Home පුවත් ක්‍රී​ඩා ශ්‍රී ලංකාවට ජයග්‍රහණයට මද විරාමයක් – සිම්බාබ්වේට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාවට ජයග්‍රහණයට මද විරාමයක් – සිම්බාබ්වේට විශිෂ්ට ජයක්

0
11

නිශ්මං රණසිංහ පෙබරවාරි 19, කොළඹ LNW:

ශ්‍රී ලංකාව මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු පරාජය ලැබුවේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුලු හයකින් ය.ජයග්‍රහණයේදී සතුටු වන්නට සිටින පිරිස මෙන් විශාල ගණනාවක් මේ පරාජය බෙදා ගන්නට එන්නේ නැත.ඒ ක්‍රීඩාමය සංස්කෘතියක් නැති රටක සාමාන්‍ය තත්ත්වයය.පෙර තරග ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාව නියෝජනය කරන මේ කණ්ඩායමම දයැයි සිතා ගන්නට බැරි තරමට විවිධ චෝදනා මුඛයෙන් කතා පතුරුවන සමාජ මාධ්‍ය ක්‍රීඩා විචාරකයින් මහේෂ් තීක්ෂණ ඇහේ සිට පට්ට ගැසීමට පවා යෝජනා කරමින් සිටියි.


ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට වීසිවන බව කී ලොන්තයන් යැයි නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන පෙබරවාරි 9 වන දා අප කීවේ මේ තරගාවලියේ සිටින නිදාගත් යක්ෂයින් දෙපළ කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව බවය.හෙටටත් ඒ අදහස වලංගුය.ඒ වලංගුභාවය සහතික කිරීම වෙනුවෙන් පෙබරවාරි 22 වන දා සිට නැවත ක්‍රියාත්මක වීමට මේ පරාජය පසෙකලා කටයුතු කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම නැවත සංවිධානය විය යුතුව ඇත.ඊට පෙර මේ පරාජය ලද මද විරාමයක් ලෙස අරුත් ගන්වා ගෙන නැවත ජයග්‍රහණය වෙනුවෙන් පරිපූර්ණත්වයට පත්වීම වැදගත්ය.


අද තරගයේදී පෞද්ගලිකව කණ්ඩායමට හානි සිඳු කළ ක්‍රීඩකයින් සිටින බව අපෙත් අදහසය.ඒ අතරින් සිම්බාබ්වේ කණ්ඩායමේ නැංගුරම වූ පන්දු 48 න් ලකුණු 63 ක් නොදැවී ලැබූ බ්‍රයන් බෙනට් දවා ගැනීමට තිබුණු අවස්ථා දෙක මඟ හැරීම ප්‍රධානය.ඩිල්ෂාන් මධුශංකට ඔහුව දුවද්දී දවා ගැනීමට ලැබුණු අවස්ථාවේ පන්දුව කඩුල්ලට එල්ල කිරීමට නොහැකි විය.එසේම අපහසු වුව ද,කුසල් ජනිත් පෙරේරා ට එම උඩ පන්දුව රැක ගැනීමට නොහැකි එකක් නොවේය.ජයග්‍රහණය වෙනුවෙන් අපහසු දේවල් සාර්ථක කර ගත යුතුමය.


දුශ්මන්ත චමීර විවේක ගැන්වීම වරදක් හැටියට ගත නොහැකිය.ඔහු මේ වන විටත් සංචිතයට තෝරා ගෙන සිටි මද වේග පන්දු යවන්නන් දෙදෙනෙකුගේම අනුප්‍රාප්තිකයන් කණ්ඩායමේ සිටින තත්ත්වයක චමීරගේ සෞඛ්‍යාරක්ෂාව ගැන සිතීම සුපිරි අට වටය වෙනුවෙන් ගත් හොඳ තීරණයක්ය.එසේ විවේක ගන්වා අනුල්‍රාප්තික යුගලය වන ප්‍රමෝද් මධුශාන් සහ ඩිල්ෂාන් මධුශංක කන්ඩායමට කැඳවීම හරහා තවත් ගැටළුවක් විඳා ගන්නට ද ලැබිණ.ඒ දෙදෙනාාගෙන් වඩා හොඳ කවුරුන්ද යන්නය.මධුශංක හොඳින් පන්දු යැවූ අතර මධුශාන් අසාර්ථක විය.එසේම පන්දු රැකිමේදී ද ඔහු විසින් වැඩිම වුවහොත් එක ලකුණක් ලබා ගැනීමට ඉඩ තිබුණු පහරවල් දෙකක් හතරේ සීමාව කරා යැවීමට දුර්වල පන්දු රැකීමෙන් දායක විය.


දසුන් ශානක දුශාන් හේමන්තගේ 19 වන ඕවරයේ සාර්ථකත්වය මත 20 වන ඕවරයට මහේෂ් තීක්ෂන කැඳවන්නට තීරණය කළේ ඇයි කියන ගැටළුවට සරලම පිළිතුරු ලෙස 19 වන පන්දු ඕවරය දුශාන් විසින් සාර්ථක ලෙස යවමින් කඩුලු 2 ක් ද දවා ගැනීම ගත හැකිය.සමහර විට ඒ ගැන පිටතින් ද යෝජනා වෙන්නත් ඇත.තීක්ෂණට ඇති අත්දැකීම් සමඟ 19 වන ඕවරය යැවූ දුශාන්ගේ සාර්ථකත්වය ද පදනම් කරගෙන කැඳ වූ තීක්ෂණට පැවරුණු වගකීම අතුරේ යනවා වගෙ වැඩක්ය.සියලු ශිල්ප නොදැන අතුරට ගොඩ වුණොත් වන්නේ බිම පතිත වන්නටය.


කෙසේ නමුත් කාලයක් තිස්සේ කණ්ඩායමේ නිත්‍ය සාමාජිකත්වය පවා ප්‍රශ්නකාරී වෙමින් තිබෙන තීක්ෂණ මත ඒ වගකීම පටවනනේ නැතුව තමන්ම හෝ ඩිල්ෂාන් මධුශංක දඟ පන්දු යවන්නන් නොවුණත් අවසාන ඕවරය යැවීම සඳහා යොදා ගන්නට දසුන් ශානකට තිබිණ.මේ තරගයේදීම මහේෂ් තීක්ෂණ කළ පන්දු යැවීම සහ මෑතකාලීන සාර්ථකත්වය සිතීම වෙනුවට,දසුන් කල්පනා කළේ ඔහුගේ පරිනතකම සහ 19 වන පන්දු ඕවරයේ දුශාන් හේමන්ත සාර්ථක වීම විය යුතුය.අද ඔහුගේ සිතීම නිවැරදි වූවානම් මේ විවේචනය නො‘එන අතර එසේත් නොවී ඔහු හෝ ඩිල්ෂාන් පැමිණ,තීක්ෂණට එල්ල වූ හයේ පහර එල්ල වූයේ නම් ඔහුට විරුද්ධව 19 වන ඕවරය යැවූ දුෂාන්ගේ සාර්ථකත්වය නොසළකා හැරීම ගැන දසුන් විවේචනයට ලක් කිරීම සිඳුවෙනු නිසැකය .


එහෙත් මේ පරාජයේ යම් වගකීමක් පිතිකරණය තුළ ද තිබිය යුතුය.විශේෂයෙන් කුසල් මෙණ්ඩිස්ගේ දැවී යාම විවේචනය නොකළ යුතු වුව ද,ඔහු මේ තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමේ බ්‍රයන් බෙනට් ගේ නැංගුරම් භූමිකාව කළ ක්‍රීඩකයාය.පන්දු 26 න් ලකුණු 46 ක් ලැබූ සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා ඉණිම ගොඩ නැඟූ ආකාරය පාඩමක් බඳුය.ඉතා සෙමින් ආරම්භ කළ ඔහුගේ ප්‍රහාරය සඳහා වනවිශ්වාසය ඇති කරගන්නේ දුෂාන් හේමන්තගේ කෙටි පන්දුවකට එල්ල කරන දැවන්ත හයේ පහරක් ද සමඟය.එතැන් සිට ඔශු හයේ පහර 4 ක් එල්ල කරන්නේය.


රාසාගේ ප්‍රහාරාත්මක සාමාන්‍ය්‍ය ලකුණු 173 ඉක්මවද්දී,පවන් රත්නායකගේ ප්‍රහාරක වේගය 176 ක් විය.පන්දු 25 දී ලකුණු 44 කි.පවන් රාසාට වඩා වෙනස් වන්නේ ඒ තරම් හයේ පහර සඳහා හැකියාව නැතත් නිලකුණු පන්දු අඩු කර ගනිමින් කඩුලු අතර වේගයෙන් දුවමින් ලකුණු එකතු කරන නිසා ය.මේ හැකියාව සහ උවමනාව භාවිතයට ගැනීමට සෙසු පිතිකරුවන් ද කල්පනා කළානම් ශ්‍රී ලංකාවේ ලකුණු පූවරුවට අඩුම තරමේ තවත් ලකුණු 10 – 15 ක් එක්වන්නට තිබිණ.පවන්ගේ දැවී යාමෙන් ඉනික්බිති පැමිණි දුෂාන් හේමන්ත හයේ පහරක් එල්ල කරන්නට යාමෙන් දැවී ගොස් ඇති කළ පීඩනය හමුවේ වුව අවසාන පන්දු ඕවරය තුළ මුසර්බානි ට එරෙහිව වෙල්ලාලගේ ලකුණු 14 ක් එක් නොකරන්නට ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 178 ක් ද නොවන්න තිබිණ.


එසේම තරගය තුළ තිබුණු තත්ත්වය නරක එකක් නොවී තිබියදී ත්,කමිඳු මෙණ්ඩිස් සහ දසුන් ශානක දැවී යාම සඳහා මුහුණ දුන් ආකාරය ගැන සෑහීමකට පත්වීම අපහසුය.කෙසේ නමුත් පැතුම් නිශ්ශංක ලකුණු අතරට පැමිණෙමින් සුපිරි අට වටයට ශ්‍රී ලංකාව මුහුණ දීම වැදගත්ය.ඔහු ශ්‍රී ලංකාවේ ලකුණු 178 ක් වූ ලකුණු පූවරුවේ ලකුණු 62 ක හිමිකාරයා වූයේ පන්දු 41 දී ය.
කෙසේ නමුත් සිම්බාබ්වේ කණ්ඩායම සුළුවෙන් ගත නොහැකිය.ඔවුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ගෙදර යැවීමට අදාළ වූ පළමු පරාජය අත් කර දුන් කණ්ඩායමය.ලෝක කුසලානය ජය ගනු ඇතැයි කල්පනා කළ කණ්ඩායම් අතර ඉදරියෙන්ම සිටි ඔස්ට්‍රේලියාව ගෙදර යැවීමට ශ්‍රී ලංකාව තරමටම සිම්බාබ්වේ දස්කම් ද බලපෑවේය.එසේම ලොව සිටින සුපිරිතම විස්සයි විස්ස ක්‍රීඩා පෞරුෂ අතර සිකන්දර් රාසා අද්වීතීය චරිතයකි.මේ තරගයේදී ද ඔහුට එම අනන්‍යතාවය රැක ගැනීමට බාධා කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි වීම පරාජයේ හේතුව වූ බවට සාක්ෂිය තරගයේ වීරයා ඔහු වීමය.


ඒ නිසා සිම්බාබ්වේ කණ්ඩායමෙන් පරාජය වීම යනු නොවිය යුතු සාපරාධි පරාජයක් ලෙස සිතන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ද සිම්බාබ්වේ රටට විනාශය කැඳ වූ මුගාබේ ගේ දේශපාලන කඳවුරට හැම අතින්ම සුදුසු පිරිසකි.ලංකාවේ ප්‍රේක්ෂක හැසිරීම මේ වන විට යම් ආකාරයකින් අප විසින් මුග්ධ සහ ත්‍රාඩ ලේබලය ගැසූ ඉන්දියාවේ ප්‍රේක්ෂකයාට අන්ත තත්ත්වයට ඇඳ වැටෙමින් ඇත.ඔවුන් ලොව සිිටින හොඳම විස්සයි විස්ස ප්‍රහාරකයා ලෙස අරුත් ගන්වමින් සිටින අභිෂේක් ෂර්මා මේ තරගාවලියේ මුහුණ දුන් තරග තුනේදීම ලකුණු නොලබා දැවී යාම ගැන ඉන්දීය තේරීම් කමිටුව,ක්‍රිකට් පරිපාලනය ආදී කණ්ඩායම්වල සිට සම්බන්ධ සියල්ල විවේචනය කරමින් නැත.


පරදින්නට බැරි ක්‍රීඩාවක් තිබිය යුතු රටක් හැටියට වරදින හැම තත්පරයේම අසීමිත ලෙස ගැරහීමට ලක් කරන අසංස්කෘතික සමාජයක් ක්‍රිකට් වටා නිර්මාණය වී තිබීම ද ක්‍රිකට් හී පරිහානි ලක්ෂණයක් බව ඊට දායකවන්නන් සිතිය යුතුව ඇත.ක්‍රිකට් පවතින වපසරිය තුළ පවතින පාලනයට වැඩි කැමත්තක් ඇති අතර එහි බලය ලබා ගැනීමට නොහැකි කණ්ඩායම් එහි පිටත කෘතිමව මවන විරෝධය සමාජය තුළ වපුරා ඇත.එය ක්‍රීඩා පිටියට පැමිණ අවමාන කිරීම දක්වාම පුළුල් කරමින් ක්‍රීඩකයාගේ විවේචනයේ සිට ක්‍රිකට් පවතින වපසරිය ඇතුළේ නැති බලය අත්පත් කර ගැනීමට දේශපාලනික තල්ලුවකට පෙළඹවීම සිඳු කරමින් ඇත.


මේ ඇති කරමින් තිබෙන සංස්කෘතිය බලය අත්පත් කර ගැනීම සඳහා කරනු ලබන ව්‍යායාමයක් වන්නා සේ ම,බලය විනාශ කිරීමට දරණ වැරදි මාර්ගයක් ද වන්නේය.ඒ නිසා අත්පත් කර ගැනිමේ උවමනාව විසින් කාට වුව පැවත්මක් නැති විනාශකාරී විවේචනයකට ඇති අතාර්කික ඉඩ ස්ථාපිත කිරීම බලය පවත්වා ගැනීමේ දුශ්කරතාවයක් ලෙස කාට වුව අනිසි බලපෑම්වලට මුහුණ දෙන්නට වන තත්ත්වයකි.රජයක් ආණ්ඩුවක් ලෙස දිනා ගැනීමට භාවිතා කරන විවේචන රජයකට ඇති වගකීම සහ උවමනාව තේරුම් නොගෙන සිඳු කරන විපක්ෂයකට ආණ්ඩුවට පැමිණ පසු මුහුණ දෙන්නට වන දුෂ්කරතාවය නොසළකා කිරිමෙන් අත්වන ඉරණම පැහැදිළි කර ගැනීම වැදගත් වන්නා සේම මේ ඇති කර තිබෙන තත්ත්වය දීර්ඝ කාලයක් ක්‍රිකට් පරිපාලනය කවුුරුන් කළ ද,එයට අනවශ්‍යය බලපෑමක් භාහිරෙන් ඇති කරන තත්ත්වයක් වනු ඇත.


ජය පරාජය සම සිතින් විඳ ගැනිමට අපහසු එක පරාජයකින් ජයග්‍රහණ සියල්ල අළු කර දැමෙන මානසිකත්වයක් සහිත ක්‍රිකට් රසිකයෙතු නිර්මාණය කිරීමේ ආදීනව මොහොතකට සීමා නොවුණු ක්‍රීඩකයාට සාමාන්‍ය සමාජයට පිවිසීම දුශ්කර කරන තත්ත්වයක් තුළ ක්‍රිකට් ආදරය ඇති කරන ක්‍රීඩකයන් නිර්මාණය විම වගේම ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පොළඹවන සමාජ උවමනාවද හැකිලී යාමේ අවදානමක් නැඟෙනු ඇත.
සිම්බාබ්වේ පරාජය ඇතුළේ සමාජ හැසිරිම කියන කාරණය ගැඹුරින් තමන් සමඟම කියවා ගැනීමට ආරාධනා කරන අතරේ පහතින් සිම්බාබ්වේ – ශ්‍රී ලංකා තරගයේ සංක්ෂිප්ත දත්ත වෙත පිවිසෙන්නට ඇරයුම් කරන්නෙමු.
https://bit.ly/4s3QtbN