කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ සහ සමඟි ජන බලවේගයේ එකතු වීම වෙනුවෙන් ආරම්භ කරන ලද සාකච්ජා මේ වන විට ඇනහිට තිබෙනවා. එය ඊයේ (16) දිනයේ එම සාකච්ජාවලට සමඟියේ පාර්ශවයෙන් සම්බන්ධව සිටි එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවා. ඒ අතරම පක්ෂය අභ්‍යන්තරයේ පවතින මතභේදය නිසා එම සාකච්ජා සම්බන්ධයෙන් යලි පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියක් ලැබෙන තෙක් තමන්ද එම සකච්ජාවලින් ඉවත්වන බවයි ඔහු පැවසුවේ.
ඒ අනුව ආරම්භයේ සිටම එම සාකච්ජා සම්බන්ධයෙන් දෙපාර්ශවයේම පැවති වැනෙන ගතිය ඊයේ හොඳටම අනාවරණය වුණා. එක පැත්තකින් එකතුවෙන්න අවශ්‍ය වුණත් පවතින දේශපාලන වටපිටාව වගේම විපක්ෂයට එල්ල වෙමින් තිබෙන චෝදනා විසින් මේ එකතුවට ආසයි බයයි තත්ත්වයකුත් නිර්මාණය කරලා තියෙනවා. මේ එකතුව එක පැත්තකින් ආණ්ඩුවේ දේශපාලනය හොඳ වුණත් එහෙම එකතුවක් නැතුව එජාපයටත් සමඟියටත් අනාගතයක් නැහැ කියන කාරණය තව පැත්තකින් එනවා. නමුත් ඉතින් දැන් ඒ සාකච්ජා අතරමඟ නැවතිලා අවසන්.
තිස්ස අත්තනායක මහත්මයා ඊයේ දින මාධ්‍ය හමුවක් පවත්වලා කියපු කාරණයත් එක්ක පේන්න තියෙන දෙයක් තමයි තිස්සලට එරෙහිවම සමඟියෙන් වෙනම සෙල්ලමක් ක්‍රියාත්මක බව. කොහොම වුණත් ඔය එජාප සමඟි දීගය ඇත්තටම වෙනකම් ඒ ගැන පුරෝකථන කීමෙනුත් පලක් නැහැ කියන හැඟීම තමයි දැන් තියෙන්නේ.
තිස්ස අත්තනායක මහත්තයාගේ මාධ්‍ය හමුවෙන් පස්සේ මාධ්‍යයට අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පැවසුවේ මේ සමඟි සන්ධානය වෙනුවෙන් ‘ල’ යනු තුනක බාධාවක් තිබෙන බවයි. දෙපැත්තේම ඉන්න අකුරු තුනක ‘ල’ යනු නිසා වැඩේ කොට උඩ ගිහින් තියෙන තත්ත්වයක් ගැන තමයි ඔහු පවසන්නේ. ‘ල’ යනු තුන කවුද කියන්න නම් ඉතින් දන්නෝ දන්නවා. මොකද ‘ල’ යනු තුන හරිම ප්‍රසිද්ධයි.
”අවසාන මොහොත වෙනකම් අපි නම් කල්පනා කරන්නේ මේ දක්ෂිණාංශික කඳවුර,එක්සත් ජාතික පක්ෂය සහ සජබය එකතුවෙන්න ඕනේ කියන එක. එකතු වෙන්න නම් මම විශ්වාස කරන දෙයක් තමයි මේ නායකයෝ දෙන්නම අඩියක් පස්සට අරන් මැදිහත්භාවයෙන් යුතුව බලන්න ඕනේ. ඒක පෙන්නේ නැහැ දෙකේම. මේ පක්ෂ දෙකටම තියෙන්නේ ‘ල’ යනුවල ප්‍රශ්නයක්ද කියල මට හිතෙන්නේ. අපේ පැත්තෙත් ඉන්නවා ලයන්නක්. සජිත් මහත්තයා ළඟ ‘ල’ යනු දෙකක්ම තියෙනවා. මේ ‘ල’ යනු තුන්කට්ටුව තමයි මේ වැඩේ කරනවට විරුද්ධ වෙන්නේ. අකුරු තුනේ ‘ල’යනු ටිකක් තමයි මේක බකල් කරන්නේ. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ළඟ ඔය ලයනු හිටියේ නැහැ. එතුමා ස්වාධීනව කෙලින් වැඩකළා. නමුත් අපේ නායකයෝ දෙන්නා ළඟම ලයනු කියන විදිහට තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඒ අනුව ලයනුවල අත්අඩංගුවේ ඉන්නවද කියන ප්‍රශ්නාර්ථය අපිට තියෙනවා. මම බොහොම ස්වාධීනව මේක කියන්නේ. මොකද මැද ඉඳගෙන හැමතිස්සෙම කතා කරේ මේ පක්ෂ දෙක එකතු කරන්න. මොකද මට විශ්වාසයක් නැහැ අනාගතයක් නැහැ මේ දෙකේම.” යනුවෙන් ආශු මාරසිංහ මහතා සඳහන් කර තිබුණේ.
කොහොම වුණත් මේ වෙද්දී විපක්ෂයට වැටිලා තියෙන, සමඟියත් එජාපයත් කියන්නේ එකම බෝට්ටුවේ අය. ඒ නිසා එකතුවීම ගැන ලොකු බාධාවක් නැතිවෙයි කියන තැනින් තමයි මේ දෙගොල්ලොම ඒ ගැන කතා කරන්න පටන් ගත්තේ. හැබැයි ඉතින් ඔය අස්සේ තව මොන මොන ඇජෙන්ඩා තියෙන්න පුළුවන්ද? ගෙඩිය පිටින් සජිත්ට ගියොත් එජාපය හාන්සියි. අනිත් පැත්තෙන් එජාපයට යටවෙන්න වුණොත් සජිත්ගේ දේශපාලන අනාගතයත් හාන්සියි. ඔය කතන්දර බේරාගන්නවා කියන එකත් ඉතින් ලේසි නැහැ. කොහොම වුණත් දේශපාලනය කියන්නේ ඉතින් හරි සුමට,සිනිදු,හද සිසිල් කරන දෙයක් නෙවෙයිනේ.
ආශිකා බ්‍රාහ්මණ
