මෙවර ගල් අඟුරු ටෙන්ඩරයෙන් පසු මෙරටට පැමිණි පළමු ගල් අඟුරු නැව් 8හි බාල ගල් අඟුරු අන්තර්ගත වීම හරහා රුපියල් මිලියන 7672.1ක අතිදැවැන්ත පාඩුවක් සිදුව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
“ආපු පළවෙනි ගල් අඟුරු නැව් 8 ඇතුළෙ බාල ගල් අඟුරු අන්තර්ගත වීම නිසා රුපියල් මිලියන 7672.1ක, දළ වශයෙන් ගත්තොත් රුපියල් කෝටි 767ක අතිදැවැන්ත අලාභයක් වෙලා තිබෙනවා. දෙවැනි නැවේ, තුන්වැනි නැවේ, හතරවෙනි නැවේ ගල් අඟුරු බාලයි කියලා දැනගන්න එක නවත්වන්න රසායනාගාර වාර්තා ජනතාවට ලැබෙන එක නවත්වලා තිබුණා. වගේම ‘බාල වුණත් මේකෙන් පාඩුවක් වෙන්නෙ නෑ’ වගේ තකතීරු කතා කියන්නත් එපා, මේ රටේ ජීවත් වෙන්නෙ මෝඩයෝ නෙවෙයි. මිනිස්සු පොලට ගිහිල්ලා බණ්ඩක්කා ගත්තත් නැට්ට කඩලා බලලා ගන්නෙ, මිනිස්සු දන්නවා මෝරපු බණ්ඩක්කා හම්බුණොත් තමන්ට පාඩුයි කියන එක. අපි දැක්කා අර මන්ත්‍රීවරියක් කියනවා ‘මේවා මේ පොළවෙන් හාරලානෙ ගන්නෙ, එතකොට මේ හරියටම ප්‍රමිතියක් කියන්න බෑ, කොහොමත් කොලිටි බාලවීම් තියෙන්න පුළුවන්’ කියලා. එහෙනම් ඉතින් මැණිකුත් පොළව හාරලානෙ ගන්නෙ … දැන් නැව් 8ක් කොලිටි බාලවෙලා තියෙනවා, තවම ටෙන්ඩරය අවලංගු කළේ නෑ. දැන් නීතිපති උපදෙස් අහනවා මේකට මොකද කරන්නෙ කියලා. ලෝක වෙළඳපොලේ ඩොලර් 70 ට ගන්න පුළුවන් ගල් අඟුරු මෙට්‍රික් ටොන් එක ඩොලර් 98.50කට අරන් තියෙන්නෙ. ඒ මුළු මුදල සම්පූර්ණයෙන්ම සමාගමද ගත්තෙ , නැත්නම් කාටකාට හරි බෙදිලා ගියාද ?”
පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


