එහි පිටුපස තවත් තීරණ ගන්න අය ඉන්නවා විය හැකිය.ප්‍රමෝද් මධුශාන් ඉවත් කර දඟ පන්දු යවන වනිඳු හසරංග කැඳවා තිබිණ.මේ අවුල් ලිහා ගන්නට අමාරුය.ප්‍රමෝද් වෙනුවට ඒෂාන් මාලිංගව නොගෙන වනිදු ගෙන ඒම මෙන්ම ප්‍රමෝද් වෙනුවට පන්දු යැවීමට යොදා ගත් ජනිත් පන්දු ඕවර් තුනක් හොඳින් යවා තිබියදී යළි නොකැඳවා තිබීම සිතා ගන්නට අපහසු භාවිතාවන්ය.
වනිදුගේ තරගය කැදවීමේ දායකත්වය පන්දු ඕවර් 10 ලකුණු 76 එක් කඩුල්ලක්ය.ගෙවුණු තරග දෙකේම දක්ෂතා දැක් වූ වැන්ඩර්සේ ද මේ තරගයේදී ඒ ආකාරයෙන්ම ලකුණු 76 ක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගත්තේය.බෘක්ගේ ප්‍රහාරයට තදින් ගොදුරු වූ හසරංග හයේ පහර හතරකින්ම සංග්‍රහ ලැබ තිබිණ.අසිත ප්‍රනාන්දුට පන්දු ඕවර් 9 ට ලකුණු 77 ක් ය.වෙල්ලාලගේ පමණක් පන්දු ඕවර් 10 ලකුණු 49 ට සීමා කර ගන්නට සමත් විය.


ලකුණු 40 ට කඩුලු 2 ක් අහිමිව ගිය එංගලන්තය රූට්ගේ මඟ පෙන්වීම මත තෙවන කඩුල්ලට ලකුණු 65 ක් ලැබූ ජාකොබ් බෙතල් සමඟ ලකුණු 126 ක සබඳතාවයකින් ද,ඉනික්බිති හරී බෘක් සමඟ නොබිඳි ලකුණු 191 සබඳතාවයක්ද සමඟ ලකුණු 357 කරා ගිය හැටි ඉණිමක් ගොඩ ගැනීම සහ කණ්ඩායමක් ගොඩ නැඟීම ගැන පාඩමක්ය.ඒ පාඩම තරගය තුළ ඉගෙන ගත්තානම් පවන්ගේ ඉණිම ජයග්‍රහණයට පාදක කර ගැනීමට රූට් කළ දේ කරන්නට කෙනෙක් පවන්ගේ අනිත් අන්තයේ රැදෙන්නට තිබිණ.
ලකුණු පූවරුවට පිවිසෙන්න. https://bit.ly/49JVEan

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...

කාලගුණයේ යළිත් වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 28) දිනයේදී දිවයිනේ බොහෝ...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්න. අපිත් සහයෝගය ලබා දෙන්නම් – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...

විෂ මත්ද්‍රව්‍යට එරෙහි රත්නපුර දිස්ත්‍රික් කමිටුවේ සභාපති ධුරය මාලිමා මන්ත්‍රී ශාන්තට

විෂ මත්ද්‍රව්‍යට එරෙහි ජාතික මෙහෙයුමේ රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවේ...