ඊයේ (30) දවස ඓතිහාසික දවසක් වන බවත් 2022 රට විනාශ කළ ගෝඨාභය රාජපක්ෂ ඉවත් කල මහා ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ ආරම්භකරුවන් ලෙස සමගි ජන බලවේගය රනිල් රාජපක්ෂ හවුල පලවා හැරීමට ද නැගී සිටි බවත්, මේ රට පාලනය කරන රනිල් රාජපක්ෂ ආණ්ඩුවට වැඩි ආයුෂ නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ රටේ ජනතාව නොමරා මරා මේ රටේ ජනතාවට එල්ල කළ හැකි අමානුෂීයම පීඩනය එල්ල කර මෙරට ලක්ෂ 220 ජනතාව හාමතේ තබන දුප්පත්කමට ඇද දමපු නීච නින්දිත ආණ්ඩුවට සමගි ජන බලවේගය බය නොමැති බවත් මෙය ආරම්භයක් පමණක් බවත් රාජපක්ෂ රූකඩ ජනාධිපති රනිල් වික්‍රමසිංහට කියන්න ඇත්තේ මේ අවස්ථාවේ මැතිවරණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය විසින් ‘වෙනසක් හදන වසරක් 2024’ යන මැයෙන් අද කොළඹ දී පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරය අතරතුර ජනතාව අමතමිනි.
සමගි ජන බලවේගය ඔලුගෙඩි සෙල්ලමෙන් නොව ජනතා ආශිර්වාදයෙන් බලයට එන බවත් රට විනාශ කළ රාජපක්ෂවරු සමඟ කිසිදා දේශපාලන ඩීල් නොමැති බවත් ජනතා පැතුමෙන් සහ කැමැත්තෙන් පමණක් බලයට එන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමගි ජන බලවේගය රටේ නීතිය කඩ නොකළත් වත්මන් රජය ජනතා නැගිසිටීමට බිය වී අධිකරණයට ගොස් තහනම් නියෝග ගෙන ජනතාවගේ මූලික සහ මානව අයිතිය අමු අමුවේ උල්ලංඝනය කළේ ඔවුන්ට ජනතාව අතරට ඒමට කොන්දක් නොමැති නිසා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී කීවේය.
එසේම ජල ප්‍රහාර, කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළත් මේ දුර්දාන්ත ආණ්ඩුවට සමගි ජන බලවේගය පහර දෙන්නේ කඩුවෙන් බෝම්බයෙන් මුනිස්සමෙන් කදුලු ගෑස්වලින් නොව ඡන්ද ප්‍රතිඵලවලින් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වත්මන් රජය රාජ්‍ය මිලේච්ඡත්වය රාජ්‍ය භීෂණය මර්දනය ඉදිරිපත් කර ජනතාව තලා පෙලා වළ පල්ලට ගෙන යන බැවින් මේ ආණ්ඩුව ජන බලයෙන් ජන සවියෙන් ජන ශක්තියෙන් මැතිවරණයකදී ගෙදර යැවීමට කටයුතු කළ යුතු බව යි.
තවද සමගි ජන බලවේගයේ රාජපක්ෂවරු සමග ගනුදෙනු කරන දෙබිඩි පිළිවෙත් නොමැති බවත් දවල් මිගෙල් රෑ ඩැනියෙල් චරිත රග නොපාන බවත් සමගි ජන බලවේග රජයක් තුළ රට බංකොලොත් කළ කණ්ඩායම් රටේ නීතිය හමුවට ගෙනවිත් රටේ අධිකරණ පද්ධතිය තුළින් මේ රටේ ලක්ෂ 220ට යුතුකම් ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේය.
