ඔමික්‍රෝන් ආසාදිතයින් 95%ක් ඉක්මවා වාර්තා වන විට මරණ තුනෙන් දෙකක් පූර්ණ එන්නත්කරණය නොවූ අය අතරින්!

0
438

පසුගිය දිනවල වාර්තා වූ කොවිඩ් 19 මරණ වලින් තුනෙන් දෙකක් පූර්ණ එන්නත්කරණයට ලක් නොවුණු අය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේය.

හම්දානි මහතා මේ බව පැවසුවේ අද (04) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මඟින් පැවති මාධ්‍ය හමුවේදීය.

කොවිඩ් 19 ආසාදිතයින් හා එම මරණ පිළිබඳ සතියක දත්ත සංසන්දනාත්මකව ගත් විට පසුගිය සතියට වඩා මේ සතියේ ආසාදිතයින් 30%කින් පමණ වැඩි වීමක් පෙන්නුම්කරන අතර මරණ 08%ක 10%ක අතර ප්‍රමාණයකින් වැඩිවීමක් පෙන්නුම්කරන බවයි හම්දානි මහතා කියා සිටියේ.

එමෙන්ම ඔක්සිජන් මත යැපෙන සහ දැඩි සත්කාර ඒකකය වෙත යොමුකිරීමට සිදුව ඇති රෝගීන්ගේ ප්‍රමාණයද 4%කින් 5%කින් වැඩි තිබේ.

විශේෂයෙන් පූර්ණ එන්නත්කරණයට තවදුරටත් ලක්නොවී සිටීම තුළ රෝගයට ගොදුරුවීමේ අවදානම තවමත් එලෙසම පවතින බවද වෛද්‍ය අන්වර් හම්දානි මහතා අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා කියාසිටියේ පසුගිය දින 4-5 ක් තුළ කොවිඩ් 19 ආසාදිතයින් 1000 සීමාව ඉක්මවා වාර්තා වූ බවයි.

ඒ අනුව රෝගීන් වාර්තා වීමේ වැඩි වීමක් පවතින බවයි ඔහු පැවසුවේ.

මෙම ආසදිතයින්ගෙන් 95%කට වැඩි පිරිසක් ඔමික්‍රෝන් ආසාදිතයින් බවද ජාන පරීක්ෂාව මඟින් තහවුරු කර ඇති බවද බටුවන්තුඩාව මහතා සඳහන් කරන ලදී.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here