“එතකොට මැඩම් අපි මේ රටට අයිති නැද්ද?”
මුහුදු වෙරළ අද්දර සල්ලාපයක් අවසානයේදී මනෝරාණිගෙන් එසේ විමසන්නේ අහම්බෙන් ඇයට හමුවී හෘදයාංගම ඇසුරකට වන් තරුණියයි.
අපි මේ රටට අයිති නැද්ද කියන ප්‍රශ්නයේ හැඩය මනෝරාණිගෙන් මෙන්ම උක්ත තරුණියගෙන් නියෝජනය කෙරෙන අතර මේ ප්‍රශ්නයෙන් මතු කෙරෙන පුද්ගල හුදකලාව හරියටම දැනෙන්නේ රටට අපි අයිති වීමට වඩා, රට අපිට අයත් කර ගැනීම පිළිබඳ කාරණය භෞතිකව ජයග්‍රහණය කර ඇති පසුබිමක් තුළය. රට අයත් කර ගැනීම සාමාන්‍ය පුරවැසියාට කළ නොහැක්කකි. ඒ ශක්‍යතාව තිබුණේ ධූරාවලියක් ලෙස පෙනෙන පාලක කල්ලියකටය.
මෙහිදී පුද්ගලත්ව සාධකය අතිශයින් වැදගත් යැයි හැඟෙන්නේ රට අයත් කර ගැනීම රෙජීමයක් විසින් නොව රෙජීමයක වේශය ගත් පුද්ගලයා විසින් සිදුකර තිබීම තුළය.
රණසිංහ ප්‍රේමදාස රෙජීමයක වේශයෙන් රට අත්පත් කරගත් පුද්ගලයෙකි. ඔහුගේ සිව් වසරක පාලනය තුළ හැසිරවීමේ බලය තිබුණේ රෙජීමයට නොව පාලකයාටය. මහින්ද රාජපක්ෂගේ යුගය තුළත් එය එසේමය. ඔහුද රෙජීමයක වේශයක් ගත් පුද්ගලත්වය මගින් රට තමන්ට ඕනෑ පරිදි හැසිරවූයේය. ඒ රෙජීමයට නෑකමක් නැති වින්දිතයාට ඇති ප්‍රධානම ප්‍රශ්නය වන්නේ අපි මේ රටට අයිති නැද්ද යන්න මිස අනෙකක් නොවේ.
ඇය නතර වන තැන
සිනමාවේදී අශෝක හඳගම විසින් නිර්මාණය කළ “රාණි” චිත්‍රපටය ප්‍රබලව මතු කරන ප්‍රශ්නයක් වන්නේ භේද ඉක්මවූ පඨිශෝතගාමියා නතර වන තැන පිළිබඳවය. ඇත්තටම ඔහුට නතර වන්නට තැනක් නැත. ඒ නිසා ඉන්නට සිදුවන්නේ ගමනේමය. ඊට අනුකූලව මනෝරාණි දීර්ඝ ගමනකට පිළිපන්ව සිටින අතර ඇගේ පුත්‍රයා වන ඝාතනයට ලක් වූ රිචඩ් අපිට දර්ශනය නොවන ඒත් ප්‍රතිසන්ධිමය ගමනකට පිළිපන්ව ඇතැයි සිතිය හැකිය.
හඳගමගේ රාණි චිත්‍රපටය ඇරඹෙන්නේ දරු උපතකිණි. දරුවාගේ මව චිත්‍රපටයේ අවසාන දර්ශනයට පෙර දර්ශනයේ ‘අපි මේ රටට අයිති නැද්ද’ යනුවෙන් මනෝරාණිගෙන් විමසන තරුණියයි.
දරු උපත සිදු කරන වෛද්‍යවරිය මනෝරාණිය. රිචඩ් නිවසේ සිටියදී පැහැර ගැනීමට ලක්වන්නේ මනෝරාණි ඒ දරු උපත සිදුකළ රාත්‍රියේය.
මෙම චිත්‍රපටය තුළ රටට අප අයත් යැයි සිතීම පිළිබඳ සංරචක දෙකක් මතු කරයි. එකක් වන්නේ රටට අප අයත් යයි සිතා ඒ අරභයා ක්‍රියා කරන්නට යාමය. දෙවැන්න අපි මේ රටට අයිති නැද්ද යනුවෙන් සිතුවිල්ලක් ජනිත කර ගැනීමය.
රිචඩ් මෙන්ම ඔහුගේ මිතුරු ගයාන් ක්‍රියා කරන්නේ පළමු සිතුවිල්ලට අනුකූලවය. මනෝරාණිගේ මිතුරු තරුණිය පසු වන්නේ රටට අපි අයිති නැද්ද යන සංවේගජනක තර්කණයේය.
මනෝරාණි මේ දෙකෙහිම නියෝජනය ඉතා ප්‍රබලව සිය සාත්වික අභිනයෙන් ප්‍රතීයමාන කරන්නීය.එහෙත් පාලක කල්ලි සූක්ෂ්ම වී රට අයත් කර ගැනීම කියන කාරණය මනෝරාණි තුළ හරියටම අවක්ෂේප වන මොහොතේ ඇය සිය මිතුරු තරුණියගේ අදහස වන අපි මේ රටට අයිති නැද්ද කියන ප්‍රශ්නයට අභිමුඛ වන්නීය.
මව්බිම සුරැකීම
ප්‍රේමදාස පාලන සමය තුළ ක්‍රියාත්මක වූයේ තනිකරම රාජ්‍ය ත්‍රස්තවාදයක් බව කීමට චිත්‍රපට අධ්‍යක්ෂ හඳගමට ඕනෑ වී තිබේ. අවිගත් දේශපාලන ව්‍යාපාරය විසින්ද තම ආරක්ෂාව පිණිස හෝ ක්‍රියාත්මක කළේ ත්‍රස්තවාදයයි. කවුරුත් තම තමන්ගේ ක්‍රියා සාධාරණීකරණය කර ගැනීමට පාවිච්චි කරන පොදු යෙදුම වූයේ මව්බිම සුරැකීමය.
මනෝරාණි නිහඬව නොසිටියොත් මරණය අත්වන බවට ලිඛිත තර්ජනය එවන්නේ ශ්‍රී ලංකා පොලිසියෙනි. ඒත් මව්බිම සුරැකීමටය. මනෝරාණිගේ මිතුරු තරුණියගේ සැමියා මරා දමන්නේත් මව්බිම සුරකින පිරිසකි. ඝාතකයන් ගායනා කරන්නේත් ඝාතනයට ලක්වූවන් වෙනුවෙන් ගායනා කළ බවට අප දැන සිටියේත් එකම ගීත විශේෂයකි. ඒවා විමුක්ති ප්‍රවර්ගයේය.
මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිස මව්වරුන්ගේ පෙරමුණ හදන්නේත් මව්බිම සුරැකීමටය. ඒ මීළඟට බලයට පත්වීමට අපේක්ෂා කරන විපක්ෂයේ පාර්ශවයෙනි. අවසානයේ මේ කිසිවෙක් සුරැකි මව්බිමක් නැත. එක් අතකින් මේ උත්ප්‍රාසයට මැදිවී විපිලිසර වූ කෙනෙකු අපි මේ රටට අයිති නැද්ද යනුවෙන් අසන ප්‍රශ්නය අතිශයින්ම තාර්කිකය.
රෙජීමයක් නැත
රෙජීමයක් නොව පුද්ගලයා විසින් ක්‍රියාමාර්ග මෙහෙයවීම පිළිබඳ හොඳම නිදසුනක් රානි චිත්‍රපටයේ ලලිත් ඇතුළත්මුදලි සපයයි. ප්‍රවීණ රංගවේදී සනත් ගුණතිලක මෙම චරිතයට උපරිම සාධාරණයක් කර තිබෙන බවද කිව යුතුය. ලලිත් ගේ සදොස් කල්පනාවට අනුව තමන් ආරක්ෂක රාජ්‍ය ඇමැති බැවින් තම විෂය ප්‍රදේශයට අදාල දෙයක් තමන්ගෙන් බාහිරව සිදුවිය නොහැකිය. එහෙත් එය එසේ නොවන බව නොබෝ දිනකින් ලලිත් තේරුම් ගන්නා අතර රෙජීමයක් නැත, පාලනයේ ක්‍රියාමාර්ග මෙහෙයවන්නේ එක් පුද්ගලයකු විසින්ය යන්නද චිත්‍රපටය තුල සාධනය කෙරෙයි.
මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ ලසන්ත වික්‍රමතුංග ඇතුළු තවත් අය ඝාතනය වීම දක්වාම රෙජීමයක් නැත, තීරණ ගත්තේ එකම පුද්ගලයෙකි යන්න ඔප්පු කෙරිණි. ප්‍රේමදාස සාධකයෙන් ඉක්බිතිව චන්ද්‍රිකාගේ පාලන සමයේද අනෝජා වීරසිංහ, රූකාන්ත චන්ද්‍රලේඛා වැනි අයට තිරස්චීන ආකාරයේ අඩම්තේට්ටම් සිදුවූයේ පුද්ගල කේන්ද්‍රීය පාලනයක දිගුවක් ලෙසිනි. ඊට සහාය දැක්වූ දුෂ්ඨ වළල්ලක් චන්ද්‍රිකාට සිටියේය.
පාවිච්චි වීම
මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිස මව්වරුන්ගේ පෙරමුණ ගොඩනගා රට වටා යද්දී මනෝරාණිගේ සහභාගිත්වය දැක ලලිත් කියන්නේ ”ඔයා යූස් වෙනවා මනෝ” යනුවෙනි. එය සම්පූර්ණ සැබෑවකි. රට අයත් කරගත් පිරිසක් ඉදිරියේ රටට අයිති නැති පිරිසකට සිදුවන්නේ යූස් වීමටය. ලලිත් නියෝජනය කළ පාලනය සමයේ මනෝරාණිට සිදුවන්නේ වින්දිත භාවයට පත්වීමටය. අනතුරුව එළඹෙන්නේ වින්දිතයන් යූස් වෙන හෝරාවය.
ප්‍රේමදාස ආමර්වීදියේ ජීවිතක්ෂයට පත් වූ අවස්ථාවේ රටම එක්තරා උමතු සතුටකට පත් වූ අයුරින්ම මනෝරාණි උමතු තෘප්තියකට පත්වන්නී, එය කිරි වීදුරුව මහඬින් පොළවේ ගසා පාලනය කරගත්තාය. ප්‍රේමදාස ඒ අයුරින් මිය නොගියා නම් චන්ද්‍රිකා කෙනෙකුට කිට්ටු වීමටවත් නොහැකි ඒකාධිපති ගමනක් යාමට ඉඩ තිබුණි. ඊට ජන අනුමැතියක්ද තිබුණු බව මනෝරාණිගේ නිවසේ සහායකයා වන කරූගෙන් ඔප්පු කෙරෙයි. කරූ කියන්නේ ප්‍රේමදාස රට හදන්නට සිටි මිනිසකු බවය.
ඇත්තටම ඉහ වහා ගිය දූෂණය සහ නාස්තිය නොතිබුණා නම් එවැනි නායකයෙකුට රට සංවර්ධනය කිරීමටත් හැකියාව තිබුණි. ඒ අනුව රාජපක්ෂ දක්වාම නායකයන්ට ඔවුන් විසින්ම අනුබල දුන් දූෂණය ඔවුන් අපේක්ෂා කළ සාපේක්ෂ සංවර්ධනයෙහි දරුණු සතුරෙකු වූයේය.
මනෝරාණි සම්ප්‍රදායවාදී ද?
වෛද්‍ය මනෝරාණි සිය මානසික ආතතිය උග්‍ර වූ අවස්ථාවල එය තුනී කර ගැනීමට සිගරට්ටුවක් බොන අතර ඇය සතු මානසික සැහැල්ලුව පිළිබිඹු කරන්නේ විස්කි විතකිනි. ඇගේ සිගරට්ටුව ඇයට සුව දෙන්නක් නොවී තවදුරටත් තැවුල් සිත පාරන්නක් ලෙසින් ක්‍රියා කරනු දැක්ක හැකිය. හඳගම එසේ කර තිබෙන්නේ කේන්තියෙන් සිගරැට් බොන්නට හැකි නමුත් කේන්තියෙන් අරක්කු බොන්නට බැරි නිසා යයි අප තුළ පොදු මතයක් තිබෙන නිසාද? අරක්කු බොන්නට පුළුවන් දුකකිනි. ඕනෑ නම් දුක වාවා ගත නොහැකිව සෙමින් ඉකි ගසමිනි. ඒ සාමාන්‍ය තත්ත්වයෙන් හඳගම මනෝරාණි මුදවන්නේ ඇගේ චරිතයට දිය යුතු වෙනත් දෘඪ අර්ථකථනයක් සඳහා විය හැකිය.
මනෝරාණි නමැති වෛද්‍යවරිය සැහැල්ලු දිවි පෙවෙතකට රිසි, නිදහස අගයන්නියකි. එහෙත් රිචඩ් ගේ සහ ගයාන්ගේ අලිංගනයක් දුටු සැණින් ඇය තමන් ඇතුලටම කිඳා බසින ක්ෂණික අප්‍රසාදයක් පල කරන්නීය. අනෙකාට බර නොතබා තමන් තුළම ඒ මානසික වේෂ්ඨාව දියකර හරින්නීය. රිචඩ් පැහැර ගැනීමේ සිද්ධියේදී සහ ප්‍රේමදාස මළ අවස්ථාවේදී හැර සෑම තැනකදීම ඇය තමන් තුළම හැඟීම දිය කර දමයි. එය ප්‍රේක්ෂාවට හොඳින් සන්නිවේදනය වන අතර ස්ත්‍රිය සතු සාමාන්‍ය උමතු සතුටට ඇය පත් වන්නී ප්‍රේමදාසගේ සහ රිචඩ් ඝාතක නිලධාරියාගේ මරණයේදී පමණි.
මනෝරාණිගේ විශ්වය තුළ පිරිමි- පිරිමි ආදර සම්බන්ධය මුළුමනින් ප්‍රතික්ෂේප නොකරන නමුත් නාට්‍ය දර්ශනය අවසන්ව එන අවස්ථාවේ ගයාන් පැහැර ගැනීමට ලක්වීම ඇය නොදුටු ආකාරයෙන් හැසිරීම රිචඩ්ට සහ ගයාන්ට සම්බන්ධ කර ගලපන්නට ඇතැම් කෙනෙක් පෙළඹෙන්නට පුළුවන. එහෙත් රිචඩ් මහත් අභිරුචියෙන් නරඹන මාඝාත මොන නාට්‍යයක්දැයි විමසන මනෝරාණිගේ වින්දන අවකාශය විදග්ධ එකක් මිස පුංචි එකක් වන්නට විදිහක් නැත.
ගයාන් පැහැරගැනීම දකින මනෝරානි ඉන් සන්ත්‍රාසයට පත්වන බව නම් පැහැදිලිය. අපට පිළිගැනීමට සිදුවන්නේ ඇය එකී සන්ත්‍රාසය නිසා නිහඬවන බවද? නැතහොත් රිචඩ් ආරක්ෂිතය යන මනෝභාවය නිසා නිහඬ වීමද? එසේත් නැතහොත් රිචඩ් පිරිමි – පිරිමි ආදර සම්බන්ධයෙන් ගැලවුණා යන හැඟීම ඇය තුළ ක්ෂණිකව පැන නැගි සන්ත්‍රාසය අපේක්ෂාවක් බවට පත්වීමද? සමහරවිට ඇගේ ප්‍රතිචාරය ඒ සියල්ල අඩු වැඩි වශයෙන් මිශ්‍රිත එකක් විය හැකිය.
මනෝරාණිගේ මිතුරු තරුණිය තම සැමියාට දැනෙන නොදැනෙන ආකාරයට රිචඩ්ට ඒක පාර්ශ්විකව පෙම් කළ තැනැත්තියක් බැවින් පිරිමි- පිරිමි ප්‍රේමයකට වඩා ස්ත්‍රී පුරුෂ ප්‍රේමයක් මනෝරාණි භාරගන්නා බව ඇය චිත්‍රපටය තුළ සමීකරණය කර තිබීම ගයාන් පිටුදැකීම සාධාරණීකරණය කරගන්නා මාර්ගයද? අනෙක් අතට මනෝරාණි ගයාන් ගේ පැහැර ගැනීම දුටු අවස්ථාවේ දක්වන හැඟීම රිචඩ් පැහැරගෙන යන අවස්ථාවේ අසල්වැසි පවුල දක්වන ප්‍රතිචාරයටත් වඩා බරපතලය. හඳගම මනෝරාණි එවැනි ඉරණමකට අභිමුඛ කරන්නේ කවර මනෝ විශ්ලේෂණමය තත්වයක් පදනම්ව ද?
ලලිත් ගෙන් නතර නොවීම
මේ චිත්‍රපටය තුළ අප හඳුනන දේශපාලන චරිත පෝලිමට මතු කිරීම අවශ්‍ය ද යනුවෙන් ප්‍රශ්නයක් පැන නැගෙයි. ලලිත් ගෙන් පසුව ඒ පෝලිම නවත්වා මහින්ද හා මංගල වැනි චරිත මව්වරුන්ගේ පෙරමුණ ඇමතීමට පමණක් සීමා කළ හැකිව තිබුණි. ප්‍රේමදාස වුවත් චරිතයක් බවට පත් නොකර සිටියා නම් ප්‍රේමදාසගේ සෘජු අනු දැනුමෙන් තොරව ඝාතකයන් රිචඩ් ගන්නට පැමිණි බව හඳගමට චිත්‍රපටයේ අවසාන දර්ශනයෙන් අවධාරණයෙන් යුතුව නොකියා ඉන්නටත් තිබුණි.
මනෝරාණි චරිතයට ප්‍රවිශ්ට ප්‍රවීණ රංගවේදිනී ස්වර්ණා මල්ලවආරච්චි මේ චරිතයේ උච්චාවචනයන් සහ හැඟීම් පරාසයන් විනිවිදීමට කරන මනෝ – කායික මැදිහත්කාරකත්වය අති ප්‍රබලය. එහෙත් ඇය එම චරිත නිරූපණය සඳහා අතිශය වෙහෙසකර ව්‍යායාමයක නියැලෙන්නේ නැත. වසර හැටකට ආසන්න ඇගේ රංගන දිවියේ මනා පරිචය විසින්ම ඇය මනෝරාණි ප්‍රෙක්ෂක ඇස් ඉදිරිපිට පරම යථාර්ථයක් කරන්නී, මෙයම මිස එකී චරිතයේ තවත් නම් අධ්‍යයන පරාසයක් නැති බව ද ප්‍රේක්ෂාවට හඟවන්නීය.
(සටහන | විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී
[email protected]