පැලවත්තට චෝදනා – 2

0
9

උපාලි කොළඹගේ

කොළඹ LNW:ඉකුත් සතියේ මා ලියුවේ පැලවත්තට චෝදනා මුල් කොටසය. එහි අඩංගු වූයේ පැලවත්තේ පිහිටි ජනතා පෙරමුණේ ප්‍රධාන කාර්යාලය මඟින් වර්තමාන ආණ්ඩුවේ කටයුතුවලට මැදිහත් වීමට එරෙහිව නැගෙන චෝදනා අතිශයෝක්තියෙන් යුත් චෝදනා මෙන්ම කිසියම් පක්ෂයකට අයත් ආණ්ඩුවක් බලයේ සිටින විට එම පක්ෂයට රාජ්‍ය කටයුුතුවලට මැදිහත් වීමේ අයිතියක් ඇතිය යන්නය. එය ද සීමා සහිත මෙන්ම ආචාරධර්ම ඉක්මවා යන්නක් නොවිය යුතුය යන්න අදට මා දරන මතයයි.

එහෙත් පැලවත්තට චෝදනා 2 හි අඩංගු වනුයේ ඉහත කී අදහස් හා නොගැටෙන නමුත් ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් ක්‍රියාවන් පිළිබඳව මාගේ නුරුස්නාවය.

එයට අනුබල සැපයූවේ ඉකුත් සතියේ අනිද්දා පුවත් පතේ මුල් පුවතය. ” තීරු බදු රහිත වාහන විකුණා ලැබෙන මුදල් ජවිපෙට ලබා ගෙන” යන එම පුවත ලියා ඇත්තේ ජේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේය. මන්ත්‍රී වැටුපට අමතරව කාර්ය මණ්ඩල වැටුප් ද පක්ෂයට ලබා ගෙන යනුවෙන් අනු සිරස්තලයක් ද එහි වෙයි. එම පුවතට පාදක වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ විසින් මැතිවරණ කාර්යාලයට ලබා දී ඇති එම පක්ෂයේ 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන මූල්‍ය ප්‍රකාශනයය. මෙහි විශාල වශයෙන් සිදු වූ ගණන් හිලව්ද සඳහන් කර ඇත. පක්ෂයට ලැබුණු ආධාරවලට අමතරව කාර්ය මණ්ඩල වැටුප් ද පක්ෂය ඩැහැගත් බවද සඳහන් වේ.

ප්‍රථමයෙන් එම පක්ෂය විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත සත්‍ය යැයි පිළිගත හැකි ආකාරයේ මූල්‍ය ප්‍රකාශනයක් ලබා දීම පිළිබඳව කෘතඥ විය යුතුය. බොහෝ ප්‍රධාන පක්ෂ මෙම පිළිවෙත් නොසලකා හරින බවටද චෝදනා එල්ලවේ.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ වර්තමානයේද මෙම පිළිවෙතම අනුගමනය කරන බවද පැවසේ. නමුත් වර්තමානයේ මෙම ගණන් හිලව් මීට වඩා බොහෝ සෙයින් ඉහළ අගයක පවතින බව අනුමාන කළ හැක. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීන් සංඛ්‍යාව පමණක් වුවද 159 වන නිසාය. මා නම් ජවිපෙ මෙම ක්‍රියා පිළිවෙතට අතීතයේ සිටම විරුද්ධය. මෙය මා දකින්නේ සුද්ධ කිරීමක් ලෙසය. ඉසියුම් ලෙසින් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කෙරෙන පහරක් ලෙසය.

පක්ෂයට දෙන මන්ත්‍රී වැටුපෙන් කිසියම් ප්‍රමාණයක් යළි එම මන්ත්‍රීන් අතට ලැබෙනවා වියහැක. අනුමානය එයයි. නමුත් එලෙස කිරීම කෙතරම් යුක්ති යුක්තද යන්නය ගැටලුව,මොවුන් මහජන නියෝජිතයන්ය. ඔවුන්ට ලැබෙන වැටුප ඔවුන් අත තැබිය යුතුය. අනිකුත් කාර්ය මණ්ඩලවල වැටුප් හෝ දීමනා පක්ෂය විසින් ලබා ගැනීම කිසිම ලෙසක සදාචාරාත්මක නැත. කැමැත්තෙන් දෙන නිසා අනීතික නොවනවා විය හැක.

මෙහි ජේ. ආර්. ජයවර්ධන මන්ත්‍රීන්ගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලියුම් ලබා ගැනීමට බොහෝ සෙයින් සමානය. එයද නීත්‍යනුකූලය. එහෙත් සදාචාරාත්මක පැත්තෙන් බිංදුවේය.

කිසිම පක්ෂයක් උපක්‍රමශීලීව මහජන නියෝජිතයන් බැඳ තැබිය යුතු නැත. මහජන නියෝජිත පෞර්ෂය බිඳ හෙළිය යුතු නැත. මේ ආණ්ඩුව මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කළේද තම පක්ෂයේ නියෝජිතයන් නැති බැරි කාලයේ බලා ගැනීමේ පොරොන්දුව මත යැයි සිතිය හැක. පක්ෂ විපක්ෂ බොහෝ දෙනා ජනතා විමුක්ති පෙරමුණ හඳුන්වනුයේ දැඩි පක්ෂ විනයක් ඇති පක්ෂයක් ලෙසය. නමුත් එම විනය කෙබඳු විනයක්ද යන්නය අපට ඇති ගැටලුව. සංඝ විනය එකකි. හමුදා විනය තව එකකි. සිවිල් සමාජය වෙත ඇත්තේ වෙනස්ම ආකාරයේ විනය රීති මාලාවකි.

කරෝල වාඩි වලද අමුතුම ආකාරයේ විනය රීති මාලාවක් පවතී. දේශපාලන පක්ෂයක් කරෝල වාඩිවල පවත්නා විනය පිළිවෙත අනුගමනය කළ යුතු නැත. ඔවුන් වග කියනුයේ ජනතාවටය. මගේ පෞද්ගලික අදහස නම් පක්ෂයට එරෙහිව පාර්ලිමේන්තුව තුළ ඡන්දය පාවිච්චි කළ අවස්ථාවකදී වුව මන්ත්‍රී ධුරය අහිමි කළ යුතු නැත.

ජනතා විමුක්ති පෙරමුණ මාලිමාව ලෙසට රූපාන්තරණය වුවද ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදයට නොගැලපෙන කරුණු වෙනස්වී නැත.

සබැඳි ලිපිය