ඔහු ලංකාවේ මාධ්‍ය කලාවේ රැළි හැදූ මිනිසෙකු විය. පොදු ජන විඥානය වැඩ කරන හැටි ගැන ඔහුට කදිම ඉවක් තිබුණේය. ජනකාන්ත වීමට බොහෝ ආශා කළේය. බලය සහ ජනප්‍රියත්වය වෙනුවෙන් ප්‍රතිපත්තිගරුක වීමේ සීමාව සහ කලාව ද දැන සිටියේය.
නමුත් තවමත්, අපේ සිත්හි බන්දුල පද්මකුමාර යනු, ලංකාවේ මාධ්‍ය කලාවේ එක්තරා යුගයක ආලෝකයේ මිනිසෙකි. තවද, මාධ්‍ය ලෝකයේ මෙන්ම කලා ලෝකයේ ද නවකයන් බොහෝ දෙනෙකුට කුහක නැතිව අවස්ථා ලබාදුන් හිතවාදියෙකි. ඒ අතින් ඔහු යුගයක් ඉදිරියෙන් සිටියේය.
මිනිසුන්ගේ ආදරය, සියලු දෙනාට ලැබෙන වාසනාවක් නොවේ. නමුත් ඔහු එය ද රැගෙන විත් තිබුණේය.
මිනිස්සු ඔහුට සහේතුවක මෙන්ම අහේතුකව ද ‘මල්කුමාරයා’ යැයි ද කීවෝය.
ඔහු ගැන ගුණ වයන්නෝ බොහෝ වූහ. බොහෝ අයට බන්දුල පද්මකුමාර ‘මැජික්කාරයෙකු’ හෝ ‘වීරයෙකු’ විය. නමුත් සිය ජීවිත කාලය තුළ ඔහු වඩාත්ම ඇළුම් කළ විවරණය වූයේ, ලේක්හවුසියේ සභාපති ව සිටියදී ප්‍රකාශනය කළ ‘මුල්පිටුව’ පොතට ගැබ් කර තිබූ ලිපියක ”නමුත් තවමත් ඔහු එළියේ වීරයා ය” යන වාක්‍යයෙන් අවසන් වූ විවරණයයි. ඔහු ‘එළියේ වීරයා’ වන්නට ආසා කළේය.
මිනිසෙකුව හොඳින් වටහාගන්නට නම් ඔහු සමග උරෙනු’ර ගැටී වැඩ කළ යුතුය. ස්වර්ණවාහිනියේ කලෙක ජනප්‍රියම උදෑසන වැඩසටහන් ද්විත්වය වූ ‘මුල්පිටුව’ සහ ‘ලෝක සිතියම’ වැඩසටහන් අතරින් වසර 12 ක් මාගේ සෘජු දායකත්වය සැපයුණු ලෝක සිතියමේදී මා මුලින් දුටුවේ ‘ලෝකයට ඇරුණු ඇස් ඇති’ මිනිසෙකි. ඔහු ටයිම් සඟරාවේ කතුවැකිය නොවැරදී කියෙව්වේය. කාර්යාලයට එන විටත් නිදාගන්නා පැය කිහිපයට ලෝකයේ සිදුව තිබෙන විපරිත දැන සිටියේය. ඒ, දිනපතා රෑ 8 ට නින්දට ගොස් අළුයම 2 ට අවදි වී ස්වර්ණවාහිනියට පැමිණෙන මුල් යුගයයි. පැමිණි වහාම අප සමග විදෙස් පුවත්වල ශීර්ෂපාඨ තෝරන ඔහු ලයිනප් එකක් ගසයි. මුල්පිටුව වැඩසටහනේ සාර්ථකත්වයට විශාලම දායකත්වය සැපයූවේ ද ඔහු විසින් සකස් කරන අන්තර්ගතයේ අනුපිළිවෙළයි. මෙය ග්‍රහණය කර ගැනීමට අසමත් බොහෝ අය, පසු කලෙක අමතක වී තිබූ දෙයක් හදිසියේ මතක් වූවා සේ චැනල්වලින් පත්තර කියවීමට පටන් ගත් විට, ඔහු නැගූ සදය සිනහව කිසිදා අමතක නොවේ.
අපගේ ජීවිතය දිය කළ වෙහෙසකර අළුයම වැඩමුරවලදී ඔහු ඇතැම් විට දොඩමළු වී පරණ රස කතා කියන්නට පටන් ගනියි. ඒවායේ බොහෝ විටම සිටින්නේ අප දන්නා චරිත ය. ‘කුමරි’ පුවත්පතට උපුල් ශාන්ත සන්නස්ගල ලියා ගෙනැවිත් දුන් ‘සරසවි දියණියෝ’ ලිපි මාලාවේ පළමු කොටස් කිහිපයේ කොපිය අස්ථානගත වී, සන්නස්ගලම පැමිණ එය සොයාගත් ආකාරය ඔහු කියන්නේ සිනාමුසුව ය. ඔහු එය මා සමග කියන්නේ ද විශේෂ හේතුවක් ඇතිව ය.
ලංකාවේ මාධ්‍ය කර්මාන්තය සම්බන්ධ ප්‍රකට නඩුවක් සේ සැලකෙන සාපරාධී අපහාසයට අදාළ ව ලක්බිම පුවත්පතට පැවරුණු නඩුවේදී සාක්ෂි ලබාදීම සඳහා නීතීඥවරුන් සමග පෙර පුහුණුවීම් කළ ආකාරය ද, නඩුවේ ඉතිහාස කතාවද, ලිපිය ඇත්තටම ලිව්වේ කවුද යනාදී වශයෙන් ඔහු දීර්ඝ විස්තර විවරණයක යෙදෙයි.
ලක්බිම පුවත්පත ආරම්භ කිරීමේදී ගම් නියම් ගම්වල ඇවිදිමින්, එවකට පැවති වඩාත්ම අලෙවි වන පුවත්පතක් වූ ‘දිවයින’ට විකල්පයක් නිර්මාණය කළේ කෙසේදැයි ද ඔහු අප සමග කියා ඇත. සමීක්ෂණයක ප්‍රතිඵල ලෙසට ලැබුණු දේ එක තනි කාටූනයක් වැනි ස්කෙච් එකකට ගොනු කළ විට දිවයින පුවත්පතෙන් නිරූපණය වන්නේ ‘සිංහල බෞද්ධ- රෙදි බැනියම් හඳින වයස්ගත මහල්ලෙකු’ ගේ රූපයක් යැයි ඔහු සිතුවේය. ලක්බිම නිර්මාණය වන්නේ එයට තරුණ ජවය සහ නිර්මාණශීලීත්වය කැටි කරමිනි. අනතුරුව ලක්බිම පුවත්පතේ අලෙවිය සොයාබැලීම සඳහා ගම් දනව්වල පොත් සාප්පු සහ පත්තර ලෑලිවලට ගිය අන්දම ද ඔහු රස කරමින් කියයි. එහිදී හමු වූ බොහෝ මිනිසුන්ගේ නම් සහ මුහුණු ද ඔහුට වසර ගණනාවකට පසුවත් මතකයේ තිබුණේය.
මා මාධ්‍ය ජීවිතය ආරම්භ කර තිබුණේ ද ඔහු විසින් ඇරඹූ ‘මුතුහර’ සඟරාවෙනි. මා කුඩා කල ලෝකය ගැන කියවන්නට පටන් ගත්තේ ද මුතුහර සඟරාවෙනි. ඒවා අහම්බයන් ය. ලෝක සිතියම වැඩසටහනට ඇරයුම් කරන විට, මා මුතුහර පාඨකයෙකු බව දැන ඔහු බොහෝ සතුටු විය. හැඟීම්බර මනුෂ්‍යයෙකු වූ ඔහු ලෙහෙසියෙන් එක්සයිට් වන අයෙකි. නමුත් අනතුරුව සංකීර්ණ සිතිවිලි සමුදායකින් ඔහුගේ මුහුණ වැසී යයි. පසු කලෙක මතවාදී සහ ප්‍රතිපත්තිමය ගැටීම් මත අප අතර ඉතා දරුණු විරසක නිර්මාණය වූ අවස්ථාවලදීත්, ”රදී ලියන දේවල් මම හැමදාම කියවනවා ආසාවෙන්. ඒවට එක පෑන් පාරක්වත් ගහන්නෙ නෑ” යැයි කියමින් ඔහු සිය මහත්මා ගුණයක් ප්‍රකට කළේය.
ස්ත්‍රීන් සහ සුළුතරයන් සම්බන්ධයෙන් ඔහුට කවදත් තිබුණේ 70 දශකයෙන් එහාට පරිණාමය වීම ප්‍රතික්ෂේප කරන වයස්ගත තරුණයෙකුගේ ටිපිකල් ලක්ෂණයන් ය. ඔහු කාන්තාවන් ගැන විවිධ ස්වරවලින් අගතිගාමී අදහස් දක්වනු මා අසා ඇත. ඔහුට මා කාන්තාවක සේ පෙනී නොයන්නට ඇත. ඒ ගැන සතුටු වෙමි.
බන්දුල පද්මකුමාර, කලෙක ලංකාවේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් පුරෝගාමියෙකු විය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 2003-2004 කාලයේ ප්‍රධාන ලේකම් ධුරය ද ඔහු හෙබවීය. නමුත් පසු කලෙක මාධ්‍ය නිදහස පිළිබඳ පර්යේෂණයකට ඔහුගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගන්නා විට ඔහු මගෙන් ඇසුවේ ”ඒක අහසෙ තියෙන දෙයක් නෙවෙයිද?’ කියා ය.
මුල් පිටුව වැඩසටහනට ඔහු ආසක්ත වූයේ ඒ තුළින් ගොඩනගා ගත් සිවිල් බලය නිසා විය යුතුය. මුල් පිටුවේ පුවත් කියවීමේදී දේශපාලනඥයන් කෙරෙහි දැඩි බලපෑම් සහගත බවක් ඔහු ඇති කර ගත්තේය. මුල්පිටුව සංවත්සරයකදී එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතා සජීවී ව වැඩසටහනට එක් වෙමින් සුබ පැතූ විට ඔහුගේ මුහුණේ මතු වූ ආඩම්බරය දින ගණනාවකටම පහව නොගියේය. එය අහිංසක ආඩම්බරයක් විය නොහැකිය. දියණිය මුතු පද්මකුමාරගේ පොතක් දොරට වැඩීමේ උත්සවයට ආණ්ඩු පක්ෂ නායක-විපක්ෂ නායක දෙපළම එනම් මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන දෙපළම ප්‍රධාන ආරාධිත අමුත්තන් සේ පැමිණ ඇති අයුරු දැක ඇතැමුන් වික්ෂිප්ත වූ බව ඔහු කියන්නේ කොක්සන් දෙමිනි.
බලය විසින් මිනිසෙකුව විපරිත කළ හැකි තරම ගැන අපේ කාලයේ පරම්පරාව අත්දුටු බියජනක සිද්ධි අධ්‍යයනය ද බන්දුල පද්මකුමාර විය හැකි යැයි සිතමි. ඔහු ඇස් පනා පිට වෙනස් වෙමින් සිටියේය. ප්‍රේමණීය යැයි ලෝකය සිතාගෙන සිටි බන්දුල පද්මකුමාර, ලේක්හවුසියේදී දරදඬු සහ නිර්දය පාලකයෙකු බවට පත් විය. ඔහු දුර්වල පරිපාලකයෙකු බව දැන සිටි අයට, ඔහුගේ හැසිරීම අරුමයක් නොවන්නට ඇත. අවසානයේ ලේක් හවුසියේ කෑලි ගණනට ලියමින් බර ඇදි, කාර්යාලයටත් ආ ගිය නිදහස් ලේඛක ලේඛිකාවෝ හිස් අතින් ගෙදර ගියහ. ගැබිණි මාධ්‍යවේදිනියක් හඬමින්, කෑ ගසමින් තමන් ඇතුළු කණ්ඩායම සේවයෙන් ඉවත් නොකරන්නැයි ආයාචනා කිරීම නිසා දිනක් ඔහු මහත් අපහසුතාවයට පත් ව සිටියේය. නමුත් ඔහු එයට කිසිවක් නොකළේය. මෙවැනි කතා සිය ගණනක් තිබෙනු ඇත.
බන්දුල පද්මකුමාර මහතාගේ කණස්සළුම මුහුණ අප දුටුවේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට පසු දින ය. පත්තර මිටියත් රැගෙන, මුහුණ කළු කරගෙන-ඇස් රතු කරගෙන සිටි ඔහු කෙළින්ම සිය මේසය වෙත ගියේය. කිසිවෙකු සමග කතා නොකළේය. එතැන් පටන් දින කිහිපයක් යන තෙක් ඔහු කැඩපත දෙස කෙළින් නොබලන්නට ඇත.
බලලෝභී දේශපාලනයේ අතකොලුවක් වන්නට තීරණය කළ දා පටන්, බන්දුල පද්මකුමාරට බන්දුල පද්මකුමාර නැති වන්නට ඇත.
2015 ආණ්ඩු මාරුවත් සමග ඔහුගේ තරු යුගය නිවී ගියේය. අවසන් වරට ඔහු මට හමුවන්නේ ‘ආදරණීය අම්මි’ වැනි නමක් තිබූ සඟරාවක් ගැන කතා කරන්නට ය. මම එය ප්‍රතික්ෂේප කළෙමි.
එදින බොහෝ දේ කතා කිරීමෙන් අනතුරුව අවසානයේ ඔහු මෙසේ කීවේය.
”රදී, මට මිනිස්සු අඳුනගන්න බැරි වුණා..!!”
එය ඔහුගේ ප්‍රතිභාවෙන් සහ ප්‍රභාවෙන් වාසි ලබාගැනීම සඳහාම ඔහු ව ඇසුරු කළ සහ ඔහුව සතුටු කළ මිත්‍ර ප්‍රතිරූපකයන් ගැන (සියල්ලන් නොවේ) ඔහුගේ අවසාන කියැවීම වන්නට ඇතැයි සිතමි.
අතිශය කැපවීමෙන් යුතුව – වැඩට ආදරය කරමින් වැඩ කළ, ආලෝකයේ මිනිසෙකු වශයෙන් (පමණක්) මම බන්දුල පද්මකුමාර මතකයේ තබා ගනිමි.
- රදිකා ගුණරත්න