*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

හොරොව්පොතානේ දැරියන් තිදෙනා සහ විශ්ව ගම්මානය ….

‘ප්‍රේම දඩයම – 3’ කොටස නරඹලා ‘බේලා’ සහ ‘මහීර්’ව බලන්න ඉන්දියාවට යන්න පිටත් වුණු හොරොව්පතානේ දැරියන් තිදෙනෙක් ආපසු හමු වුණ සිද්ධියක් පහු ගිය දවසක වාර්තා වුණා. ඒ දැරියන් තිදෙනා සමග සිදු කළ යූ ටියුබ් සංවාදයක් බලලා හිත හුඟක් පෑරුණා.

වයස අවුරුදු 8, 12 සහ 13 ක් වුණු මේ දැරියන් තිදෙනා ගේ අරමුණ වෙලා තිබුණේ යාපනයට ගිහිං එතැනින් ඉන්දියාවට යන එක. ජංගම දුරකතනයක් හරහා අන්තර්ජාලය පිරික්සලා තමයි යාපනයේ ඉඳන් ඉන්දියාවට යන්න ළඟ බව ඔවුන් සොයාගෙන තියෙන්නේ. ඔවුන්ගේ වචනයෙන් ම කියනවා නම් ‘ෆෝන් එකේ ගහලා’ තමයි ඒ විස්තර දැනගෙන තිබුණේ. ‘බේලා’ සහ ‘මහීර්’ ඉන්නේ ඉන්දියාවේ මුම්බායි නගරයේ බව ෆෝන් එකෙන් ගහලා හොයාගන්න මේ දරුවෝ තුන් දෙනා ඒ ගමන ගෙදරට නොකියා යන්න විශේෂ හේතුවක් තිබුණා. ඒ තමයි, තමන්ගේ ගෙවල්වල තියෙන අග හිඟකම් නිසා දෙමාපියන්ට කිව්වොත් කවදාවත් ඉන්දියාවට එක්කගෙන යන්නේ නැති වෙයි කියන අනුමානය.

මේ ලාබාල සංචාරකයෝ තුන් දෙනා රුපියල් 850/- ක් ම අතේ තියාගෙන පා ගමනින් වැලිමුවපොතාන හන්දිය දක්වා ඇවිත් ත්‍රිකුණාමලය සිට යාපනයට යන බස් රථයකට නැගලා කැබිතිගොල්ලෑවට එනවා. එතැනින් කහටගස්දිගිලියට එන ළමයි බස් වරද්දාගැනීම් කීපයක් අවසානයේ නැවතත් හොරොව්පතානට ම එනවා. බස් ටිකට්වලට ගිය වියදම් ඇරුණාම වඩේ තුනක් කෑවට පස්සේ බෝට්ටුවෙන් ඉන්දියාවේ යන්න හිතාගෙන ගෙනාව සල්ලි ඉවර වෙන මේ දූලා තුන්දෙනාගේ වාසනාවට නගරයේ දී ගමේ නැන්දා කෙනෙක්ව මුණගැහෙනවා. ඉතිං එතැනින් ඒ සංත්‍රාසජනක චාරිකාව අවසන් වෙනවා.

ඒ යූ ටියුබ් සංවාදයේ දී අනම්‍ය, දැඩි බැල්මකින් යුතු වැඩිමල් දැරිය තමන්ගේ උත්සාහයට උසුළු විසුළු කරන, තමන්ගේ නුවණ මට්ටම ප්‍රශ්න කරන සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයින්ව නිර්භීත විදියට ප්‍රතිප්‍රශ්න කරනවා. ‘අපි අහන්නේ ඔයාලගෙන් මෝඩයි ද කියලා’ කියලා ආවේගයෙන් පෙරළා ප්‍රශ්න කර අනෙක් අතට පැවසූ කතාවෙන් මගේ හිත සසල වුණා පමණක් නෙමෙයි එය ඇති කරන කම්පනය මගේ නින්ද පවා අහිමි කළා.

‘අපි හැමදාම මේ කැළෑවක් අස්සට වෙලා ඉන්න බැහැනේ’

විස්මය ! ක්‍රිස්තු වර්ෂ 1982 දි ‘යහළු යෙහෙළි’ චිත්‍රපටයට ‘එක මවකගෙ දියණියක් නොවී’ කියන ගීතය ලියන කුලරත්න ආරියවංශ එහි දෙවැනි අන්තරා කොටසේ මෙහෙම ලියනවා.

‘මලක් ලෙසින් පිබිදී හිනැහීලා
ලොවට සුවඳ දී මිස පෙති සලා
උපන් අකුලෙහිම සැඟ වී
මිය යා යුතු නැත ගොළු වී
මලක් ලෙසින් ලොවට සුවඳ සලා’

මෙහෙම සංකල්පනාවක් අකුරු කරනකොට කුලරත්න ආරියවංශට වයස කීයක් වුණාද දන්නේ නැහැ. නමුත් ඊට හරියට ම අවුරුදු හතළිහකට පස්සේ, ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 2022 දි හොරොව්පතානේ වාසය කරන වයස අවුරුදු දහ තුනක දැරියක් ඒ අදහසම පැහැදිලි සිංහලෙන් ඉදිරිපත් කරනවා. ඒ හරහා තමන් මෝඩදැයි ප්‍රශ්න කරපු සමාජය ඉතා නිර්දය ලෙස කොට්ට උරයක් වගේ කණපිට හරවනවා.

‘අපි හැමදාම මේ කැළෑවක් අස්සට වෙලා ඉන්න බැහැනේ’

සුනේත්‍රා රාජකරුණානායකගේ ‘බත් තරංග’ නවකතාවේ එන රූපසිරි හෙවත් බී.බී ගේ ගම වෙන්නේ රත්නපුරේ නිරිඇල්ල. රූපසිරිගේ අක්කා රූපලතා, ටවුන් එකේ කොට්ටොරකම් කරන්න ආපු කොළඹ හතේවත්තේ ‘ලෙස්ලි’ එක්ක පැනලා ගියාටත් පස්සේ රූපසිරිට අක්කා ගෙදර ඉන්න කාලේ කොපි පොතක් ලියලා තිබුණ කවි වගයක් හමුවෙනවා. ඒ වෙනකං ම අක්කා කවි ලියන බවක් රූපසිරි වුණත් දැනගෙන හිටියේ නැහැ.

‘අපේ ගම හරි පුංචියි
උස් කඳුවල හිරවෙලා වගෙයි
කඳුවලින් එහා ලෝකය
මොන වගේ ද බලන්න

හරිම හරි ආසයි
ඉන්දියානු සාගරය
අනුන්ගෙන් ඉල්ල ගත්
සිතියම් පොතක
වචන දෙකක් විතරයි

කොළඹ අපේ අගනුවර
පාසල් චාරිකාවෙන්
දැකගන්න බැරි වුණේ
අම්මාට කරදර කරන්න
විනෝද ගමන්වලට
කාසි පනම් ඉල්ලන්න
හිතක් නැති නිසයි

සරසවියක් ගැන කියවෙන
අනුන්ගෙන් ඉල්ලගත්
පත්තර කෑලිවල කතා
මොටද මං හිතට ගන්නේ
ගුරුවරු නැති ඉස්කෝලෙක
පොත් නැති පන්තියක
ඉගෙන ගන්නකොට’

ඉන්දියානු ටෙලි නාට්‍යවල ආදීනව, ළමා පරපුර රූපවාහිනියට ඇබ්බැහිවීමේ විපාක, දරුවන් පිළිබඳ දෙමාපියන්ගේ සැලකිල්ල වගේ අටෝරාසියක් කරුණු කාරණා සියල්ල අමතක කරලා දාලා මේ දැරියන් තුන්දෙනා ගිය අරුම පුදුම ගමන ගැන මගේ හිතේ දැඩි සෙනෙහසක් පහළ වෙනවා. අහලා තියෙන විදියට සුප්‍රකට සිනමාවේදිනිය සුමිත්‍රා පීරිස් තමන්ගේ පාසල් අධ්‍යාපනය අවසන් කරලා විනෝදයට බෝට්ටුවක නැගලා ප්‍රංසයට ගමන් කරනවා. පණහ දසකයේ දී ගුණවර්ධන පෙළපතේ යුවතියකට ප්‍රංසයට යාම පවා සුළුපටු දෙයක් වුණත් දෙදහස් විසි දෙක වසරේ දී තවමත් කොළඹ දැක නැති දරුවන් මේ රටේ ඉන්න බව තේරෙන නිසා මේ දැරියන් තිදෙනාගේ ගමන සිත නැවත නැවත පාරනවා.

හිතන්න ! රුපියල් ම අටසිය පණහක් අතේ තියාගෙන යාපනයෙන් බෝට්ටුවක නැගලා ඉන්දියාවට යන්නයි, මුම්බායි නගරයට ගිහිං ‘බේලා’ සහ ‘මාහීර්’ව මුණ ගැහෙන්නයි හිතපු කෙල්ලෝ තුන්දෙනෙක්. රුපියල් අටසිය පණහක් අරං ගිහිං මාසයක් දෙකක් විතර ඉන්දියාවේ ඉඳලා ආපහු එන්න හිතපු කෙල්ලෝ තුන්දෙනෙක්. අගහිඟකම් නිසා අම්මලට කිව්වොත් එක්කං යන්නේ නැති වෙයි කියලා ගෙදරට හොරෙන් ඉන්දියාවේ යන්න හිතපු කෙල්ලෝ තුන්දෙනෙක්.

මේ සියලුම කතන්දර මැද්දේ පෙර කී දැරියගේ කතාව මගේ හිත ඇතුළේ නැවත නැවත දෝංකාර දෙනවා.

‘අපි හැමදාම මේ කැළෑවක් අස්සට වෙලා ඉන්න බැහැනේ’

දුවේ ;
ඉන්දික ගුණවර්ධන නම් වූ කවියෙක් ‘හිතේ කෙටූ ටැටූ’ නම් කවි පොතක ‘විශ්ව ගම්මානය’ නමින් මෙසේ කවියක් ලියා ඇති බව ඔබ කවදා හෝ දිනෙක දකිනු ඇති ද ?

‘ඇත්ත
ලෝකය
විශ්ව ගම්මානයක්

අපි ඉන්නේ
කහටගස්දිගිලියෙ
යාය දහයෙ’

  • සහන් කසීර වික්‍රමසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan