රජය සතුව ප්‍රමාණවත් අරමුදල් නැතිවීම මේ වෙද්දී පළාත් පාලන මැතිවරණ පැවැත්වීම කෙරෙහි බලපා තිබෙනවා. මේ ගැන දැනට වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. කෙටියෙන් කියන්න තියෙන්නේ මැතිවරණ කල් දැමීම රටේ ආර්ථික ස්ථායීත්වය කෙරෙහි ඇතැම් විට කෙටිකාලීනව වාසිදායක බලපෑමක් කළ හැකි වුවත්, එහි දිගුකාලීන බලපෑම කිසිසේත්ම හොඳ එකක් නොවනු ඇති බවයි. ඒ වගේම, මෙය ඉතා නරක පූර්වාදර්ශයක් බවයි. මැතිවරණයෙන් පටන් ගත්තත්, ලිපිය ඒ ගැන නෙමෙයි.
රජය සතුව අරමුදල් නැත්තේ ඇයි? රජය විසින් එකතු කර ගන්නා බදු මුදල් වලට වෙන්නේ කුමක්ද?
මේ ගැන කතා කරන්න කලින් රජයේ ආදායම ගැන කතා කර පටන් ගනිමු. දැනට විස්තරාත්මක සංඛ්‍යාලේඛණ තියෙන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසය දක්වා පමණයි. පසුගිය වසරේ පළමු මාස නවය තුළ රජයේ ආදායම රුපියල් බිලියන 1,448.5ක්.
මෙය පෙර වසර වලට සාපේක්ෂව හොඳ තත්ත්වයක්. 2020 වසර තුළ රජය විසින් ඉපැයූ ආදායම රුපියල් බිලියන 1,373.3ක් පමණයි. 2021දී රජයේ ආදායම තරමක් ඉහළ ගියත් එම වසර තුළ රජය ඉපැයූ ආදායමද රුපියල් බිලියන 1,463.8ක් පමණයි. මේ අනුව, 2022 පළමු මාස නවය තුළ පමණක් රජය විසින් 2020 වසරේ සමස්ත ආදායම ඉක්මවන සහ 2021 වසරේ සමස්ත ආදායමට ආසන්න ආදායමක් උපයා තිබෙනවා.
කෙසේ වුවත් ඉහත ආදායම රජයේ වියදම් සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් වී නැහැ. වසරේ පළමු මාස නවය තුළ රජයේ වියදම රුපියල් බිලියන 2,694.8ක්. මෙම වියදමට පොලී ගෙවීම් ඇතුළත් වුවත් ණය ආපසු ගෙවීම් ඇතුළත් නැහැ. පහළින් තියෙන්නේ රජය ඉහත මුදල වැය කළ ආකාරයයි. වරහන් තුළ තියෙන්නේ අදාළ වියදම ආදායමෙන් කොපමණ ප්‍රතිශතයක්ද යන්නයි.
රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් = රුපියල් බිලියන 942.9 (65.1%)
පොලී ගෙවීම් = රුපියල් බිලියන 927.4 (64.0%)
අනෙකුත් වර්තන වියදම් = රුපියල් බිලියන 429.9 (29.7%)
අනෙකුත් ප්‍රාග්ධන වියදම් = රුපියල් බිලියන 394.6 (27.2%)
එකතුව = රුපියල් බිලියන 2,694.8 (186.0%)
ඔක්තෝබර් හා නොවැම්බර් දෙමස තුළ තවත් රුපියල් බිලියන 361.2ක් ආදායම් ලෙස එකතු වී ඇතත්, රුපියල් බිලියන 644.8ක වර්තන වියදමක් හා රුපියල් බිලියන 71.4ක ප්‍රාග්ධන වියදමක් දරන්නට සිදු වී තිබෙනවා. වර්තන වියදම් ඉහළ යාමට හේතුව පොලී අනුපාතික ඉහළ යාම විය යුතුයි. මේ අනුව, එම දෙමස තුළ වියදම ආදායම මෙන් 198%ක්.
ඉහත අරමුදල් හිඟය පියවා ගැනීමට අමතරව, ණය ආපසු ගෙවීම සඳහාද සැලකිය යුතු මුදලක් අළුතෙන් ණය ලෙස ලබා ගත යුතු නිසා, පොලී වියදම් නොදරා සිටිය නොහැකියි. පොලී වියදම් වලට අමතරව විශාලම වියදමක් වන්නේ තවමත් කප්පාදු කර නැති රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් කොටසයි. ප්‍රාග්ධන වියදම් වලින් සැලකිය යුතු කොටසක් කලින් ඇති කරගත් එකඟතා මත ලැබෙන ණය නිසා බොහෝ විට එම අරමුදල් වෙනත් කටයුතු සඳහා වැය කිරීමේ හැකියාවක් නැහැ. අනෙකුත් වර්තන වියදම් වලින් වැඩි කොටසක් වෛද්‍ය සැපයුම් (ඖෂධ), සමෘද්ධි දීමනා ඇතුළු සහනාධාරයි.
පසු ගිය වසරේ මුල් මාස නවය තුළ පැවති තත්ත්වය අනුව, පොලී වියදම් ඉවත් කළද, ආදායම මෙන් 122%ක මුදලක් වැය වී තිබෙනවා. පොලී ගෙවීම සඳහා නැවත ණය ගැනීම තිරසාර ලෙස කළ හැකි වුවත්, ණය හා පොලී ගෙවීම් හැර රජයේ අනෙකුත් වියදම් වෙනුවෙන් දිගින් දිගටම දේශීය වෙළඳපොළෙන් ණය ගැනීම තිරසාර ලෙස කළ හැකි දෙයක් නෙමෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් ඉක්මණින් ලැබුනොත් මෙම තත්ත්වය කළමණාකරණය කර ගත හැකි වුවත්, එසේ නොවුවහොත් මේ කාර්යය ඒ තරම් පහසු වන්නේ නැහැ. බදු ආදායම් වල යම් ඉහළ යාමක් සිදු විය හැකි වුවත්, එය එසේ නොවන්නේනම් ප්‍රතිඵලය විය හැක්කේ සාමාන්‍යයෙන් කැපිය නොහැකි වියදම් ද කපන්නට සිදු වීමයි. අරමුදල් නැතිකමින් මැතිවරණ ක්‍රියාදාමය පවා අඩපණ වී ඇති පසුබිමක, රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වුව ද අපේක්ෂිත පරිදි නොලැබුණහොත් එය පුදුමයක් නෙමෙයි.
~ ඉකොනොමැට්ටා
RN