මාධ්‍ය මර්දනය නවතනු. භාෂණයේ නිදහස තහවුරු කරනු ! – සජිත් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය (VIDEO)

0
275

වත්මන් රජය යටතේ සිදුවෙමින් පවතින මාධ්‍ය මර්දනය වහාම නැවැත්විය යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම සහතික කර ඇති භාෂණයේ නිදහස තහවුරු කළයුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

පසුගිය සමය තුළ ලේක්හවුස් මාධ්‍යවේදී මධුක තක්සලට පහරදීම, සමාජ මාධ්‍ය ක්‍රියාකාරික රම්සි රාසික් අත් අඩංගුවට ගැනීම, චතුරංග අල්විස් අත් අඩංගුවට ගැනීම, අහ්නෆ් ජාසීම් කවියා අත් අඩංගුවට ගැනිම, චිරන්ත අමරසිංහ, සුදත්ත තිලකසිරි, කීර්ති රත්නායක, අසේල සම්පත්, ෂෙහාන් මාලක, මනෝරම වීරසිංහ වැනි සමාජ ක්‍රියාකාරීන් රහස් පොලිසියට කැඳවීම වැනි සිදුවීම් සිහිපත් කළ ඒ මහතා එවන් තර්ජනයන්ට ලක්වූ මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරිකයින්ගේ ලැයිස්තුවක් ද පාර්ලිමේන්තුවෙහි සභාගත කළේය.

මීට අමතරව උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන්ට, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්ට සහ වෙබ් අඩවි ක්‍රියාකරුවන්ට බරපතළ තර්ජන ඇති බවට පැමිණිලි රාශියක් ද ලැබී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුව වෘත්තීය සමිති නායකයින්ගේ අදහස් ද විවිධාකරයෙන් මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් පෙන්වා දුන්නේය.

එමෙන්ම සමාජ මාධ්‍ය ජාල පාලනය කිරීම සඳහා නව නීති පැනවිය යුතු බවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මෑතක සිට නොයෙක් වර ප්‍රකාශ කර ඇති බවත් සඳහන් කළ ඒ මහතා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මෙවැනි දෑ සිදු නොවිය යුතු බවත් අවධාරණය කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here