උපාලි කොළඹගේ
කොළඹ LNW:රාජ්‍ය සේවය ප්‍රතිසංවිධානය විය යුත්තේ කෙසේද යන්න මේ වන විට අප හමුවේ ඇති බරපතල අභියෝගයකි. තවමත් ඊට හරි හමන් පිළිතුරක් නැත. දැනට සිදුවන්නේ වටේ යෑමකි. එනම් රාජ්‍ය සේවය පිළිබඳව තම තමන් වටහා ගන්නා ප්‍රමාණය අනුව විවිධ අර්ථකතන ඉදිරිපත් කිරීමය.
කෙසේ වුවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා කියා සිටියේ ඉදිරියේදී රාජ්‍ය සේවයට අලුතින් තිස් දහසක් බඳවා ගන්නා බවය. ඊට ලබන අය වැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කෙරෙන බවද එතුමා සඳහන් කළේය. එය එක අතකින් සතුටට කරුණකි . ඒ කාට හෝ පිරිසකට රැකියා ලැබෙන නිසා වෙනි. එහෙත් මේ ප්‍රකාශයත් සමග මගේ හිතට නම් ආවේ තවත් අලුතින් බඳවා ගැනීමෙන් රජයේ සේවය තවත් බර වැඩි වනවා නේද යන්නයි. නමුත් මොන මොන වෘත්තීන් සඳහා මෙලෙස අලුතින් බඳවා ගන්නවාද යන්න නොපැහැදිලි නිසා මෙහි හොඳ නරක පිළිබඳව එක්වරම නිගමනයකට පැමිණිය නොහැක. ඇති වන පුරප්පාඩු වලට රජයේ සේවය තුලින්ම අයැදුම්පත් කැඳවා එම ඇබෑර්තු පිරවීමට ඇත්නම් මේ අවස්ථාවේ එය සුදුසුම හාප්‍රශස්ත ක්‍රියා මාර්ගය වුවද සුදුසු පුද්ගලයන් රාජ්‍ය සේවය තුළින් සොයා ගැනීමට නොහැකි නම් මෙම පියවර නිවැරදි වන්නේ ය.
එසේ නොමැතිව දිගු කාලීනව වෘත්තීය අසහනයට ලක්ව සිටි තම කාඩර්වරුන්ට රැකියා ලබාදීම පිණිසම මෙවැන්නක් සිදු කරන්නේ නම් එය ගැටලු සහගතය. වර්තමාන රජයේ ප්‍රතිපත්තිවලට පටහැනි ය.
ඇත්ත වශයෙන්ම දේශපාලන කාරණා මත සුදුස්සන් කොන් කිරීම නිසා අති විශාල පිරිසකට අසාධාරණයන් සිදු වූ බව සත්‍යයකි . නමුත් එය නිවැරදි කළ හැක්කේ ඒ ආකාරයෙන්ම කටයුුතු කිරීමෙන් නොවන බව ආණ්ඩුව පැහැදිලිව වටහා ගත යුතුය.
කෙසේ වුවත් මෙහි දී පැන නගින අනිත් උභතෝකෝටිකය නම් රාජ්‍ය සේවය බර වැඩිය යන්නේ තේරුම කුමක්ද යන්නය. ගුරු සේවයේ අති විශාල ඇබෑර්තු ප්‍රමාණයක් ඇතැයි අධ්‍යාපන බලධාරීන් විසින් නිතර ප්‍රකාශ කරනු ලබයි. සෞඛ්‍ය අංශයේත් එලෙසයි. හෙද සේවයේ ඇබෑර්තු දහස් ගණනක් පවතී. පොලිසිය ඇතුළු අංශ රාශියක ඇබෑර්තු පවතින බව නිතර නිතර කියවේ.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සූම් තාක්ෂණය ඔස්සේ සතිපතා පවත්වනු ලබන සාකච්ඡා මාලාවේ එක් සාකච්ඡාවක දී මෑතදී හෙළිවූයේ රාජ්‍ය කළමනාකර දෙපාර්තමේන්තුව වසර කිහිපයකට පෙර රජයේ සේවයේ සිටිය යුතු පුද්ගලයන් සංඛ්‍යාව 17ලක්ෂයක් බව ප්‍රකාශ කළ බවය. මෙහි විශ්වාසනීයත්වය පිළිබඳව ඇතමුන් සැක පහළ කළ මුත් එය ප්‍රකාශ කළ කථික මහතා එය සත්‍යයක් බව දැඩිව කියා සිටියේය. දැනට රජයේ සේවයේ සිටිනුයේ පුද්ගලයන් 15ලක්ෂයකට කිට්ටු සංඛ්‍යාවකි.
අපේ රටේ දත්ත කොපමණ නිවැරදිද කියනවා නම් ද දැනට රාජ්‍ය සේවයේ සිටින පුද්ගලයන් සංඛ්‍යාව පිළිබඳවද ඇත්තේ අවිනිශ්චිත දත්තය. කෙසේවුව මෙම සියලු කාරණා සලකා බැලීමේදී පැහැදිලිවන කාරණයක් නම් සියල්ලමටම පෙර පැහැදිලි ප්‍රතිසංවිධානයක් සිදු කළ යුුතු බවය.