දේශීය සිනමාවට 75 සපිරීම නිමිත්තෙන් සිනමාවට අනඟි මෙහෙවරක් කරන ලද නිර්මාණවේදීන් අළලා සමරු මුද්දර පහක් නිකුත් කරන බව ප්‍රකාශයට පත්ව ඇත. මෙම සමරු මුද්දර සඳහා සිනමාවේ ප්‍රගමනයට සිය දායකත්වය ලබා දෙනු ලැබූ ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ, මහාචාර්ය සුනිල් ආරියරත්න, ටෝනි රණසිංහ, රවින්ද්‍ර රන්දෙනිය යන සිනමාකරුවන්ගේ ඡායාරූප හා ‘රේඛාව’ චිත්‍රපටයේ දර්ශනයක් යොදාගෙන තිබෙන බව ප්‍රකාශ වේ.
මෙහිදී ලාංකීය සිනමාව වෙනුවෙන් අනඟි මෙහෙවරක් ඉටු කරන ලද වම් ඉවුර පිළිබඳ කතා නොකර සිනමාවට 75ක වර්ෂ පූර්ණය සැමරීමට හැකිද යන්න ගැටලුකාරීය. වම් ඉවුරේ ප්‍රාරම්භකයා ධර්මසේන පතිරාජයි. ඔහු විසින් ආරම්භ කරන ලද දේශීය මොඩලයේ යථාර්ථවාදී පර්යේෂණාත්මක සිනමා ආගමනය ඉදිරියට ගෙන යනු ලැබුවේ වසන්ත ඔබේසේකරයි. ඔබේසේකර විසින් ගොඩනගා ගනු ලැබූ දේශීය සිනමාවේ ආඛ්‍යාන රටාවේ අනන්‍යතාවය උත්කර්ෂයට නැඟුවේ ධර්මසිරි බණ්ඩාරනායකයි. එම කාලයේ පැවැති සම්පත්වල ඌණතාවයන්, අවස්ථාවන් හා තාක්ෂණ භාවිතාවන් ඉතා අඩු කාලයක ඔවුන් විසින් කරන ලද නිර්මාණ පුදුම එළවන සුළුය. ඔවුන් ලාංකීය සිනමාවට අමිල මෙහෙයක් කරන ලද පුරෝගාමීන්ය.
පතිරාජ නිරන්තරයෙන් සිනමාවේ නව අත්හදා බැලීම් කරනු ලැබීය.’අහස් ගව්ව, බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ’ ආදියෙන් සමාජයේ පණ ගැහෙන සමාජ ප්‍රශ්න බුද්ධිමය වශයෙන් කියවා ඒවායෙහි අක්මුල් සොයාගොස් සමාජ යථාර්ථයේ හරස්කඩක් සැමවිටම නිරාවරණය කිරීමට උත්සහ දැරීය.ට්‍රොස්කිවාදියෙකු වූ පතිරාජ ලෝකය පිළිබඳ මනා සංජානනයකින් කාලය හා අවකාශය අතර වන ගතිකයන් පිළිබඳ මනා අධ්‍යනයකින් සිය පරිකල්පනය වඩවා ගත් ඵෙන්ද්‍රීය බුද්ධිමතෙක් විය.
වම් ඉවුරට වසන්තය ගෙන එනු ලැබුවේ ඹබේසේකරයි. ඔබේසේකර සවිඥාණිකව සමාජයේ සත්‍ය සිදුවීම් සිය නිර්මාණයන්ට පාදක කර ගනු ලැබීය. ඔහු විසින් නිර්මාණය කරන ලද ‘වෙස්ගත්තෝ, වල්මත්වූවෝ, දියමන්ති ,දඩයම, පළඟැටියෝ, කැඩපතක ඡායා, දොරකඩ මාරුව, තීර්ථ යාත්‍රා, සළෙළු වරම, අසනි වර්ෂා’ ආදියෙන් ඔහු සමාජයේ ප්‍රබල සිද්ධි තේමාකොට ගෙන නිර්මාණය තුළ සිද්ධියට පාදක වූ හේතුඵලය කුමක්ද යන්න විශ්ලේෂණය කළා. ඔහු තරම් සිනමාවේ සාරය හඳුනාගත් වෙනත් නිර්මාණකරුවෙකු නොමැතිතරම්ය.ඔහු රොබට් ප්‍රොසෝන් මෙන් ශබ්ධය රූපය තරම්ම ප්‍රබලවූද අරුත් නංවන සිනමා සංඝටකයක් බව ඔප්පුකර පෙන්වීමට සමත් ලාංකීය සිනමා අරගලකරුවාය.
ධර්මසිරි බණ්ඩාරනායක හැම විටම කුමන සමාජ යථාර්ථයක් ගෙනහැර දැක්වූවද එය සිය ආත්මීය භාෂාවට සමාන්තරව ගෙන ඒමට සමත් විය.ඔහු තමා පෙළන සමාජ සංස්ථිතියට ප්‍රතිපක්ෂව ප්‍රේක්ෂකයා හිඳ සිටින අසුනෙන් නැගිටුවා අරගල භූමියට ඔවුන් කැඳවීමට සමත් නිර්මාණකරුවෙකි. ඔහු කොන්දේසි විරහිතව පීඩනයට ගොදුරුවන්නන් වෙනුවෙන් පෙනී සිටින්නට විය. එය සැබීවක් බව ඔහුගේ නිර්මාණවලින් පෙනී යයි. ‘හංස විලක්, තුන්වන යාමය, සුද්දිලාගේ කතාව, ධවල භීෂණ’ ආදී නිර්මාණ කුමන කතා වෘත්තාන්තයකින් නිර්මාණය වුවද එවායේ ඇත්තේ ආත්මීය භාෂාවකි. මෙම නිර්මාණ සමාජගත කරවන අවධියේ වර්ගවාදී වෘකයන් ලේ පිපාසාවෙන් දත් විලිස්සා සිටියදීත් නිර්භයව දිවි පරදුවට තබා මොහු කරන ලද මැදිහත්වීම විශිෂ්ඨය. ග්‍රම්ස්චියානුවාදියෙකු වූ ඔහු පවතින මජර ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් සුභාවිතව සිය අරගලය දියත් කරනු ලැබූවෙක් විය.
මෙම සිනමා වේදීන් තිදෙනාම දේශීය සිනමාව විශ්ව සම්භාවනාවට පාත්‍රකළ අදීන නිර්මාණවේදීන්ය. පක්ෂ දේශපාලනයට ගැති නොවූ නිර්මාණවේදීන්ය. සිංහල සිනමාවේ මහා වනස්පතියක්ව බැබැළනෙ වම් ඉවුරේ නිර්මාණකරණයේ පතාක යෝධයන් සිටියදී පුංචි පුංචි තණපත් කටුපඳුරු උත්කර්ෂයට නැඟීම පිළිබඳ සිනමා රසිකයන්හට ඇත්තේ අනුකම්පාවකි. කළකිරීමකි.
- සශිකලා මධුෂාණි