*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

එක්තරා රැඳවුම් කඳවුරක කතාවක් : පල්ලෙකැලේ (14) ඔපරේෂන් ගොන්පාට් !

වේගයෙන් දිගහැරෙන අතීතාවර්ජනයක මගහැරුන බොහෝ දේ තිබිය හැකිය. මාගේ රැඳවුම් ජීවිතය සම්බන්ද පුරාවෘත්තය ඔබ වෙත ලිවීමේදී මා අතින් මගහැරුන මේ එවන් එක් කොටසකි. “සිරගත දිවිය” ලේඛණය අවසන් කිරීමට මත්තෙන් මෙවන් තවත් මග හැරුනු අතුරු කතාවන් කිහිපයක් සමස්ථ ලේඛණයට එක් කිරීමට මම අදහස් කරමි.

මා රැඳවුම් කඳවුරේ ගාල්වී සිටි කාලවකවානුවේදී විපක්ෂය විසින් “ශබ්ද ඝෝසාව” නමින් එවකට පැවති ආන්ඩුවේ කෘර පාලනයට එරෙහිව විරෝධතාවයක් සංවිධානය කර තිබින. එහි සැලැස්ම වූයේ පැය බාගයක පමණ නිස්චිත කාලසීමාවක් තුලදී රටේ සෑම පුරවැසියෙක්ම තමා ඒ මොහොතේ සිටි තැන සිටියදීම තමාට හැකි අයුරින් අකන්ඩව කුමක් හෝ ශබ්දයක් නැගීමයි.

එදා මේ ශබ්ද ඝෝසාවට සම්බන්ද වීමට කඳවුරේ සිටි හත්සීයක පමණ රැඳවියන් පිරිසද සූදානම් උනි. එහිදී ඔවුන් කඳවුරේ තිබූ දැවැන්ත යකඩ ගේට්ටු පළු වලට ගසමින්ද, හූ කීමෙන්ද, විසිල් ගැසීමෙන්ද, කඳවුරේ තිබූ ලෝහ කොටස් එකට වැද්දීමෙන්ද මේ ශබ්ද ඝෝසාවට සහබාගී වීමට සූදානම් වී සිටියේය.

නියමිත වේලාව පැමිණීමෙන් පසු කඳවුරේ සිටි හත්සීයක පමණ රැඳවියන් පිරිස සැලසුම් කරගත් පරිදි ශබ්ද නගන්නට විය. එයින් වික්ෂිප්ත වූ කඳවුර වටා සිටි පොලිස් බටයන් හා පරිපාලන නිලධාරීන් එය නැවැත්වීමට උත්සාහ දැරුවද එය රැඳවියන්ට ඇසුනේ නැත. එය රැඳවියන්ට ඇසුනද ඒ මොහොතේ රැඳවියන් ස්වකීය ඝෝසාව නතරකරන තැනක සිටියේද නැත. අවසානයේ කඳවුර වටා සිටි පොලිස් බටයන්ට ශබ්ද ඝෝසාව නතරකරවීම සඳහා අහසට වෙඩිතබන්නට සිදුවිය. නමුත් එයින්ද ශබ්ද ඝෝසාව නතර වූයේ නැත, අවසානයේ සිදුවූයේ පොලීසියටද අහසට වෙඩිතබා ශබ්ද ඝෝසාවට සහබාගී වීමට සිදුවීම පමණි.

මේ සිදුවීම සිදුවූ දින හවස් වරුවේ පරිපාලන නිලධාරීන් රැඳවුම් පරිශ්‍රය තුලට පැමිණ රැඳවියන් සතුව ඇති කුඩා පිහි, යකඩ බට වැනි සියළු ආම්පන්න වහාම පරිපාලනය වෙත බාරදෙන ලෙසද එසේ නොදෙන්නේ නම් කඳවුරේ සියළු තැන් පරීක්ෂාකර මොනයම් හෝ දෙයක් ලඟ තිබී හමුවන රැඳවියන්ට තදින් ක්‍රියාකරන බවද දන්වා සිටියේය. ඒ සමඟම ඔවුන් අසල තිබූ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලබමින් සිටි පොලිස් බටයන් කන්ඩායමක්ද රැඳවියන් සිටි රැඳවුම් පරිශ්‍රය තුලට ගෙන ආවේය. අනතුරුව ඔවුන් රැඳවියන් ඔවුන්ගේ පුහුණුවක් සඳහා යොදාගන්නට විය.

මේ අභ්‍යාසලාභී පොලිස් බටයන් විසින් රැඳවියන්ට අත් එසවීමට නියෝග දීමටත්, බිම දිගාවීමට අණකරන්නටත් පටන්ගත්තේය. එහිදී රැඳවියන් මෙසේ පොලිස් ආධුනිකයන්ගේ පුහුණුවට අවශ්‍ය පඹයන් ලෙස යොදාගැනීම සම්බන්දව කායාගේ හා ලෙස්ලිගේ හා සෙසු රැඳවියන්ගේ බලවත් විරෝධය එල්ලවන්නට විය. එහිදී ඇතිවූ කළබැගෑනියේ පළයක් ලෙස පුහුණුව සඳහා ගෙන ආ ආධුනික බටයන් රැඳවුම් පරිශ්‍රයෙන් ඉවතට රැගෙන යන ලදී. නමුත් රැඳවියන් සතු කුඩා පිහි, යකඩ බට සෙවීමේ මෙහෙයුම අකන්ඩව ක්‍රියාත්මක වින.

මේ සිදුවීම සිදුවූයේ කළු අයියා කඳවුර තුල ජීවතුන් අතර සිටි කාලය තුලදීය. සෝදිසි මෙහෙම සිදුවන අතර වාරයේ අඟල් දෙකේ පරණ යකඩ ඇණයක් සොයාගත් කළු අයියා එය අයුධයක් බාරදෙන ආකාරයෙන් එහි සිටි ඉහලම නිලධාරීයා අතට එය දුන්නේය. එහිදී එකී පොලිස් නිලධාරීයා “තමුන් අපිව විහිළුවකට ගත්තාදැයි” අසමින් කළු අයියාට බැන වදින්නට විය. එහිදී නිලධාරීන් විසින් කළු අයියාව පහරදීම සඳහා පිටතට රැගෙන යාමට උත්සාහ දැරූ නමුත් අන් සියළු රැඳවියන්ගේ මැදිහත්වීම නිසා ඔවුන්ගේ උත්සාහය වලක්වා ගැනීමට අපට එදා හැකි උනි. ඇත්තෙන්ම ඒ මොහොතේ කළු අයියා ඔහුගේ ඒ ක්‍රියව හරහා උත්සහ කලේද මේ මෙහෙයුම විහිළුවක් බවට ලක් කිරීමටමය.

කෙසේ හෝ මේ මෙහෙයුම අවසානයේ රැඳවියන් පොල් කටු කැටයම් වැඩ සඳහා බාවිතා කල ඇක්ෂෝ තලවලින් සෑදූ කුඩා පිහි තලද, කුඩා පීරී, යකඩ බට වැනි දෑද රැඳවියන් විසින් සාදා තිබූ විදුලි හීටර්ද පරිපාලනයේ සුළු සේවකයන් විසින් ඔසවාගෙන පිටතට රැගෙන යන්නට විය. මේ පිටතට රැගෙන යන යකඩ කෑලි දෙස බලමින් සිටි හනුමා කෝ T56, හම්බ උනාද, L.M.G. හම්බ උනාදැයි අසමින් පරිපාලන නිලධාරීන්ට විහිළු කරන්නට විය.

එසේම රැඳවියන් පොල්කටු කැටයම් සඳහා බාවිතා කල කුඩා ආම්පන්න ටික රැගෙන යාම සම්බන්දව හනුමා නිලධාරීන්ගේ මූණටම බැනවදින්නට විය. ඒ කෙසේ නමුත් එදා සැලකිය යුතු ගැටුමක් ඇති නොවී මේ මෙහෙයුම මෙසේ අවසන් විය.

මේ සිදුවීම සිදුවී දින දෙකකට පමණ පසුව රතුකුරුස සංවිධානයේ යුරෝපීය කාන්තාවන් සිවුදෙනෙක් කඳවුරු පරිශ්‍රය තුලට පැමිණියෝය. (රැඳවියන් නිරුපද්‍රිතව සිටිනේදැයි සොයාබැලීමට විටින් විට ඔවුන් කඳවුරු බූමියට පැමිණීම සාමාන්‍ය සිදුවීමකි, එසේම මේ රතු කුරුසයෙන් පැමිණෙන විදේශ නියෝජිතයන්ට සිංහල බාෂාව පිළිඹඳ කිසිදු අවබෝධයක් නොතිබූ අතර ඔවුන් ඉංග්‍රීසි බාෂාව නොදත් රැඳවියන් සමඟ කතාකරන විට කඳවුරේ සිටි ඉංග්‍රීසි බාෂාව දන්නා පරිවර්තක රැඳවියෙකුගේ සහය ලබාගත යුතුව තිබින)

කඳවුරට එදා පැමිණි යුරෝපීය රතුකුරුස නිලධාරිනීන් සහ කායා අතර ඒ වන විට උතුරේ ආරම්බවී තිබුන හමුදා මෙහෙයුම් ගැන දීර්ඝ සංවාදයක් කෙරීගෙන ගියේය. මෙහිදී කඳවුර තුල සිදුවූ මෙහෙයුම ගැනද කායා ඔවුන්ට පවසා සිටියේය. එහිදී සිරකඳවුරක් තුලදී පවත්වන හමුදා මෙහෙයුම කුමක්දැයි රතුකුරුස නිලධාරීන් කායාගෙන් විස්තර විමසා සිටියේය.ඒ අවස්තාවේ එකී මෙහෙයුමට “ඔපරේෂන් ගොන් පාට්” යනුවෙන් නමක්ද යොදා තිබූ බවද කායා ඔවුන්ට පැවසීය.

සිංහල බාෂාව ගැන කිසිම අවබෝධයක් නොතිබූ මේ රතුකුරුස නිලධාරීන් “ඔපරේෂන් ගොන් පාට්” මෙහෙයුම ගැන පරිපාලන නිලධාරීන් ගෙන් විමසා තිබින. එදින සවස් බාගයේ පරිපාලන නිලධාරීහු රැඳවුම් පරිශ්‍රයට පැමිණ අසභ්‍ය බාෂාවෙන් රැඳවියන්ට බැනවැදී පිටව ගියෝය.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan