රෂිකා හෙන්නායක පෙබරවාරි 01, කොළඹ LNW :
ජ්‍යෙෂ්ඨ චිත්‍ර කතා ශිල්පියෙකු වන බන්දුල හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී ඇත.
1940 මැයි 24 වැනිදා උපත ලද ඒ මහතා අද(01) උදෑසන අභාවප්‍රාප්තවන විට 85වැනි වියෙහි පසු වුණි.
ශ්‍රී ලාංකේය චිත්‍ර කලා ඉතිහාසය තුළ ස්වකීය අනන්‍යතාවය සළකුණු කරමින් පුරෝගාමී මෙහෙවරක නියැලුණු බන්දුල හරිස්චන්ද්‍ර මහතා චිත්‍ර, මූර්ති ශිල්පියෙකි.
පුවත්පත්, සඟරා, පොත් පිටකවර, චිත්‍ර කතා, තොරන්, සිය තෙලිතුඩින් වර්ණවත් කළ බන්දුල හරිස්චන්ද්‍ර යන් සම කල නොහැකි චරිතයකි. ශ්‍රී ලාංකීය චිත්‍රකතා කලාව තුළ ප්‍රථම වර්ණ චිත්‍රකතාව “නල දමයන්තී “නමින් නිර්මාණය කිරිමේ ගෞරවයටද හිමිකම් කියන, බන්දුල හරිස්චන්ද්‍රයන් ඇඳීම හා පින්තාරුකරණයේදී සිය ප්‍රතිභාව සනිටුහන් කළ සිත්තරෙකි.
පානදුර ශ්‍රී ජිනධර්මදාන විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ බන්දුල හරිස්චන්ද්‍ර මහතා 1962 වසරේ දී ලේක්හවුස් ආයතනයට සම්බන්ධවී දිනමිණ පුවත්පතට පළමු චිත්‍ර කතාව නිර්මාණය කර තිබේ.
පසුව සිළුමිණ, නව යුගය සහ සතුට යන පුවත්පත්වලට ද චිත්‍රකතා නිර්මාණය කරන්නේ බන්දුල හරිස්චන්ද්‍ර මහතායි.
දේශීය චිත්‍ර කතා කලා සම්ප්‍රදායක් ගොඩනැගීම සඳහා පුරෝගාමීව කටයුතු කරන ඒ මහතා අතීත ලෙන් විහාරවල ජාතක කතා සිත්තම් කළ සම්ප්‍රදාය අනුගමනය කරමින් චිත්‍ර කතා කලාව තුළ ගෙනගිය ගමන් මග ප්‍රශංසනීයයි.
චිත්‍ර ශිල්පයෙහි පරිනත අවධියේ දී පන්සල් බිතුසිතුවම් කලාවට යොමුවන ඒ මහතා බොරැල්ල ශ්‍රී ලංකාරාමය, අම්බලන්ගොඩ කලුවඩු මුල්ල යන විහාරස්ථානවල සිතුවම්කරනයට දායකත්වය ලබාදුන් අයෙකි.
චිත්‍ර කතා කලායට වර්ණ යෙදීම හඳුන්වා දුන් බන්දුල හරිස්චන්ද්‍ර මහතා නිර්මාණය කළ චිත්‍ර කතා අතර කසපහර, නල දමයන්ති, පණ්ඩුකාභය, නයනා, පෙතිගෝමර, හත්වැනි දවස, දේවතාපය ප්‍රමුඛ වෙ.
අභාවප්‍රාප්ත බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (02) පස්වරුවේ දී බණ්ඩාරගම පොදු සුසානා භූමියේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.


