අපි කලින් කතා කර තිබෙන, දන්න දේවල් වලින් පටන් ගත්තොත්, IMF අරමුදල් ලබා ගැනීම සඳහා දැනට තිබෙන එකම බාධාව චීනයයි. තව පොඩි පොඩි බාධා තිබිය හැකි වුනත් චීනය පැත්තෙන් තිබෙන බාධාව හා සැසඳූ විට ඒවා බාධා නෙමෙයි.
අරමුදලේ සල්ලි ලබා ගැනීම පිණිස ලංකාවේ රජය හා මහ බැංකුව විසින් ගොඩක් දේවල් කළා. මහ බැංකුව විසින් සල්ලි අච්චු ගහන එක නවත්වලා පොලී අනුපාතික ඉහළින් තියා ගත්තා. සල්ලි අච්චු ගැසිය නොහැකි තත්ත්වයක් තුළ රජය විසින් බදු, විදුලි ගාස්තු, ඉන්ධන ගාස්තු වැඩි කළා. වර්තන වියදම් දැඩි ලෙස සීමා කළා. මේ එකක්වත් ජනප්‍රිය තීරණ නෙමෙයි. ඔය හැම දෙයකින්ම වුනේ ජනතාව පීඩාවට පත් වෙන එක බව ඉතාම පැහැදිලි දෙයක්. එහෙම තත්ත්වයක් තුළ මේ දේවල් කරන්න සිදු වුනේ වෙන යා හැකි මගක් නැති නිසා.
අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවය පරිදි අදාළ, කළ යුතු දේවල් දේවල් කිරීමෙන් පසුව, චීනය හැර අනෙක් ණයහිමියන් විසින් අරමුදලේ සල්ලි නිදහස් කිරීම සඳහා අනුමැතිය ලැබෙන පරිදි තමන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැමැත්ත ලබා දී තිබෙනවා. එහෙත් චීනයේ කැමැත්ත තවමත් ලැබී නැහැ.
මේ තත්ත්වය තුළ අරමුදලේ සල්ලි නැතිව ලංකාවට ලොකු කාලයක් ඇදගෙන යන්නත් බැහැ. මේ බාධාව හමුවේ අරමුදල විසින් ලංකාවට අලුත් පාරක් පෙන්නා තිබෙනවා. ඒ චීනය අතහැර, චීනය මගහැර ඉදිරියට යාමයි.
මෙතෙක් කතාව ඕකයි. මේ අනුව, දැන් ලංකාව දෙමං හන්දියකට ඇවිත් තිබෙනවා. හන්දියෙන් පාර බෙදුණත් ඒ විදිහට බෙදී යන පාරවල් දෙකම අවසාන වශයෙන් යන්නේ අරමුදල වෙතයි.
- චීන පාර – මේ පාරේ යන්නනම් චීනයේ කැමැත්ත අවශ්‍යයි. ගේට්ටුව අරින යතුර තියෙන්නේ චීන ගේට්ටුපල්ලා ළඟ.
- චීනය නැති පාර – මේ පාරේ යනවානම් නිකම්ම ගේට්ටුව තල්ලු කරගෙන යන්න පුළුවන්. ගේට්ටුව ළඟ ගේට්ටුපල්ලෙක් නැහැ.
බැලූ බැල්මටම පේන්නේ ඉහත දෙවැනි පාර වඩා පහසු, ලේසි පාරක් බවයි. නමුත්, ඇත්තටම ඒක එහෙම නැහැ. එය ඉතාම භයානක පාරක්. මගේ අදහස අවසාන වශයෙන් ලංකාව පළමු පාරේම යයි කියන එකයි. හැබැයි චීන ගේට්ටුව ඇරෙන එක පහුවෙන තරමට ලංකාවට දෙවන පාරට හැරෙන්න වෙන අවදානම ටිකෙන් ටික ඉහළ යනවා. මොකද ඔය පාරවල් දෙකෙන් එකකවත් නොයා දැන් ඉන්න තැන වැඩි කාලයක් ඉන්න බැහැ.
පළමු පාරේ යන්න චීනය විසින් අවස්ථාව නොදෙන්නේ ඇයි?
මේ පාරේ යන්න චීනය විසින් ලංකාවට පහසුවෙන්ම අවස්ථාව දෙනවා කියන්නේ චීනය පැත්තෙන් ලොකු මිලක් ගෙවන්න සිදු වෙන වැඩක්. මොකද ලංකාවට දෙන සහනයක් පසුකාලීනව තවත් රටවල් වලට දෙන්න චීනයට සිදු වෙනවා. එහෙම දිගටම සහන දෙන එක චීනයේ දිගුකාලීන ආර්ථික හා භූ දේශපාලනික උපාය මාර්ගයට බාධාවක්.
චීනය විසින් කාලයක සිටම කරමින් සිටින්නේ සංවර්ධිත ලෝකය තුළ වගේම සංවර්ධනය වෙමින් පවතින රටවල් වලත් චීන වෙළඳපොළ පුළුල් කර ගැනීමක්.
පෙර යූටියුබ් වීඩියෝවක පෙන්වා ඇති පරිදි, 2005-2021කාලය තුළ චීන ආනයන වෙනුවෙන් ලංකාව වැය කර ඇති මුදල ඩොලර් මිලියන 45,072ක්. නමුත්, එම කාලය තුළ චීනය විසින් ලංකාවේ ලංකාවේ අපනයන වෙනුවෙන් ගෙවා ඇති මුදල ඩොලර් මිලියන 2,545ක් පමණයි. ඒ අනුව, මෙම කාලය තුළ ශුද්ධ වශයෙන් ලංකාවෙන් චීනයට ගොස් ඇති විදේශ විණිමය ප්‍රමාණය ඩොලර් මිලියන 42,527ක්.
රටකට මේ තරම්ම අවාසිදායක වෙළඳ හිඟයක් දිගින් දිගටම පවත්වාගෙන යන්නනම් ඒ රටට කොහෙන් හෝ විදේශ විණිමය එන ක්‍රමයකුත් තිබිය යුතුයි. එහෙම නැත්නම් ආනයන සිදුවෙන්න ක්‍රමයක් නැහැ.
චීනය සමඟ ලංකාවේ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය විශාල ලෙස ඉහළ ගියේ 2010 වසරින් පසුවයි. සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව ලංකාවේ වෙළඳ ශේෂ හිඟය විශාල ලෙස ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම දායක වුනේ ලංකාව හා චීනය අතර ද්විපාර්ශ්වික වෙළඳාමයි. 2010-2021 වසර දහය සැලකුවොත් ලංකාවේ වෙළඳ ශේෂ පරතරය පුළුල් වීමට 100%ක්ම දායක වී තිබෙන්නේ චීනය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ශේෂ පරතරය විශාල ලෙස පුළුල් වීමයි.
සාමාන්‍ය ව්‍යවහාරය අනුව ද්විපාර්ශ්වික වෙළඳාම කියා කිවුවත්, සංඛ්‍යාලේඛණ දෙස බැලු විට පැහැදිලිව පෙනෙන්නේ චීනය සමඟ ලංකාව කරන වෙළඳාම බොහෝ දුරට ඒකපාර්ශ්වික වෙළඳාමක් බවයි. චීනයට සිදු කෙරෙන ලංකාවේ අපනයන චීන ආනයන වලින් 6%ක් පමණයි. ඉතිරි 94%ම වෙනත් ක්‍රමයකින් උපයන හෝ ණයට ගන්නා විදේශ විණිමය.
වර්ෂය – 2010
චීන ආනයන – ඩොලර් මිලියන 1,240
අපනයන – ඩොලර් මිලියන 72 (6%)
ද්විපාර්ශ්වික වෙළඳ හිඟය – ඩොලර් මිලියන 1,168 (94%)
වර්ෂය – 2021
චීන ආනයන – ඩොලර් මිලියන 4,756
අපනයන – ඩොලර් මිලියන 277 (6%)
ද්විපාර්ශ්වික වෙළඳ හිඟය – ඩොලර් මිලියන 4,479 (94%)
2010-2021 අතර චීනය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය වැඩිවීම – ඩොලර් මිලියන 3,311
වර්ෂය – 2010
සමස්ත ආනයන – ඩොලර් මිලියන 13,451
අපනයන – ඩොලර් මිලියන 8,626
සමස්ත වෙළඳ හිඟය – ඩොලර් මිලියන 4,825
වර්ෂය – 2021
සමස්ත ආනයන – ඩොලර් මිලියන 20,637
අපනයන – ඩොලර් මිලියන 12,499
සමස්ත වෙළඳ හිඟය – ඩොලර් මිලියන 8,139
2010-2021 අතර සමස්ත වෙළඳ හිඟය වැඩිවීම – ඩොලර් මිලියන 3,314
ඉහත සංඛ්‍යාලේඛණ දෙස බැලූ විට කතාව අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ. ජාත්‍යන්තර වෙළඳාම තුළ ලංකාවේ වෙළඳ ශේෂය සෘණ පැත්තේ තිබීම අලුත් දෙයක් නෙමෙයි. රටවල් අතර ද්විපාර්ශ්වික වෙළඳ ශේෂයන් පැවතීම අසාමාන්‍ය දෙයකුත් නෙමෙයි. නමුත්, 2004-2014 කාලය තුළ ලංකාවේ වෙළඳ ශේෂය ඩොලර් මිලියන 2,242 සිට ඩොලර් මිලියන 8,287 දක්වා ඉහළ යාම නිදහසින් පසු ලංකාවේ ආර්ථික ඉතිහාසය සැලකූ විට සාපේක්ෂව අලුත් තත්ත්වයක්. මේ අලුත් වැඩිවීම තුළ චීනය සමඟ කළ වෙළඳාමේ බලපෑම කැපී පෙනෙනවා.
විදේශ ණය ගැනීම ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. නමුත් චීනයෙන් ණය ගැනීම සාපේක්ෂව අලුත් දෙයක්. 2006දී චීන ණය ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණයෙන් 0.46%ක් පමණයි. ද්විපාර්ශ්වික ණය වලින් 1.1%ක් පමණයි. මේ වෙද්දී ද්විපාර්ශ්වික ණය වලින් 43.3%ක් සහ සමස්ත ණය ප්‍රමාණයෙන් අඩුම වශයෙන් 20%ක් පමණ චීන ණයයි. මේ අනුව, චීන ණය ඉහළ යාම හා චීනය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය ඉහළ යාම අතර සම්බන්ධය පැහැදිලිව දක ගත හැකියි.
චීනය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය ඉහළ යාම සමස්ත වෙළඳ හිඟය ඉහළ යාමට දායක වූ අයුරින්ම, චීන ණය රටේ සමස්ත විදේශ ණය ඉහළ යාමට විශාල ලෙස දායක වී තිබෙනවා. සහනදායී නොවන ව්‍යාපෘති ණය හා වාණිජ ණය ස්වෛරිත්ව බැඳුම්කර වලට වඩා භයානකයි.
ස්වෛරිත්ව බැඳුම්කර මගින් එකතු කර ගන්නා විදේශ විණිමය පරණ ණය හා පොලී ආපසු ගෙවීම වෙනුවෙන් යොදා ගත හැකියි. එහෙත්, ව්‍යාපෘති ණය හා වාණිජ ණය අදාළ කර්තව්‍යය වෙනුවෙන්ම යොදා ගත යුතු නිසා බොහෝ විට සිදුවන්නේ එම විදේශ විණිමය නැවත ණය දුන් රටටම ආපසු යාමයි.
මෙහි අවසාන ප්‍රතිඵලය ලෙස රටේ විදේශ ණය ඉහළ යාම නොවැලැක්විය හැකියි. ස්වෛරිත්ව බැඳුම්කර මගින් එකතු කර ගන්නා විදේශ විණිමය වුවද, වෙළඳපොළේ විකුණා රුපියල් කර රජයේ අයවැය හිඟය පියවීම පිණිස වැය කරන්නේනම් අවසාන වශයෙන් සිදු වන්නේ එම විදේශ විණිමය ප්‍රමාණය ආනයන වියදම් ලෙස රටින් පිටව ගොස් වෙළඳ හිඟය පුළුල් වීමයි.
චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවට චීන ණය ආපසු ගෙවීම සඳහා තව තවත් ණය දීමට චීනය කැමැත්තෙන්ම ඉදිරිපත් වීම තේරුම් ගන්න අපහසු නැහැ. තවතවත් ණය දීම මගින් චීනයට ද්විපාර්ශ්වික වෙළඳාමේ වාසිය දිගටම පවත්වා ගන්න පුළුවන්. යෝජිත ස්ථායිකරණ වැඩ පිළිවෙළ තුළ දිගුකාලීනව සිදුවීමට නියමිතව තිබෙන්නේ චීනය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය තවතවත් පුළුල් වීම නැවතීමයි. ඇතැම් විට වෙළඳ හිඟය අඩු වීමයි.
ස්ථායිකරණ වැඩ පිළිවෙළ තුළ ලංකාවේ ජංගම ගිණුම් ශේෂ හිඟය දදේනියෙන් 1.2% දක්වා අඩු කර ඒ මට්ටමේ තිබා ගත යුතුයි. එයින් අදහස් වන්නේ දැනට ලබා ගෙන තිබෙන විදේශ ණය හා පොලී ආපසු ගෙවන්නට මිස වෙනත් කටයුතු සඳහා අළුතෙන් විදේශ ණය ගැනීමක් සිදු නොවන බවයි. ඒ කියන්නේ ණයට ආනයන සිදු කිරීමේ ඉඩක් තව දුරටත් ලංකාවට නැති බවයි. මේ තත්ත්වය තුළ වුවද චීනයට ලංකාව සමඟ වාසිදායක වෙළද ශේෂයක් පවත්වා ගත හැකි වුවත් එය දිගින් දිගටම පුළුල් වීමේ ඉඩ ඇහිරෙනවා. චීනයේ ප්‍රතිරෝධයට මෙයද හේතුවක්.
චීනයේ ආර්ථික හා භූ දේශපාලනික ඉලක්ක තුළ චීනයට තමන්ගේ වෙළඳපොළ පුළුල් වනු දකින්නට අවශ්‍යයි. වාසිදායක වෙළඳ ශේෂයක් දිගටම පවත්වා ගැනීමේදී රට තුළ විදේශ විණිමය ගොඩ ගැහෙනවා. ඒ නිසා, ඒ විදේශ විණිමය රටෙන් පිටතට යැවෙන යාන්ත්‍රණයක් අවශ්‍යයි. එක්කෝ ණය විදිහට මේ අරමුදල් රටින් පිටතට යා යුතුයි. නැත්නම් රටින් පිටත මූර්ත වත්කම් එක්රැස් විය යුතුයි. ඔය දෙවැන්නට ලංකාව වැනි රටවල තියෙන්නේ විශාල ප්‍රතිරෝධයක්.
සරලව කියනවානම් දෙවැන්නෙන් අදහස් වන්නේ චීනය විසින් ලංකාව තුළ වත්කම් මිල දී ගන්නවා කියන එකයි. මම දකින විදිහටනම් ණය ගැනීමට සාපේක්ෂව මෙය නරක දෙයක් නෙමෙයි. ලංකාව විසින් චීනයෙන් ණය ගනිද්දී එම අරමුදල් පරිපාලනය කරන්නේ ලංකාවේ රජයයි. ඒ කටයුත්ත තුළ පාඩු සිදු වුනත්, ලාබ සිදුවුනත් චීනයට පොරොන්දු වූ ප්‍රතිලාභ (පොලී) ගෙවිය යුතුයි. චීනය විසින් ලංකාවේ කිසියම් වත්කමක් මිල දී ගත් විට සිදු වන්නේද චීනය විසින් සිය ආයෝජනය වෙනුවෙන් ප්‍රතිලාභ ලංකාවෙන් පිටතට ගෙනයාමම වුවත්, එහිදී සිදු වන්නේ චීනය විසින්ම අදාළ වත්කම කළමනාකරණය කර උපයා ගන්නා ප්‍රතිලාභ රටින් පිටතට රැගෙන යාමයි.
පළමු විකල්පයේදී සිදු වන්නේ ලංකාව විසින් නූපයන ආදායමක් චීනයට ප්‍රාග්ධන ප්‍රතිලාභ ලෙස ගලා යාමයි. දෙවැනි විකල්පයේදී අඩුම වශයෙන් චීනය වෙත ගලා යන ප්‍රතිලාභ චීනය විසින්ම ලංකාව තුළදී උපයා ගන්නවා. සාමාන්‍යයෙන් මෙහිදී ලංකාවටත් යම් හෝ ප්‍රතිලාභයක් ලැබෙනවා. චීනය වෙනුවට ඉන්දියාව හෝ වෙනත් රටක් ආදේශ කළත් තත්ත්වය එයයි. කොහොම වුනත් ලංකාවේ ජනප්‍රිය මානසිකත්වය තුළ “රට විකිණෙන එක” වඩා ලොකු ප්‍රශ්නයක් නිසා ණය එකතු කරගෙන පොලී ගෙව ගෙවා ඉන්න “දේශීය විසඳුම” මගින් තමන්ගේ ප්‍රතිලාභ එකතු කර ගන්න එක චීනයට වඩා පහසු වී තිබෙනවා.
චීනයට ඔවුන්ගේ පැත්තෙන් බැලුවහම ඔවුන්ට ලැබිය යුතු ප්‍රතිලාභ ලේසියෙන් අතාරින්න බැහැ. චීන සහයෝගය නැතිව ලංකාවට පළමු පාරෙන් ඉස්සරහට යන්නත් බැහැ. පළමු පාරෙන් ඉස්සරහට යන්නනම් චීනයටත් පාඩුවක් නොවී ලංකාවට වාසියක් ලබා ගන්න පුළුවන් විකල්ප ගැන හිතන්න වෙනවා.
කලින් කිවුවා වගේම, චීනය ලංකාව එක්ක කරන හෙට්ටු කිරීමේදී පාඩුවක් කර ගන්නවා කියන්නේ එතැනින් නවතින දෙයක් නෙමෙයි. ඒ පාඩුවට අමතරව ලෝකය පුරා පෙරමුණු ගණනාවකදී චීනයට පාඩු විඳින්න වෙනවා. අනෙක් අතට ලංකාව හිර වෙලා ඉන්නෙත් ඒ වගේම උගුලක. ලංකාව චීනය වෙනුවෙන් යමක් අත අරිනවා කියන්නේ ඒ වගේ කිහිප ගුණයක පාඩුවක් විඳින්න වෙනවා කියන එක. මොකද පැරිස් සංසදය හා ඉන්දියාව ලංකාවට සහනයක් දෙන්න කැමැත්තෙන් ඉන්නේ චීනයෙනුත් ඊට සමාන සහනයක් ලැබෙනවානම් පමණයි. ඒ නිසා, චීනයෙන් අඩු දෙයක් ගන්න එකඟ වුනොත් ඒ එක්කම අනෙක් රටවල් වලින් ලැබෙන සහන වලින් විශාල කොටසකුත් නැතුව යනවා.
පළමු පාරේ චීන ගේට්ටුවෙන් එහාට යාම සඳහා අවශ්‍ය සම්මුතියේදී ලංකාවට වගේම චීනයත් සිදුවන පාඩු සෘජු පාඩු වලින් ඔබ්බට යන නිසා මේ එකඟතාවය ඇතිකර ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. එහෙමනම් විකල්පය දෙවන පාරද?
දෙවන පාරේ යනවානම් දැනට මාර්ග බාධක නැහැ. කෙළින්ම ගේට්ටුව අරගෙන යන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න එන්නේ ඊට පස්සේ. මොකද පිට පාරෙන් යන්න ඇරලා චීනය ඇස් කණ වහගෙන බලා ඉන්නේ නැහැ. එතැනින් එහාට චීනය ලංකාවේ හතුරෙක් වෙනවා. ලංකාවට බටහිර ඉත්තෙක් වෙන එක හැර වෙන විකල්පයක් නැතිව යනවා.
ඔය දෙවන මාර්ගයේ යාම සරලව පැහැදිලි කළොත් මෙහිදී වෙන්නේ චීන ණය නොගෙවන්න ලංකාව ඒකපාර්ශ්විකව තීරණයක් ගැනීම. ඒකපාර්ශ්විකව කිවුවත් බටහිර රටවල අනුමැතිය එක්ක. නමුත් ඔය වගේ තීරණයකට චීනය කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. ඒකෙන් ලංකාවට සිදුවන පාඩු මොනවාද?
මේ වගේ තත්ත්වයක් තුළ ලංකාවට පැමිණිය හැකි චීන ආයෝජන නවතිනවා. ලංකාව හා චීනය අතර ද්විපාර්ශ්වික වෙළඳාමට බාධා පැමිණෙනවා. හැබැයි කලින් කිවුවා වගේම ඔය දේවල් වලින් වැඩි පාඩුව චීනයටමයි. ලංකාවට මේ දෙවන විකල්පය දීලා තියෙන්නෙම ඔය හේතුව නිසා. මොකද දැන් ලංකාවට ඔය දෙවන විකල්පය පෙන්නලා චීනය පළමු විකල්පයට ඉක්මණින් කැමති කරගන්න අවස්ථාවක් තිබෙනවා.
මම හිතන්නේ මේ වැඩේ වෙයි කියලා. මොකද දෙවන විකල්පය අවසාන වශයෙන් චීනයේ පැත්තෙන් බැලුවත්, ලංකාවේ පැත්තෙන් බැලුවත් හොඳ විකල්පයක් නෙමෙයි. රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු වලදී ගොඩක් වෙලාවට කියන දේවල් ඇත්තටම කරන්නේ නැහැ. නමුත්, සමහර වෙලාවට නොකරන්න හිතාගෙන කියන දේවල් නොකර ඉන්න බැරි තැනකට තල්ලු වෙනවා. මේ කාරණයේදී වුනත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුනොත් ලංකාව හමුවේ තිබෙන්නේ වඩා දුෂ්කර මාර්ගයක්.
~ ඉකොනොමැට්ටා
RN