පෞද්ගලික අංශයට බැනලා වැඩක් නෑ. වී මිල ප්‍රශ්නයට උත්තර හොයන්න තව අවුරුදු දෙකක්වත් යනවා – ඇමති ලාල්

0
4

සටහන – රුවන් නෙළුගොල්ල

වී මිල අඩුවීමේ ප්‍රශ්නය මේ කන්නයේම විසඳීමට හැකියාවක් නොමැති බවත් එම ප්‍රශ්නයට විසඳුම් සෙවීමට වසර දෙකක් පමණ ගතවනු ඇති බවත් කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම් හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ප්‍රශ්නය – වී වලට මිලක් නැහැ කියලා ගොවීන් චෝදනා කරනවා. මොකක්ද වෙන්නෙ ඇමතිතුමා ?

“ඔව්, ඒකෙ ඇත්තකුත් තියෙනවා බොරුවකුත් තියෙනවා. ඒ කියන්නෙ අපි වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්න වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා, ඒක ලංකාවේ ප්‍රමාණවත් මදි. අපි ඒක පිළිගන්නවා. වී අලෙවි මණ්ඩලය ප්‍රකාශයට පත්කරලා තියෙන මිල ප්‍රමාණවත්. නමුත් වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නෙ වියළි වී. ඒ ප්‍රමිතියකට අනුව තමයි මිලදී ගන්නෙ, නැත්නම් ගබඩා කරගන්න බැහැ. වී අලෙවි මණ්ඩලයට තවම අර දීර්ඝ කාලීනව ගබඩා කරගන්න සයිලෝ නැහැ. ප්‍රධාන ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නෙ මේ කාලගුණයේ ඇතිවෙන තත්වයන් එක්ක ගොවීන්ට වුණත් වී වේලලා ලබාදීමේ හැකියාවක් දැන් නැහැ. එතකොට තෙත වී එනවා. කපපු ගමන් ගෙනල්ලා දෙනවා. තෙත වී මිලදී ගැනීමේ හැකියාව වී අලෙවි මණ්ඩලයට නැති නිසා, වී නිෂ්පාදනය විශාල වශයෙන් එකවැර එන නිසා පෞද්ගලික අංශය අර තෙත වී ගන්නවා අඩු මිලට. ඒකෙ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ වෙනකොට රුපියල් 80 – 85 වගේ යනවා. සමහර පැතිවල උතුරු නැගෙනහිර ප්‍රදේශවල එහෙම 75ට වගෙත් යනවා. එතකොට ගොවීන්ට පාඩුයි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේකට අපිට උත්තර හොයන්න තව අවුරුද්දක් දෙකක් යනවා. ඒකත් අපි කෙළින්ම අවංකව කියන්න ඕනෙ. මේ කන්නෙම විසඳන්න බැහැ. මේකට තියෙන උත්තරය තමයි තමන් නිෂ්පාදනය කරන වී ටික තමන් වේලාගෙන තමන්ටම කෙටි කාලයක් හෝ ගබඩා කරගැනීමට හැකියාවක් ඇතිවෙන තත්වයට ගොවියාව පත්කරන්න ඕනෙ. වී වේලාගැනීමේ යන්ත්‍ර දැන් තිබෙනවා. ඒවා ලබාදෙන්න ඕනෙ. එක්කෝ රජය ලබාදෙන්න ඕනෙ, ඒගොල්ලො එක්කෝ බැංකු ණය ක්‍රමවේදයකට යන්න අපි ඒවාට පහසුකම් සපයන්න ඕනෙ. ගොවියොත් උනන්දු වෙන්න ඕනෙ. තමන් නිෂ්පාදනය කරන එක වේලාගෙන තියාගෙන … දැන් අර ඉස්සර වගේ කමත්වල වේලන්න බැහැ, ඒ ක්‍රමය ගිහිල්ලා තියෙන්නෙ. නමුත් යන්ත්‍ර සූත්‍ර තිබෙනවා, බැහැයි තවම ගොවීන් සතුව ඒවා නැහැ. වැඩසටහනක් අපි නිර්මාණය කරමින් තිබෙනවා ගොවීන්ටම වී වේලාගෙන යම්කිසි ටික කාලයක් හෝ ගබඩා කිරීමට හැකිවන පරිදි වැඩ සකස් කරන්න. ගොවීන්ට වගකීමක් තිබෙනවා තමන්ගෙ වී ටික යම් කාලයක් තියාගෙන දෙන තැනට පත්කරගන්න. කපන ගමන්ම දෙන්න සිද්ධ වුණාම පෞද්ගලික අංශය හොයන්නෙ ලාබනෙ. ඒක පෞද්ගලික අංශයේ හැටි. ඒගොල්ලන්ට අපි දොස් කිව්වාට වැඩක් නැහැ. අපිට පෞද්ගලික අංශයෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා, ඒගොල්ලො දන්නවා වී කිලෝ එකක් නිර්මාණය කරන්න කොච්චර මුදලක් යනවාද කියලා, ඒ මුදලට සරිලන විදියට යම් ලාබයකුත් තියාගෙන ගොවීන්ගෙන් වී මිලදී ගන්න වගකීමක් ඒ මිලදී ගන්න අයට තියෙනවා පුරවැසියන් හැටියට. එහෙම නැත්නම් ඒගොල්ලො අසාධාරණයක් කරලා හම්බ කරගත්ත මිනිස්සු බවට පත්වෙනවා”

කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.