ස්වර්ණමය රංගනයකින් ඔබ්බට රාණි විඳීම

0
342

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 02,(LNW)කොළඹ :

පාසල් කාලයේ නැතිනම් ගැටවර වියේ වඩාත්ම සරාගි නිළිය හැටියට හිතේ ඇදී තිබුණේ ස්වර්ණා මල්ලවආරච්චිය.අදටත් ඒ ආසන්නයට හෝ එන හැඟීමක් ඇති කරන්නේ යුරේනි නොෂිකා ය.ස්වර්ණා රිදී තිරයේ කළ චරිත නමුත් සරාගී හැඟුම් උපදවන්නට සමත් නොවුණාය.සුද්දී වැනි චරිතයක වුව ඇය ගැන ඇති වෙන්නේ අනුකම්පාවක්ය.ලිංගිකව සූරා කෑමට ලක්වන පීඩිත ගැහැණිය ගැන කම්පාවක්ය.

එයින් අදහස් කරන්නේ ස්වර්ණා රඟ නොපා මාධ්‍යය තුළ දකින නිසල රූපවල දුටු සරාගී බවින් සපුරා වෙනස් හැඟීමක් සසල රූ මත සිනමාවේ ඇති කිරීම විශ්මය ජනක බවය.ඇය සරාගී දර්ශනවල සිනමාවේ පෙනී සිටිය බවක් මතක නැත.ඇය සිනමාවේ කළ චරිතවලදී ඇයව ලිංගිකව ආකර්ශණිය බවක් දකින්නට ඇත්තේ කැඩපතක ඡායා හී පමණි.එහෙත් එය ද මහා ආකර්ශණයක් නොවේය.අන් සියළු චිත්‍රපටවල ඇති ආකර්ශණයක් නැත.ඉහ වහා ගිය පීඩනයක් සහිත වූවන්ගේ ගොදුරක් හෝ එසේ ගොදුරක් නොවී සිටීමට නොහැකි වීම නිසා සිඳුවන ලිංගික එකතුවීමක් හෝ බැදීමක් පෙන්නුම් කරන්නේය.

ස්වර්ණා ඇත්තටම දැනටත් පිරිමි ආකර්ශණය ඇති කළ හැකි අන්දමේ වන පෙණුම රංගනයේදී මරා ගන්නේ ඒ චරිතයෙන් ස්වර්ණා යටපත් වන්නට දිමෙන්ය.ස්වර්ණා රාණි විම තුළ ද ඇත්තේ ස්වර්ණා යටපත් වීමක්ය.එහෙත් අශෝක හඳගමව යටපත් කර ස්වර්ණාගේ ආත්මය රැදි රාණි දකින්නට ලැබීම යමෙකුට අශෝක හදඟමගේ පෞරුෂය ස්වර්ණා විසින් මරා දැමීමක් හෝ ලයිකා විසින් මරා දැමීමක් ලෙස අරුත් ගන්වන්නට නොහැකිය.එයින් හඳගම ගැන හාංකවිසියක් නොදැනී රාණිගේ පෞරුෂය විද්‍යාමාන වන්නේනම් එහි ඇත්තේ හඳගමගේ මෙහෙයවීමේ ශක්තියය.

රිචඩ්ගේ මරණය ගැන අසා ඇති කතා බොහෝය.රිචඩ් ගැන අසා ඇති කතාත් බොහෝය.මේ සියල්ලෙන් රිචඩ් දකින්නට යන අයට ඔහු නොපෙනෙයි.හැබැයි රිචඩ්ලාගේ මනෝරාණිලාගේ අහපු කතාත් නැත්තේම නැත.ඒවා ඇත්තමද නැති ද යන්න සිනමාකරුවා කිව යුතුමයි කියා මට සිතෙන්නේ ද නැත.එය කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීතුමිය බොරු කියන්නට වුව අයිතියක් තියෙන බව කී කතාවට වඩා වෙනස්ය.නිර්මාණයක් යනු ඇත්තම නොවන ඇත්ත මත සිට කරන මායාපෑමක් හෝ නැතිනම් සමුපූර්ණයෙන් කරන මවාපෑමක් වන්නට ඉඩ ඇත.

එහෙත් මේ කිසිවක්ට අදාළ නොවන ව්‍යහුයාත්මක ලක්ෂන සහිත නිර්මාණයක් ද තිබිය හැකි බව මම සිතමි.හදගම ගේ සිනමා සිත්තම ගැන ඔහු අදින රූප අතරේ අපේ සිතුවිලිවලට වෙනම කතාවක් ලියා ගන්නට ඉඩ සකසයි.ඒ සිතුවිලිවලටම නොපෙනෙන රූප රාමු මවා ගන්නට අවශ්‍යය සාධක ඉදිරිපත් කරයි.මට හිතෙන්නේ හදගමගේ රාණි තුළ ඇති සිනමාත්මයේ ආඛ්‍යානයේ හැඩය තීරණය කිරීම අපේ දෘෂ්ටිවාදයට සහ අත්දැකීම් සහ ප්‍රතිපත්තිවලට සාපේක්ෂ එකක් බවය.එයට හඳගම අත නොතබා අපට පවරා ඒ වෙනුවෙන් රූප රාමු ටිකක් සහ දෙබස් කාණ්ඩ සපයයි.


මහා විශාල සිනමා සංඛේත ඇසුරෙන් කියන්න හදන ගැඹුරු දේශපාලනයක් ගැන හදගම මෙහිදී විශ්වාසය තබා නැත.ඉතාම සරලව ඔහු දත් මනෝරාණීගේ ජීවිතය ඇසුරේ උකහා ගත් කොටස්වලට දෙබස් කවා චලන රූප සකසා තබා, අපිට සිනමා පටයක් සකසා ගන්න දී ඔහු නිහඬව බලා සිටියි.එවිට එය සිනමාත්මක නිර්මාණයක් නොවන්නේ ද යන්න අප සිතා බැලිය යුතුය.එවැනි ආකෘතියක් ඔස්සේ සිනමා නිර්මාණය කියවා ගැනීමට පෙළැඹීම වැදගත් නොවන්නේ ද යන්න අප සිතා බැලිය යුතුය.

මනෝරාණී ඇයගේ නළළත තබන තිලකයට විශාල තැනක් දෙන්නේය.ඇය වෛද්‍යවරියක්ය.එහෙත් තිලකය සහ විද්‍යාව අතර ඇතිවිය හැකි අතාර්කික සම්බන්ධය වෙනුවට ඇයට තිලකය ද්‍රවිඩ සංස්කෘතියෙන් පැමිණි අනන්‍යතා සංස්කෘතියක් පමණක්ය.ඇයගේ දැණුම යනු ඇයගේ ජීවන රටාවය.නිදහස් ජීවිත රටාවේ ඇය තරුණ වියට එළැඹි පුත්‍රයාට තනිව තීරණ ගැනීමේ අයිතිය නිසි වයස පැමිණි පසු අඟුළු ලා දමන්නේ නැත.
ඉතාම සාමකාමී වින්දනාත්මක වටපිටාවක ගැවසෙන ඒ සමාජ කුලකය තමන්ගේ වගකීම වෙනුවෙන් වෙහෙස වන්නේය.ප්‍රතිචාර ලෙස කිසිවක් අපේක්ෂා නොකරන්නේය.දැණුම සහ මුදල මත ඉහළ වුව ද,ඔවුන් ගෙදර සිටින වෘත්තිකයා ද සමාන තත්ත්වයක තබා සළකන අවස්ථාද බහුලය.ඔහු වෘත්තිය නිසාම සැම විටම නොසළකා හැරිය යුතු නොවේය යන්න රිචඩ් සහ මනෝරාණී දෙදෙනාම විශ්වාස කරන්නේය.අම්මාගේ ඒ ආභාෂය දේශපාලනිකව ඊට වඩා පුළුල් සීමාවක සිතන්නට පුතුට පාර පෙන්නූ බව සිනමා පටයේ වචනවලින් රූපවලින් සංඛේතවත් නොකළද දැනෙන දෙයක්ය.ඊට මවට දෙන ගෞරවය රිචඩ් රැඟෙන යන මොහොතේ ඇයව සිප සනසන අවස්ථාවය.

එසේම එම පවුල වටා ඇති බැදීම් මානවීයය.එසේම නෛතිකය.විද්‍යාත්මකය.මනෝරාණී වෛද්‍යවරිය සිය පුතාගේ සමකාමී බවට එරෙහි නොවුණ ද, ඔහුගේ මිත්‍රයාව රේප් කිරීමටනම් විරුද්ධය.එය පිළිකුල් කරන්නේය.රේප් යනු කැමත්තෙන් එකඟ වී එකතු වීමක් නොවන ප්‍රතික්ෂේපිත තත්ත්වයක් වන අතර රිචඩ් ද සිටින්නේ එම බලහත්කාරයට අවනතව නොවේය.එකට තිබිය යුතු මානවී අයිතීන්,විද්‍යාත්මක දැණුම සහ නෛතික බලය භාවිතයට ගන්නා පිරිස් රිචඩ් ව ආමන්ත්‍රණය කරන්නේ ඔහුගේ සමරිසි බව ගැන පිළිකුළෙන්ය.අකමැත්තෙන්ය.එය හෑල්ලුවට ලක් කර දඩයම් කිරීමේ සහ අසීරුතාවයට පත් කිරීමේ උවමනාවෙන්ය.එයට එකම දෙබසක් පමණක් පොන්නයා යනුවෙන් යොදා ඇත.

විප්ලවවාදී තරුණයාගේ අභ්‍යන්තරය අමද්‍යප භූමිකාවක් ලෙස හඳුනාගෙන සිටි සමාජය මත රිචඩටත් වඩා ගයාන්ගේ මත්පැන් බීම මත ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති කරන්නේය.සමහර විට තමන්ගේ සමාජ ව්‍යාපාරය තුළ එම ශික්ෂණය රැකීමට බලෙන් හිරකර තබා ගන්නා තරුණයාගේ සැබෑ උවමනාව එසේ නොවන බව කියා පාන සළකුණක් ලෙස එය වටහා ගැනීම දේශපාලන ව්‍යාපාරයට හානියක් නොවේය.ඒ ඇත්ත තරුණකමය.මේ තරුණකම විඳවන සමාජ ප්‍රශ්න මත දේශපාලනය කිරිම විනා ඇත්ත තරුණයාගේ අභිලාෂයන් සහ රුචිකත්වයන් වර්ථමාන දේශපාලනයේ දී මෙන්ම ව්‍යවහාරික සමාජයේදී ද හොඳ නරක හැටියට ලේබල් කර තැබීමේ ගැටළුව ගැන මේ හරහා සිතන්නට මාවතක් විවර වන්නේය.

ජඩ සංස්කෘතියක් හරහා මර්ධනයට පිළිතුරු දෙන්නට මිනිස්සු පොළඹවන්නට හැකියාව ඇත.ඒ රොඳ බැඳ දෙන අසීමිත නිදහස දෝරේ ගලන විට ඒ විවර කළ නිදහසට එහා ගිය විකෘතියක් ඇති වී මහා විනාශකාරී තත්ත්වයකට පත් වන්නට ඉඩ ඇත.නිල ඇඳුම් අන්දවා මිනිස්සුන්ට දඩ බල්ලන්ගේ හැඟීම් එන්නත් කර රිසි පරිදි හැසිරෙන්නට දීමේ අවස්ථාව නිසා ඇතිවන තත්ත්වය බල්ලා තමන්ගේ කඳවුරටම පැමිණ තමන්ගේ හිතවතුන් හපා කා යන තත්ත්වයක් නිර්මාණය කිරිම විය හැකිය.එය ආරක්ෂක අංශවලට පමණක් නොව තමන්ගේ දේශපාලන කඳවුරට නෛතික නොවන හැඩයකින් හැසිරෙන්නට ඉඩ හැරීමෙන් සිඳුවන මහා විනාශය ගැන ඉඟියක්ය.

අප අසා ඇති පරිදි කතාව එය නොවුණ ද,අප ඇත්ත කතාව දන්නේද නැත.හරියටම විසදීමක් ලැබී ද නැත.එවන් තත්ත්වයක හඳගම ගොඩ නඟන අයාලේ යන්නට දී ලිහා දමන ලද දඩ බල්ලන්ගේ චූන් එක හපා කෑම මිස හපා කන්නේ කවුද යන්න තේරීම නොවන බව පිළිගත හැකි සත්‍යයක්ය.ඉන් මෙපිටට නාවික හමුදාව ත්‍රස්තවාදී පණත යටතේ අත්අඩංගුවට ගෙන කප්පම් ලබා ගැනීමට උත්සාහ කර,මේ වන විට අතුරුදහන් කර ඇති ජීවිත 11 සම්බන්ධයෙන්ම ඇති වැදගත් සාක්ෂිය ඔවුන් ත්‍රස්තවාදීන් යැයි කියන්නට කරුණු නොතිබීමය.මේ දරුණු අපරාධකාරී සංස්කෘතියකට නිල බලය සහ නිදහස ලැබුණු පසු ඇති විය හැකි තත්ත්වයන්ය.

එකිනෙකාගේ බුද්ධි මට්ටම සහ සමාජ තත්ත්වය අනුව මෙන්ම භාවිතාවන් අනුව ද එකම දේ වෙනස් විදිහට භාවිතා කළ හැකිය.මාඝාත රිචඩ්ටත් වඩා මානව හිතවාදී මනෝරාණිට දැනෙන ප්‍රමාණය මෙන්ම,රිචඩ්ගේ ඝාතකයන් ගායනා කරන ගීත ද ඊට උදාහරණය.මනෝරාණි ඉතා මානවීය ගුණ ඇති ආදරණීය චරිතයක් වුව ද,ඇය එක තැනෙක තමාගේ ලේ වලට ඇති බැදීම නිසා ගයාන්ව අත් අඩංගුවට පත්වන තැන නිහඬව සඟවයි.පළමු මොහොතේ විරද්ධ විය යුතු දෙයට එරෙහිව නොනැගිටින විට එම ව්‍යසනයට තමන් සොයා ඒම සරදමක්ය.ඇය තම අසල්වැසියන් සමඟ තරහෙන් කතා කරන්නේ තමන් තුළ තමන් ගැනම ඇති කෝපය සමඟ විය යුතුය.ගයාන් බේරා ගන්නට මැදිහත් විය යුතුව තිබුණු බව ඇයට කියවෙන්නේ එතැනින්ය.

තවත් ආකාරයකට තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් සෘජුව හෝ වක්‍රව පෙනී සිටින රිචඩ්,මේ තරුණ අරගලය සම්බන්ධයෙන් ලෝකයට කරුණු කිමට මැදිහත්වන පුද්ගලයාය.සෘජු සබඳතාවයක් නොවුණ ද,ඔහු ඊට හදවතින්ම ආලය කළ සමකාමී,ආර්ථික වශයෙන් පීඩනයක් නැති,ඉහළ සමාජයේ සැහැල්ලු ජීවිතයක් උරුම කර ගත් තරුණයෙක්ය.ඔහුගේ රූපකායටත් පෞරුෂයටත් ආදරය කරන ඔහුව නො‘හඳුණන තරුණ කාන්තාවගේ මේ ආදරය ඉවසීමෙන් ඉවසා සිටින්නට තරම් නිදහස් ස්වාමි පුරුෂයා නියෝජනය කළේ රිචඩ් කැමති දේශපාලනය නොවේය.ඒත් රිචඩ් කැමති දේශපාලනය විසින් ඒ නිදහස් මිනිසාගේ දේශපාලනය කිරීමේ අයිතිය ඝාතනය කිරීමෙන් නවතා දැමීම මිනිස් අනන්‍යතාවයන් සම්බන්ධ අපේ තීරණ ප්‍රශ්න කිරීමක්ය.

දේශාපාලනයේ දි සමාජය ගැන අවංකව කම්පාවට පත්වන මිනිසුන් ඉතාම සැහැසි ලෙස,එහෙත් උපක්‍රමිකව මුදු ලෙස භාවිතයට ගැනෙන්නේය.මනෝරාණි පෙරමුණේ තබා සැකසෙන මව් පෙරමුණ එවැනි උඟුලකට ඇයව හිර කිරීමක්ය.රිච්ඩ්ට හෝ දරුවන් අහිමි වූ මව්වරුන්ට හෝ එයින් වූ සාධාරණයක් නැත.දේශපාලන කණ්ඩායමකට තිබෙන දේශපාලනයම වෙනම පාටකින් ක්‍රියාවට නංවන්නට එම මව්වරු හරහා පාවඩ එලී ඇත.

එ් සදහා මනෝරිණි පොළඹවා ගැනීමේදි මහින්දව නිර්මාණය කරන බිමල් ජයකොඩි මහින්ද ගේ භාහිර ස්වරූපය අල්ලන්නට යාමේදී ඒ ගැන වැඩි අවධානයක් යොමු කර චරිතයෙන් විටින් විට දුරස්වන බවක් දැනෙන්නේය.දේශපාලනික උවමනාවට බුද්ධිය නිවැරදිව සහ උපක්‍රමිකව භාවිතයට ගැනීම සිඳුවන්නේ සංගල සමරවීර අතින්ය.එයට අශාන් ඩයස් විශාල සාධාරණයක් කරන්නේය.

ලලිත් ඇතුලත්මුදලි ලෙස සනත් ගුණතිලක දක්වන රංගනයට වඩා මනෝරාණි සහ ඔහු අතර ඇතුළතින් වැඩුණු ප්‍රේමයක් තිබෙන වට ඉඟි ලැබෙයි.ඇතැමෙකුට මනෝරාණි රිචඩ්ගේ වියෝවටත් වඩා ලලිත්ගේ වියෝවේදී සසැලෙන බව අභව්‍යය බව කියන්නට වෙර දරනු පෙනේ.මනෝරාණිගේ කම්පාව එළියට එන්නේ තමන් වෙනුවෙන් කිසිවක්ම නැති තැනකට ඇය වැටුණු පසුය.රිචඩ් අහිමි වීම සමඟ ඇයගේ වේදනාව බෙදා ගැනීමට සහ ඇය එම මතකයෙන් ඈත් කරන්නට ලලිත් සිටින බව අපි දකින්නෙමු.එසේම මහින්ද සහ මංගල ඇයව එම සිටින තත්ත්වය ප්‍රයෝජනයට ගෙන දේශපාලනික වශයෙන් වාසි ගත්ත ද ලලිත් සිතුවේ ඇයගේ රැකවරණය ගැනය.මේ නිසා තමන් වෙනුවෙන් යමක් දරා ගන්නට සිටි මිනිසා සහ තමන්ට සිය පුතාගේ වියෝවෙන් හිමි වූ තනිකම දරා ගන්නට උදව් වූ මිනිසාගේ වියෝවේ කම්පනය ඇතුළේ ඔහු පමණක් නොව තමන්ව සහ තම පුතුගේ වියෝවේ බරපතල ඉරි තැලීම් දරාගන්නට ශක්තිය වූ මිනිසා ද අහිමි වූ පසු දැනෙන වේදනාව ලලිත් කියන තනි පුද්ගලයා නැති වීමෙන් ඇතිවන මානසික තත්ත්වයක් ලෙස ගත හැකිද?

රෙහාන් අමරතුංග සහ සජිත අනුත්තර එම චරිත ඇතුළේ රඟ නොපාන්නට කල්පනා කිරීම අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීමක් වන්නට ඇත.ඒ නිසාම අපට සජිතවත් රෙහාන්වත් නොදැනෙන්නේය.සමහර විට රඟ නොපෑමම එම ලක්ෂණවලට හේතු වන්නට ඇත.එහෙත් ස්වර්ණමය රංගනයක යෙදෙන ස්වර්ණා හැරුණු විට එහි ප්‍රබලම භූමිකාව කරන්නේ මයුර කාංචනය.ඔහු මනා සංයමයකින් කරු ව හැඬ ගන්වා ඇත.තරු පෙණුමක් නැති බර නළුවෙක් වෙන මයුර කාංචන කරුගේ චරිතය තුළින් සිනමා අධ්‍යක්ෂවරුන්ට අපූරු නළුවෙකු සිටින බවට දෙන ඉඟිය ඉදිරියේදී වඩාත් වැදගත් විය හැකිය.

ස්වර්ණා යනු ස්වර්ණමය රංගන ශිල්පිණියක ලෙස රාණි සමඟ බද්ධ වී ඇත.ඇය භාහිර ස්වරූපය ඉක්මවා එහි ඇතුළත ජිවත්වීම තදින් දනවන්නේය.හදගම ගේ සිනමා නිර්මාණයේ රූප සහ දෙබස් එම සීමාව ඉක්මවා ගොස් අපේ මතකය ඇතුළෙත සහ විඳින දේශපාලනික සංදර්භයන් ඇතුළත චලනය වෙමින් සකස් කරන යටි පෙළට මම ආදරය කරන බව කියමි.මේ දක්වා මෙවැනි චරිත කතා නැවත හැඩ කර වේදිකාවල තැබීමට ඉඩ හසර සකස් කර දීම කළත්,හදගම ප්‍රේක්ෂකයාට අනුකම්පාව සහ වෛරය ඇති කිරීමේ සිමාවන් අතික්‍රමණය කරමින් ස්වීය ජීවිතය දැකීමට කැඩපතක් සකස් කර ඇත.එයද ස්වර්ණමය වටිනාකමක් ඇති කරන්නකි.