වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව ඒ මත තීරණ ගන්නේ නැහැ – ජනපති රනිල්

Date:

පවතින නීති රීති වලට අනුව මිස සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක සේවකයින් වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව ඒ මත තීරණ නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසන බවත්, රාජ්‍ය සංස්ථාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ඉවත් කළ යුතු බව වෘත්තිය සමිති පවසන බවත් පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වෘත්තීය සමිති මට්ටම දක්වා පහත වැටීම කණගාටුදායක බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (15) කොළඹ ට්‍රේස් සිටි හි පැවති ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතනයේ “රාජ්‍ය ප්‍රතිපත්ති හා ආණ්ඩුක්‍රම පිළිබඳ මධ්‍යස්ථානය” ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ සභාපති රංජිත් ජී. රූබසිංහ මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසනවා. ඒ වගේම සංස්ථාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ඉවත් කරන ලෙස වෘත්තිය සමිති පවසනවා. මට අසන්නට තිබෙන එකම ප්‍රශ්නය වන්නේ විශ්වවිද්‍යාල උපකුලපතිවරයා ඉවත් කරන්න කියන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, සාමාන්‍යාධිකාරී ඉවත් කරන්න අවශ්‍යයි කියන අයගේ මට්ටමට පැමිණ තිබෙනවා ද කියන කාරණයයි.

සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ආණ්ඩුවේ කටයුත්තක්. නමුත් විරෝධතා දියත් කළ පමණින් ආණ්ඩුව ඔහුව ඉවත් කරන්නේ නැහැ. ඔහුගේ යම් බරපතළ අඩුපාඩුවක් තිබෙන බව ඔවුන් සිතන්නේ නම් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් තිබෙනවා. උපකුලපතිවරුන් සම්බන්ධයෙනුත් එම තත්ත්වය එලෙසම බව සඳහන් කළයුතුයි.
සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක වේවා වැඩ වර්ජන කළ පමණින් මේ ආණ්ඩුව වෙනස් වෙන්නේ නැහැ.

අපි නීති රීති අනුව ක්‍රියා කරනවා. නැතිනම් ඊළඟ වතාවේ පීඨාධිපතිවරුන් සහ ඉන් පසුව දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඉවත් කිරීමට ඔවුන්ට අවශ්‍ය වේවි. අනතුරුව ඔවුන් කියයි අපේ කැමැත්ත නැතිව ඔබට මහාචාර්යවරයෙක් පත් කරන්න බැහැ කියලා.

විශ්වවිද්‍යාලවල ඇතිවීමට යන මෙම තත්ත්වය පිළිබඳ අපි ගැඹුරින් සිතා බැලිය යුතුයි. සිදුවන්නේ කුමක්ද කියා නිවැරදිව දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබෙනවා. ඒ විශ්වවිදයාල සිසුන්ට අධ්‍යාපනය ලබාදෙන්නේ රටේ ජනතාවගේ මුදල්වලින් නිසා. එබැවින් විශ්වවිද්‍යාල පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුයි. රුහුණු විශ්ව විද්‍යාලය තුළ මෙවන් තත්ත්වයක් ඇතිවීම පිළිබඳව මම කණගාටු වෙනවා”

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, හේග් විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ සහකාර මහාචාර්ය හාවර්ඩ් නිකොලස්, උපකුලපති සහ ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ සභාපති රංජිත් ජී. රූබසිංහ යන මහත්වරු ඇතුළු විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...