සටහන – රත්නපාල ගමගේ
ස්විට්සර්ලන්තය (LNW) : සිංහල භාෂාවේ ඇති සුන්දර චවන සමග නිරන්තර සංග්‍රාමයකයෙදෙන උපුල් ශාන්ත සන්නස්ගල එම සංග්‍රාමයේ කූට ප්‍රාප්තියකට යොදා ගන්නේ ඔහු පුරා තිස් වසරක් තිස්සේ ආදරය වෙනුවෙන් බැටකෑ සිදු වූ තුවාල සුවපත් වීම නිමිත්තෙන් ආදරය අනුමෝදන් කරවීමටය. මේ වෙනුවෙන් ඔහු නිර්වාන නමින් සජීවී සංගීත ප්‍රසංගයක් මේ මස 14 වන දින සවස 6.30ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගනයේදී පැවැත්වීමට නියම කරගෙන තිබේ. මේ සඳහා ඔහු නියෝජනය කරන පරම්පරාව වන්නේ (1960-1980) සහ Gen-Z පරම්පරාවයි (1997 සිට).
එම පරම්පරා වලට පෙර පැවති (1940 – 1960) පරම්පරාවත් එකතු කර ගන්නේ නම් මැනවි. දැනට එම පරම්පරාවේ ඉතිරිව ඇති වයෝවෘධ ගතින් දුබලව ඇතැම් විට මහලු නිවාස වල සිටින ආදරය සිතින් ස්පර්ශ කරන පිරිස් ද ආදරය අනුමෝදන් කිරීමට සුදුස්සෝය. මක්නිසාද යත් එකල ආදරවන්තියින්ගේ දිනයක් නොතිබුනත් ඔවුන් පාසැල තුලත් ඉන් පිටතත් ආදරවන්තයෝ වූ නිසාය. දම්මිලා සුගත්ගා ලා සෑම තැනකම විසීය. එකල හදවත් සියල්ලම ගොලුය. ප්‍රේමය තහනම් වචනයකි. එක්ටැම්ගේ සිරවූණු උන්මාද චිත්‍රාවන් ද බොහෝය. ගීත රචක කරුණාරත්න අබේසේකරට එකල ගීත ලියන්නට සිදුවූයේ තම සහායිකාවට දැන්වීමට මගක් නැතිව සුලඟට තම ආදර පණිවිඩය ගෙන යන ලෙස කරන ලද ආයාචනා සමගය. නවකතා තුළින් ද ආදරයවිදගත් අයුරු දක්නට ලැබුනි. පියවරුන් සහ පුතුන් ආදරය වෙනුවෙන් එකට පොරකෑ අයුරු ගුණදාස අමරසේකර ඔහුගේ කරුමක්කාරයෝ නව කතාවෙන් මතු කලේය.

මේ යුගයේ පේරාදෙණිය සරසවියට ඇතුලු වූ තරුණ පිරිස් ආදරය අනුමෝදන් කරවීමේ වැඩමුලුවේ එකල නියමුවන් වූහ. පේරාදෙණිය සරසවිය වනාහි ආදරයේ උල්පතක් බඳු පාරාදීසයක් විය. මනමේ කරලියට ගෙනා මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර සහ යලි උපන්නෙමි නවකතාව ලියු ගුණදාස අමරසේකර මස් ලේ නැති ඇට රචනා කල ආචාර්ය සිරි ගුණසිංහ ආදරය අනුමෝදන් කරවීමට ගොස් දරුණු ලෙස ප්‍රහාරයන්ට ලක්වූවෝය. එම ප්‍රහාර වලින් බරපතල තුවාල ලැබූ සමහරක් එම තුවාල පිටින්ම මෙලොව හැරගියහ. එම පිරිසෙන් අදට ජීවතුන් අතර සිටින එක් පුද්ගලයෙක් වන්නේ දොස්තර ගුණදාස අමරසේකර ය.
ආදරය අනුමෝදන් කරවීම හා උපුල් ගැන ලිපියක් ලිවිය යුතුයැයි මා ලන්ඩනයේ සිටින ලංකා නිව්ස් වෙබ් අඩවියේ සංස්කාරක චන්දිමට යෝජනා කල විට ඔහු එකහෙළා එය අනුමත කළේය. මොකක්ද? ලියන්නේ.. ඔහු ඇසීය. මේ මස 14 දින උපුල් විසින් පැවැත්වීමට යන ආදරය අනුමෝදන් කරවීමේ නිර්වාන නැමැති සජීවි සංගීත ප්‍රසංගයට 1960 – 1980 කාලය නියෝජනය කල පරපුරද යා කිරීමට අවශ්‍ය නිසා මෙය ලියන බව මා පැවසුවෙමි. මෙය පුර්ව ප්‍රචාරක වෙළඳ දැන්වීමක් කර නොගන්නා බවත් මම පැවසුවෙමි. මේ සියල්ල අසා සිටි ඔහු අවසානයේ දී අපූරු වදනක් පැවසීය. “ලියන්න.. ඔහු මගේ පන්ති මිතුරෙකු යැයි” කීය.

ආදරවන්තයින්ගේ දිනයක් ගැන නොදන්නා යුගයක පාසැල් වල ඉගෙන ගත් දම්මිලා සහ සුගත්ලා අතර හුවමාරු වූ පෙම්පත් ටොන් ගනණකි. මෙම පෙම් පත් බොහෝමයක් මුල පුරා තිබුනේ ජොතිපාල, මිල්ටන් පෙරේර වැනි ගායකයින් ගායනා කල ගීත වල කොටස් ආරම්භයට යොදාගෙනය. මේවා හුවමාරු වූයේ පාසල් පොත් අතරින්ය. මෙවනි ලියුම් අසු වූ විට එයට අවඥා සහගත නමක් යොදා තිබුනි. එය හැදින් වූයේ හොර ලියුම් වශයෙනි. මෙවනි පෙම් පත් ලියූ පෙම්වතුන්ට හා පෙම්වතියන්ට පාසල හැර යාමට සිදුවූ අතර සමහරුන්ට තම ජීවිතයද පූජා කරන්නට සිදුවිය.
ආදරයෙන් පරාජයට පත් තරුණ යුවලක් ඔවුනොවුන් එකිනෙකා වැලදගෙන ලෝකාන්තයෙන් පැන සියදිවි නසාගත්හ.. සමහරෙක්ගේ ඥාති සම්බන්කම් පවා නැති වූහ. ආදරයෙන් දරුණු ලෙස බැට කෑවේ උපුල්ගේ පරම්පරාවට පෙර පරම්පරාවයි.
70 යුගයේ ගුවන් විදුලිය ආදරයේ උල්පත විය. එහි නියමුවන් වූයේ සුනිල් ශාන්තයන් ගෙන් පටන්ගෙන අමරදේවයන්, වික්ටර් රත්නායක හරහා කසුන් කල්හාර පරපුර දක්වා ගීත ගායනා කලවුන්ය. ඔවුන්ගේ ගීත වලින් ගලා ආ ආදරය දෙගොඩ තලා ගියහ. ආදරය ස්පර්ශ වන ගීත ගායනා කල පණ්ඩිත් අමරදේවයන් ද 1940 – 1960 පරපුරට අයත්ය.
ආදරය තහනම්ව තිබු යුගයක එහි දොරගුළු බිය සැක නැතිව විවෘත කලේ උපුල්ය. විවෘත කළ දොරගුළුවලින් නිවස තුළ තිබු යහන මතට ගොස් සම්භෝගය දක්වා ම ආදරය විහිදවන්නට ධර්මසේන පතිරාජෙගේ හෙමින් සැරේ ගීතයට හා රජිව් වෙල්ගමගේ රෑ මැදියම ගීතයටත් හැකිවිය. මෙම විප්ලවයේ තවත් නියමුවෙකු වූ අශෝක හඳගම කිසිසේත්ම අමතක කළ නොහැකි පුද්ගලයෙකි. සරසවි අධ්‍යාපනය ලැබිමට පැමිණි ශිෂ්‍යාවක් තම මහාචාර්යවරයා සමග ඇති කරගත් ආදරය මහාචාර්යවරයාගේ නිවස තුලට රැගෙනගොස් ඔහු සිනමාවේ විප්ලවයක් කළේය. හැත්තෑව දශකයේදී ගුවන්විදුලිය ආදරය ගැන සුචරිතවත් ලෙස සාකච්ඡා කළ බවට අමරදේවයන් බක්මහ අකුණු චිත්‍රපටිය ගැයූ ආදර හැඟුම් ගීතය නිදසුනකි.
එච්.ආර් ජෝතිපාල සහ මිල්ටන් පෙරේරා ආදරේ මුහුණත පමණක් අතගාමින් කෙසේ හෝ මල්සාරාවත් සම්බන්ධ කරගනිමින් ජනප්‍රිය තලයේ ගී ගැයුහ. මේ ස්පර්ශයන් යුගයේ තිබූ ආදර තහංචි සමඟ සසඳන විට යහපත් විය. වික්ටර් රත්නායක, සනත් නන්දසිරි පවා ආදරය ගැන කතා කළත් සරාගී හැගීම් ගැන ස්වයං පාලනයක් සහිතව ගී ගැයුහ. නිදසුනක් ලෙස වික්ටර් ගයන කුරුල්ලන්ට ගී ගයන්න, සඟවා ගනු මැන සොඳුරියේ ඔබ රුව වැනි ගීත පෙන්වා දිය හැකිය. අමරදේවයන් ගැයූ ගීතවල සරාගී හැඟුම් පෙන්වා දුන්නේ අතිශය රහසිගතවය. බැස යන හිරු අඩති, සඳට රහස් කියනවා… සඳ ආදරයෙන් අහසපුරා රටා මවනවා… ගීතය නිදසුනකි.මේ සියළු වැට මායිම් බිඳ දමමින් ආදරය සමග දැවටු සරාගී හැඟුම් බන්දේසියක තබා ගේ මැද සාලයට රැගෙන ආවේ හැට අසුව දශකයේ බිහි වූ උපුල් ශාන්ත සන්නස්ගලය. මෙයට වසර තිහකට පමණ පෙර ඔහු අතින් ලියැවුණු සඳ පහන් රැයේ ගීතය ඊට හොඳම නිදසුනයි. එම ගීතයේ පදවැල තරුණ, තරුණියන්ගේ හදවත්වල පැලපදියම් වුයේ ඉන්දිකා උපමාලි ගේ කටහඬ නිසාය. එම ගීතයේ තනුව සහ සංගීතය ආදර හැඟීම් කිතිකවමින් ඇති කළ උන්මාදයක් විය.
මේ යුගයේ මේ වන විට ආදරය තහනම් භාණ්ඩයක් නොවේ.එය විවෘත වසර 30ක පෙර ඔහු ලියු සඳ පහන් රැයේ ගීතයේ අරඹා 1996 ආදරණීය වස්සානය පවත්වා බරපතල ප්‍රහාරයකට ගොදුරුවී ලත් තුවාල සුවවීම වෙනුවෙන් ආදරය අනුමෝදන් කරවීමට නිර්වාන් පවත්වන බව උපුල් කියයි.
ආදරය තහනම්ව පැවති අවදියක දි කසඇට සරුවත් බොමින් සැනකෙළිවල සැරිසැරූ ධම්මිලා සුගත්ලා ට අමතරව ලෝකාන්තයෙන් පැන දිවිනසාගත් තරුණ තරුණියන්ද මේ ආදරය අනුමෝදන් කිරවීම සඳහා සුදුස්සෝ වෙති.
ඹබ එන්න ඔබ ඇවිත් යන්න එන්න* ආදරය හඳුනන ප්‍රේක්ෂකයින් මිලියන ගණනක් වැළඳගත් ගීතයකි. මෙම ගීතය ගායනා කළේ අප අතරින් සමුගත් මොරිස් විජේසිංහයන්ය. කිසියම් ගීතයක් ශ්‍රවනය කරන විට ඔහුගේ හෝ ඇයගේ හදවතේ කම්පනයක් ඇතිකරන්නේ නම් එම ගීතය සත්‍යවශයෙන්ම සාර්ථක එකක් බව කිව හැකිය. ඔබ එන්න ගීතය එයට සාක්ෂියකි. මම එහි එක් සාක්ෂිකරුවෙක් වෙමි. මට අමතරව තවත් දහස් ගණනක් සාක්ෂිකරුවන්ද සිටිය හැකිය. මේ එහි නිධාන කතාවයි. මෙය උපුල් දන්නේ දැයි මා නොදනිමි.
අනුලා කරුණාතිලක උපුල්ගේ පරම්පරාවට පෙර පැවති පරම්පරාවේ සිටින දක්ෂ ප්‍රබුද්ධ නිලියකි. ඇය විවාහ වී සිටියේ පුවත්පත් කැමරාශිල්පියෙක් ලෙස එකල නමක් දිනාගෙන සිටි දයා රණවීර සමගය. ඇගේ රුව ඡායාරූපයට නැගීමේ දී ඇතිවූ ආදරයේ දිගුවක් ලෙස ඔවුන් විවාහ වූහ.ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටිති. දයා මිය ගොස්ය. අනුලා අදටත් ඒ ආදරය වෙනුවෙන් වැලපෙන්නීය. ඇයට වරමක් ලැබුණොත් ඇය ඉල්ලා සිටින්නේ කුමක් දැයි යන පැනයට දුන් පිළිතුර වරමකටවත් ලබා දිය නොහැකි ඉල්ලීමකි. ඒ මිය ගිය දයාගේ හුස්ම යළි ඇයට ලබාදෙන ලෙසය. ඒ තරමට ම ඔවුන් ආදරය විඳගත් යුවළක් වූහ.
මා මේ පූර්විකාව සඳහන් කළේ මේ කථාව සිහිපත් කිරීමටය. වසර කීපයකට පෙර ඇය ජාතික රූපවාහිනියේ විකාශය වූ සිහිනයකි රෑ වැඩසටහනේ ආරාධිතයා ව සහභාගී වූවාය. ඇය එහිදී තෝරා තිබූ අවසන් ගීතය වූයේ උපුල් ශාන්ත සන්නස්ගල ලියූ මොරිස් විජේසිංහ ගායනා කළ ඔබ ඇවිත් යන්න එන්න* යන ගීතයයි. මේ ගීතය මුලින්ම ගුවන්විදුලියෙන් ඇයට ඇසුණු දා ඇගේ හිත කීරි ගැසුණු බවත් මේ ගීතය ගයන්නේ මිය ගිය දයා ඇයට බවත් ඇය එම වැඩසටනේදී කීවාය.
එතැන් සිට මෙම ගීතය අසන්නට අකමැති වූවාය. නමුත් එම ගීතයට තමන් කැමති නිසා එම ගීතය තෝරාගත් බව කීවාය. එම ගීතය එදා සිහිනයකි රෑ වැඩසටහනට ගායනා කළේ දෙරණ ඩ්‍රීම් ස්ථාර් දෙවැනි අදියරේ පළමු ස්ථානය දිනූ උපේඛා නිර්මාණිය. ඇය එම ගීතය ගයද්දී ඉතා අපහසුවෙන් අසුන මත සිටි අනුලා පසෙකට ඇලවෙනු දුටු එම වැඩසටහන මෙහෙයවූ මහේෂ් නිශ්ශංක ඇගේ අසුන දෙසට පාත්වී ඇගේ අතින් අල්ලාගෙන ගීතය අවසන්වනතුරු රැඳී සිටියේය. මේ ගීතය නිසා කම්පාවට පත්වෙන අයුරු සජීවී ලෙස දැකගත හැකිවූ අවස්ථාවක් විය.
මේ නිසා නිර්වාන් සජීවී ප්‍රසංගයට සුදුසු ශීර්ෂපාඨ දෙකක් දැක්වීමට අවසර! මින් එකක් “ඔබ ඇවිත් යන්න” අනෙක “සඳ පහන් රැයේ මේ සොඳුරු සිහිනයේ සැතපෙන්න” යන්නයි. මේ කවර හෝ එකකින් සිදුවන්නේ ආදරය අනුමෝදන් කිරීමය. ඔබ එන්න ගීතය ගැනත් යමක් කිව යුතුය. උපුල්ගේ පද පෙළට සප්තස්වරයෙන් ප්‍රාණවායුව ඇතුළත් කළ නවරත්න ගමගේ ගැනය. ඔහුගේ මියුරු සංගීතය මොරිස්ගේ ප්‍රතාපවත් හඬ ගීතයේ ඇති ප්‍රබල බවට සාධකයන්ය. මගෙ රන් කඳට මම ආදරෙයි! වැනි වදන් ආදරය පිරී ඉතිරී දෙගොඩ තලා යන සුන්දර වචනයන් ය. ඒවා පෙම්වතුන්ගේ ලෝකවල පැලපදියම්වී තිබේ. අවසාන වශයෙන් යමක් කිව යුතුය! උපුල් ශාන්ත සන්නස්ගල ජීවිතයේ කිසිදිනක මට පෞද්ගලිකව හමු නොවූ අයෙකි. එසේ වූවත් ඔහුගේ රෝයල් තැබ්‍රොබේනයේ නිරතුරු සාමාජිකයෙක් වූවෙමි. මෙහිදී සැතපුම් දහස් ගණනක් ඈතින්ව සිටියත් ඔහුට දීර්ඝායු පතන අතර සංගීත ප්‍රසංගයට සුභ පතමි.



