ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

Date:

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි මාසය තුළ ඩොලර් මිලියන 751.1ක ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් රටට පැමිණ තිබෙනවා. මෙය පසුගිය වසරේ ජනවාරි මාසය එක්ක බලද්දී 31.1%ක වර්ධනයක්. ජනවාරි මාසයකදී ලැබුණු වැඩිම ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය මෙය විය යුතුයි.

ජනවාරි මාසය තුළ රටට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණයද 277,327ක් ලෙස වාර්තා වෙනවා. මෙයද ජනවාරි මාසයකදී පැමිණ ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණය. ඒ වගේම එම පැමිණීම් වල පසුගිය වසර එක්ක බලද්දී 9.7%ක වර්ධනයක් දකින්න පුළුවන්. නමුත්, සංචාරක කර්මාන්තයේ ආදායම් වලනම් පසුගිය වසරට සාපේක්ෂව 5.6%ක අඩු වීමකුයි දකින්න තියෙන්නේ.

මහ බැංකුව විසින් ජනවාරි මාසය තුළ ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 200.3ක් මිල දී ගෙන තිබෙනවා. ඒ අනුව, මේ වන විට රටේ දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා තියෙන්න පුළුවන්.

ජනවාරි ශ්‍රමික ප්‍රේෂණ වලද දිත්වා බලපෑම යම් තරමකින් තිබෙනවා විය හැකියි. එය එසේ නොවන්නේනම්, මෙය ඉතාම හොඳ තත්ත්වයක්. පෙබරවාරි මාසයේදී ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අනුව මේ ගැන වඩා හොඳ අදහසක් ගන්න පුළුවන් වෙයි.

ආර්ථික අර්බුදයෙන් පසුව සිදු වූ විදේශගත වීම් ප්‍රමාණය සලකද්දී ශ්‍රමික ප්‍රේෂණ වල සැලකිය යුතු වැඩි වීමක් සිදු වීම අනපේක්ෂිත තත්ත්වයක් නෙමෙයි. පසුගිය වසරේ ලැබුණු මුළු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 8,076.2ක් තරම් ප්‍රමාණයක්. ජනවාරි මාසයේ 31.1%ක වර්ධනයට හේතුව දිත්වා බලපෑම කියා සැලකුවත්, මේ වර්ධනය මුළුමනින්ම දිත්වා බලපෑම සේ සලකන්න බැහැ. ඒ බලපෑම ඉවත් කළ පසු සාමාන්‍ය ඓන්ද්‍රීය වර්ධනය 11.4%ක් ලෙස සැලකුවත් මේ අවුරුද්ද ඇතුළත ඩොලර් බිලියන 9 ඉක්මවන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබීමේ විභවයක් තිබෙනවා.

ලංකාවේ විදේශ අංශය මත ශ්‍රමික ප්‍රේෂණ වල බලපෑම එන්න එන්නම වැඩි වෙමින් තිබෙනවා. මෙහි හොඳ පැත්තක් වගේම නරක පැතිත් තිබෙනවා. ශ්‍රමික ප්‍රේෂණ වැඩි වෙනවා කියන්නේ ඩොලර් සැපයුම වැඩි වී ඩොලරයක මිල පහළට තෙරපෙනවා කියන එක. එසේ වෙද්දී මහ බැංකුව විසින් ප්‍රමාණවත් මැදිහත් වීමක් කළේ නැත්නම් ඒ විදිහට රටට එන ඩොලර් ප්‍රමාණය ආනයන ලෙස නැවත රටෙන් එළියට යනවා. රටේ අපනයන අංශ ශක්තිමත් වීමක් වෙන්නේ නැහැ.

ප්‍රායෝගිකව කරන්න අමාරු වැඩක් වුනත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට එන ඩොලර් බිලියන 9ක් මහ බැංකුව විසින් අවුරුද්දකට එකතු කරගත්තොත් අවුරුදු හතරකින් රජයේ මුළු විදේශ ණය ප්‍රමාණයම ගෙවලා දමන්න වුනත් ඒ විදේශ විණිමය ප්‍රමාණය ප්‍රමාණවත්. නමුත් කාලයක් තිස්සේ මේ විදිහට රටට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ බිලියන 6ක් පමණ ආනයන වෙනුවෙන් වැය කරන්න පුරුදු වී තිබෙන නිසා ඒ විදිහට රටට එන ශ්‍රමික ප්‍රේෂණ සියල්ලම මහ බැංකුවට මිල දී ගන්න බැහැ. එහෙත්, බිලියන 6ක් පමණ ආනයන වෙනුවෙන් ඉතිරි කරලා බිලියන තුනක් පමණ මිල දී ගන්න බැරිකමක් නැහැ. එසේ කිරීම මගින් වැඩි වන ශ්‍රමික ප්‍රේෂණ වල උදවුවෙන් ආනයන වැඩි වීම වලක්වා ගන්න පුළුවන්.

වැඩි වන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය මහ බැංකුව විසින් එකතු කර ගන්නවානම්, ආනයන වර්ධනය වෙන්නේ අපනයන වර්ධනය වීමට සමාන්තරවයි. ඒ මගින් ස්වභාවික ලෙසම අපනයන දිරි ගැන්වීමක් සිදු වෙනවා. එසේ නොකර, වැඩි වන ශ්‍රමික ප්‍රේෂණ ආනයන සඳහා යොදා ගත හැකි පරිදි බැංකු පද්ධතිය තුළ ඉතිරි වෙන්න ඇරියොත් එයින් වෙන්නේ අපනයන වර්ධනය සීමා වෙන එකයි. මාසයකට ඩොලර් මිලියන 250 පමණ බැගින් මිල දී ගත්තොත් මහ බැංකුවට වසර ඇතුළත ඩොලර් බිලියන 3ක් පමණ මිල දී ගෙන වසර අවසන් වෙද්දී ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය සංචිත මුදල් ප්‍රමාණයෙන් 80%-90% වගේ මට්ටමකට ඉහළ දමාගන්න පුළුවන්.

~ ඉකොනොමැට්ටා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...