සිර කඳවුරු බූමියේ සිට හාරනු ලැබූ උමගයේ එහා පිටවන කෙලවර සැලසුම් කර තිබුනේ කඳවුරු බිමේ සිට අඩි හැත්තෑපහක් පමණ බෑවුමක පිහිටි ඇල ඉවුරකටය. ඒ අනුව උමගය හෑරිය යුතුව තිබුනේ බෑවුමක හැඩයටය. නමුත් මෙහිදී මතුවූ ගැටළුව නම් උමගය හාරන පස් මේ තද බෑවුම දිගේ උඩට ගෙන ඒමට නොහැකි වීමය. හේතුව පොලොව යට ඇති දිය සීරාව නිසා පස් මළු උඩට රැගෙන එන්නා යලි යලිත් පහට රූටා යෑමයි.
මෙයට පිළියමක් ලෙස රැඳවියන් තෝරා ගෙන තිබූ විසඳුම නම් උමගය පියගැට පෙලක් සහිතව සකස් කිරීමයි. ඇත්තෙන්ම මේ උමගය සෑදුනේ පොළොව දිගේ බඩගාගෙන යෑම සඳහා නොවේ, කොන්ද හා දනහිස් මදක් නවාගෙන උමගය තුල දෙපයින් ඇවිදගෙන යාමට හැකියාව එහි තිබින. රැඳවියන් විසින් උමඟය මෙසේ මදක් විශාලව නිර්මාණය කිරීමට හේතුව වූයේ උමඟය හාරන පස් උඩට ගෙන ඒමේ ඇති පහසුව සඳහාය.
උමඟය සැලකිය යුතු දුරක් ඇතුලට හෑරීමේදී රැඳවියන් මුහුණ දුන් ඊළඟ ගැඨළුව වූයේ උමඟය තුල ආශ්වාස වාතය නොමැති කමයි. මේ ගැඨළුවටද ඔවුන් විසඳුමක් සොයාගෙන තිබින. ඒ විසඳුම නම් සිමෙන්ති උරයක ප්‍රමාණයේ පොලීතීන් උරයක් ගෙන උරයේ යට සිදුරු කර ඒ සිදුරට පොලීතීන් බටයක කට සවිකර පොලීතීන් බටේ එහා කෙලවර උමගය කෙලවර සිටින උමගය හාරන්නා අසල තිබීමයි.
එහිදී උමගය උඩ සිටින පුත්ගලයෙක් පොලීතීන් උරයට විවෘත පරිසරයේ ඇති වාතය පුරවා උරයේ කට වසා එකවර උරය මිරිකනු ලබයි, එහිදී උරයේ තිබූ අළුත් වාතය පොලීතීන් බටය දිගේ උමඟය හාරන්නා අසලට යයි. (මේ ක්‍රියාවලිය උමගය උඩ සිටින පුත්ගලයා නොනවත්වාම කල යුතුය) මේ සඳහා බාවිතා කල පොලීතින් බටය කඳවුර තුලට ගෙන්වාගත්තේද නිලධාරීන් හරහාය. ඒ කඳවුරේ පුස්තකාලයේ ඇති පොත්වලට කවරදාගැනීමට යැයි පවසමිනි.
ඊට අමතරව උමගය තුල ප්‍රමාණවත් ආශ්වාස වාතය ඇද්දැයි පරීක්ෂා කිරීම සඳහා රැඳවියන් නිරන්තර පරීක්ෂනයක්ද කලේය. එනම් උමගය කෙලවර ඉටි පන්දමක් දල්වා තිබීමයි. මෙහිදී ඉටිපන්දම ස්වාභාවිකවම නිවී ගියේ නම් එයින් අදහස් වන්නේ උමගය තුල ඔක්ෂිජන් වායුව නැත්නම් ආශ්වාස වාතය නැති බවයි. ස්වසන අනතුරුවලින් තොරව ගැඹුරු උමගයේ වැඩකටයුතු කිරීමට ඔවුන්‍ට මේ ඉටිපන්දම් පරීක්ෂාවද විශාල පිටිවහලක් විය.
මේ උමං ත්‍රිත්වය සැලකියයුතු දුරක් හෑරුනු විට මා සිටි ශාලාව දෙපස තිබූ ශාලා පරිශ්‍ර තුල හාරන ලද උමං මාර්ග පොලොව යට තිබූ බාදාකාරී ගල් පර්වත හමුවීම නිසා අතර මගදී නතර විය. මේ අතර උමං හෑරීම ගැන යම් ඔත්තුවක් පරිපාලනය වෙත ලැබී තිබූ නිසා මා සිටි ශාලාවට යාබද අංක තුනේ ශාලා පරිශ්‍රය පරිපාලන නිලධාරීන්ගේ හදිසි පරීක්ෂාවට ලක් උනි. නමුත් ඔවුන්ගේ පරීක්ෂාවට උමං මාර්ගය ගැන කිසිදු සළකුණක් හමුවී තිබුනේ නැත. එහිදී නිලධාරීන්ට ලැබී තිබූ ඔත්තුව නිවැරදි දත්ත සහිත ඔත්තුවක් නොවන්නට ඇත.
මේ අතර මා සිටි ශාලාවේ සිට උමඟය හෑරූ රැඳවියන්ටද උමගය තුල විශාල කළු ගලක් හමුවී තිබින. එහිදී ඔවුන් ගල මග හැරීම සඳහා උමගය වමට හැරවීමටත් නැවත දකුණටත් ආදී වශයෙන් වංගු සහිතව උමගය හෑරීමට සිදුවී තිබින. මෙහිදී ඔවුන් මුහුණ දුන් ගැඨළුව නම් වමට දකුණට උමගය හැරවීම නිසා පොළොව යටදී සැබෑ දිසාව සොයා ගත නොහැකි ගැඨළුවයි. එහිදී ඔවුන්ට උමගය තුලදී නිවැරදි දිශාව සොයාගැනීම සඳහා එවකට ඉංජිනේරු ශිෂ්‍යයෙකුවූ ‘මාස්ටර්’ ගේ සහය ලැබී තිබින. (මාස්ටර් යනු වැලිමඩදී අත් අඩංගුවට පත්වූ පක්ෂ ක්‍රියාකාරිකයෙකි. මේවනවිට හැට දෙවෙනි වියේ පසුවන ඔහු රාජ්‍ය අමාත්‍යාංශයක විධායක ඉංජිනේරුවෙකු ලෙස සේවයේ යෙදෙයි)
මේ උමගය හරහා පලා යෑමේ ක්‍රියාමාර්ගය තුල ඇතිවිය හැකි යම් අනතුරක සේයාවන් “කායා” ට දුර තියාම පෙනී තිබින. ඒ, විශාල පිරිසක් උමගයෙන් පලායෑම තුල කඳවුරේ ඉතිරිවන අයගේ ජීවිතවලට එල්ලවිය හැකි ධරුණු මර්ධනය ගැන ඉරණමයි.
මේ අවදානමෙන් ගැලවීම සඳහා ඔහු සැලසුම් කර තිබූ සැලැස්ම වූයේ මේ පලායෑම සිදුවන දිනට ආසන්න දිනයන්වල රතුකුරුස සංවිධානය වැනි සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින සංවිධාන කඳවුර තුලට ගෙන්වා ගැනීමයි. එහිදී ඔවුන්ව කඳවුරු පරිශ්‍රයට ගෙන්වාගැනීමට අවශ්‍ය ලිපි ලේඛණ සකස් කලේ ද කායා විසින්මය. (උත්ගතවූ වෙනස් තත්වයන් මත රැඳවියන්ගේ පලා යෑමේ තැත අසාර්ථක වුවද කායා විසින් සැලසුම් කල ආරක්ෂක උපාය මාර්ගය සාර්තක විය. පලායෑම සැලසුම් කල දිනට ආසන්න දින කිහිපය තුල රතුකුරුසයේ යුරෝපීය නිලධාරීන් කඳවුර තුලට පැමිණ රැඳවියන්ගේ ආරක්ෂාව පිළිඹඳ සොයාබැලුවේය. පලායෑමට තැත් කිරීම නිසා එදා රැඳවියන් වෙත එල්ල වීමට නියමිතව තිබූ අදිසි මර්ධනයද ඒ නිසා මග හැරී යන්නට ඇත.)
මෙහිදී උමගය හාරන මැටි පස් විශාල ප්‍රමාණයක් ජලයෙන් දියකර රැඳවියන් බාවිතාකරන වැසිකිලි වලට දැමීම නිසා වැසිකිලි වල කීප විටක්ම පිරී යන්නට විය. ඒ සෑම විටෙකම පරිපාලන නිලධාරීන් ගලි බවුසර් ගෙන්වා වලවල් හිස් කලා මිස ඒ පිළිඹඳව ඔවුන් තුල ලොකු සැකයක් ඇතිව තිබුනේද නැත.
මීට පෙර ලංකා ඉතිහාසය තුල උමගක් හාරා උමග හෑරූ පස් ඉතාම උපාය ශීලී ලෙස සඟවා, හෑරූ උමඟ තුලින් සියළුම රැඳවියන් නිරුපද්‍රිතව පලාගිය අවස්තා තිබුනේ එකකි. ඒ අසූව දශකයේ අග බාගයේ සිදුවූ පැලවත්ත රැඳවුම් කඳවුරෙන් ජ.වි.පෙ. රැඳවියන් පලාගිය සිද්දියයි. ඒ සිද්දියද මෙහි සඳහන් කිරීමට කැමැත්තෙමි …
එහි සිටි රැඳවියන් ප්‍රතිමා ප්‍රදර්ශනයක් කඳවුර තුලදී පැවැත්වීම සඳහා ප්‍රතිමා සෑදීමට පරිපාලන නිලධාරීන්ගෙන් අවසර ඉල්ලා තිබින. මේ ප්‍රතිමා සෑදීම ගැන සැකයක් ඇතිකර නොගත් නිලධාරීන් ඒ සඳහා අවසරද දී ඇත. එහිදී රැඳවියන් ප්‍රතිමා සඳහා කඳවුරු මිදුලෙන් සුළු පස් ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර විශාල පස් ප්‍රමාණය ලබාගෙන ඇත්තේ උමගය කනින පස් වලිනි. එහිදී ප්‍රතිමා යනු උමගයේ පස් සැඟවීමට ගත් උපායමාර්ගයකි.
මෙහිදී ඔවුන්ගේ විශාලම ප්‍රතිමාව තබා ඇත්තේ උමං කට උඩමය. ප්‍රතිමා තනන කාලයේදී මේ අලංකාර ප්‍රතිමාවන් නිලධාරීන්ගේ පැසසුමට හා අගය කිරීමටද ලක්වී ඇත. එක් දිනක් උදෑසන කාලයේ මේ ප්‍රතිමා ප්‍රදර්ශනය විවෘත කිරීමට නිලධාරීන්ට පැමිණෙන ලෙස ඊට පෙර දින රැඳවියන් විසින් ආරාධනා කර තිබින. පසු දින ප්‍රතිමා ප්‍රදර්ශනය විවෘත කිරීමට නිලධාරීන් රැඳවුම් ශාලාවට ගිය විට එහි කිසිවෙකු සිට නැත. ඒ වනවිටත් ප්‍රතිමා පමණක් එහි තබා රැඳවියන් පලාගොස් තිබින.
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN