දේශපාලන වේදිකාවේ ආගමික ඕවර් ඇක්ටින් – තාරක ලියයි. 

Date:

මේ දවස්වල එක එක දේවල් වෙනවා. ගැටුම් බලන්න ආස අයට ගැටුම් පෙන්වනවා. නැටුම් බලන්න ආස අයට නැටුම් පෙන්වනවා. ගැටුම් සහ නැටුම් බලන්න ආස අයට ඒ දෙකම එකටත් පෙන්වනවා. හැබැයි ඔය මොන ගැටුම මැද මොන නැටුම බැලුවත් සිහි බුද්ධියෙන් බලන එක තමයි හොඳ. 

අපේ වගේ රටවල්වල දේශපාලනය කියන්නේ කොහොමත් මඩ ගොහොරුවකට. ඒකෙ බැහැගෙන ජබි ගහන එක තමයි දේශපාලන ක්‍රියාකාරීත්වය කියල ගොඩක් දෙනා හඳුනා ගන්නේ. ඒකෙ ජබි නොගහ වෙනස් ප්‍රවේශයක් ගැන හිතන අයගෙන් අහනව, “කෝ නෑනේ මුකුත් සද්දයක්“ කියල. 

මේ ගොහොරුවේ ආණ්ඩුව විපක්ෂය වගේම තවත් කණ්ඩායම් ජබි ගහන බව පේනවා. ඒ එක කණ්ඩායම් විශේෂයක් තමයි ආගමික කණ්ඩායම්. විවිධ ආගමික කණ්ඩායම් තමන්ගේ ශාස්තෘවරයාගේ ධර්මයට මුවා වෙලා දේශපාලන ගේම් වලට හීනියට සම්බන්ධ වෙන එක අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. 

මේ දවස්වල අපි දකිනවා එක්තරා ආගමික කණ්ඩායමකුයි ආණ්ඩුවයි අතරත් මාර යුද්ධයක් ඇවිලෙනවා. එහෙන් මෙහෙට වාග් ප්‍රහාර. මෙහෙන් එහෙට වාග් ප්‍රහාර. බුදු අම්මේ. මෙහෙමත් ගැටුමක්. කොටින්ම ඒ ආගමික කණ්ඩායම කොච්චර ඉස්සරහට ඇවිත්ද කියනවනං ඒ ගොල්ලෝ නිකන් නිල නොවන විපක්ෂය වගේ.

මේ ගැටුම බලාගෙන ඉඳල ගොඩක් ආණ්ඩු විරෝධීන් ඒකෙන් පොඩි චූන් එකක් ගන්න බව පේනවා. “ආණ්ඩුවට හොඳ වැඩේ.. ඔහොම වෙලා මදි“ වගේ මානසිකත්වයකින් තමයි ඒ ගොල්ලෝ ගැටුම දිහා බලන්නේ. ඒ වගේම යටි හිතින් අර නිල නොවන විපක්ෂයේ පැත්තත් ගන්නවා. 

තාරක නං මේ ගැටුම දිහා බලන්නෙ වෙන විදිහකට. ඔය ආගමික කණ්ඩායමේ හැසිරීම තාරකට පේන්නෙ පොඩි ඕවර් ඇක්ටින් පාරක් විදිහට. ඒ ගොල්ලන්ට එකපාර දිව්‍ය ඥාණය පහළ වෙලා. ජනාධිපතිවරනෙට කලින් නොතිබ්බ කුශාග්‍ර බුද්ධි මහිමයක් දැන් එකපාරට පහළ වෙලා. මාරයි නේ. 

ආණ්ඩුව කොහොමත් හත්පොළේ ගාගෙන නාගෙන ඉන්නේ. ඒක ඉතින් කාටත් පේනවනේ. අමුතුවෙන් හෝදන්න දෙයක් නා ඒකෙ. ඒක වෙනම කතාවක්. හැබැයි මේ ආගමික කණ්ඩායම මොකාටද එන්නෙ කියන ප්‍රශ්නය ගැන නම්, මේ රටේ දේශපාලන ක්‍රියාකාරිකයන් මීට වඩා ගැඹුරෙන් හිතන්න ඕන. 

ආගම සහ දේශපාලනය වෙන වෙනම පවතින තාක් කල් සමාජයේ ප්‍රශ්න අඩුයි. ආගමික ආයතන, තම තමන්ගේ යාතිකා, ගාථා, ස්ත්‍රෝත්‍ර කියාගෙන සාමයෙන් හිටියම ඇති. දේශපාලනඥයෝ ආගම පාවිච්චි කරන එක වගේම ආගමික කණ්ඩායම් දේශපාලනය පාවිච්චි කරන එකත් දියුණු සමාජයකට හොඳ මදි. 

මේ අධි රංගනය දිහා අපි නම් බලන්නේ විපරමින්. මර්දනයට පස සැකසීමේ කොන්ත්‍රාත්තුව සාන්තුවර වේශයෙන් එන්න පුළුවන්. දිග්ගැස්සුණු ආගමික ගැටුමක මූලෝපායයන් මේ වොයිස් කට් ක්‍රීඩා අස්සේ තියෙන්න පුළුවන්. ආණ්ඩුවට විරුද්ධ වූ පමණින් කබරගොයා තලගොයා බවට පත්නොවන බව අපි කියනව. 

දේශපාලනය තිබිය යුත්තේ දේශපාලන ක්‍රියාධරයන් අත. ආගමික ක්‍රියාධරයන් අත ආගම තිබ්බට අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ යෂ්ඨි දෙක දැන හෝ නොදැන මාරු වූ හැම මොහොතක්ම, උගුලක්. ගැටුමක්. ඛේදවාචකයක්. ලෝක ඉතිහාසය ඊට සාක්ෂි. ඒ නිසා ජනතාවනි, කල්පනාවෙන් !

– තාරක 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත් අඩංගුවට ගෙන...