*
Monday, May 6, 2024
spot_img

Latest Posts

වරින් වර මාරුවන මැතිවරණ දින – අනුරගේ ඇමති මණ්ඩලය – දමිතා- වාස් එක තැනකට ? චන්ද්‍රගුප්තගේ ඉරණම වසන්තාටත් දෙන්න අධ්‍යාපන ලොක්කෝ බර වැඩ – සජිත්ට කාන්තා සහාය – ගම හදන ධම්මිකගේ වැඩපිළිවෙල

  • වරින් වර මාරුවන මැතිවරණ දින
  • අනුරගේ ඇමති මණ්ඩලය
  • දමිතා – වාස් එක තැනකට?
  • චන්ද්‍රගුප්තගේ ඉරණම වසන්තාටත් දෙන්න අධ්‍යාපන ලොක්කෝ බර වැඩ
  • සජිත්ට කාන්තා සහාය
  • ගම හදන ධම්මිකගේ වැඩපිළිවෙල

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): ජනාධිපතිවරණය ලබන ඔක්තෝබර් 5 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. එනම් ඒ සඳහා තවත් මාස හතක් තිබේ.

එහෙත් ඊට පෙර ඕනෑම මොහොතක මහා මැතිවරණයක් පැවැත්වීමේ අවස්ථාව නැත්තේ නොවේ. පසුගියදා මැතිවරණ පැවැත්වීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් චම්පික රණවක ප්‍රමුඛ පිරිසකට සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීමට කටයුතු කරන අතර මහ මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට අපේක්ෂා කරන බවයි. මීට පෙර ජනාධිපතිවරයාම ඉන්දීය නාලිකාවකට පවසා තිබුනේ ජනාධිපතිවරණය හා මහමැතිවරණය දෙකම මේ වසරේ පැවැත්වෙන බවය. ඒ අනුව ජනාධිපතිවරයා වරින් වර කුමක් කීවත් ඔහු අප්‍රේල් මාසයේදී කිසියම් හෝ දේශපාලන තීන්දුවක් ගැනීමට නියමිතය.

ජාතික ජන බලවේගය හා ජනාධිපතිවරණයේ ඇතැම් අපේක්ෂකවරුන්ගේ සැබෑ ජනපදනම මැන ගැනීමට මුලින් මහමැතිවරණයකට යාම සුදුසු බව ජනාධිපතිවරයාට සමීප බොහෝ දෙනෙකු පෙන්වාදී තිබේ. එම නිසා පවතින තත්වය මත එවැනි තීරණයක් මත හදිසි මහා මැතිවරණයක් පැවැත්වීමේ ඉඩකඩ බැහැර කල නොහැක.

මාලිමාව ඇමති මණ්ඩලයත් පත් කරලා ?

මාලිමාව හෙවත් ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මේ වන විට බොහෝදෙනාගේ අවධානය යොමුවී තිබේ. අනුර දිසානායකගේ ඉන්දීය සංචාරය ඔවුන්ගේ ජනප්‍රියතාවය සම්බන්ධයෙන් යම් බලපෑමක් ඇතිකළ බව ඇතැමුන්ගේ අදහසයි. මේ සම්බන්ධයෙන් කොළඹ හයිඩ් පිටියේ පැවති ලන්සා කණ්ඩායමේ මහජන රැස්වීමේදී අනුර කුමාර ප්‍රමුඛ මාලිමාවට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.

මේ අතර මේ වන විට රටේ පිරිසක් තමන්ගේ ආණ්ඩුවේ කැබිනට් තනතුරු පිළිබඳව විමසීම් කරන බවත් , මීළඟට මේ රටේ පත්වෙන කැබිනට් මණ්ඩලය යනු වෙනස් අත්දැකීමක් මෙරට දේශපාලනයට ගෙනෙන, සාමූහික වගකීම දරන කැබිනට් මණ්ඩලයක් වනු ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.

“දැන් මේ රටේ ජනතාවගේ මතය මොකක්ද. මේ ඉන්න 225ම ප්‍රතික්ෂේප කරන නව ආණ්ඩුවක්නම් ඒකේ හැඟවුම තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයකට මේ වැඩේ කරන්න බැහැ කියන එක. ඉන්න 225 ඇතුලේ අපේ ඉන්නේ තුන් දෙනෙක් විතරක් නිසා අපේ කැබිනට් මණ්ඩලයේ බහුතර ලෙස පත් වෙන්නේ අද ඉන්න 222 නැතුව එයින් පිටත් ඉන්න අයගෙන් කියන එක සත්‍යයක්. අපේ රටේ බලය, ඒ කියන්නේ රටේ ජනාධිපති අගමැති කැබිනට් මණ්ඩලයේ විෂයන් තනි මිනිහෙක් කේන්ද්‍ර කරලා ගොඩනගන්න හදනවා. අපි ඊට වෙනස්ව මේ ගැන හිතනවා. සැලසුම් කරලා තියෙනවා.

අපි අපෙන් පත්වෙන එක්කෙනෙක් විෂයන් සඳහා කැබිනට ඇමතිවරයෙක් විදිහට පත් කරනවා. ඊට අමතරව ඒ ඒ විෂයන් සඳහා කැබිනට් ඇමතිවරයාත් සමඟ විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුම ඇති තව පිරිසක් එක්වෙන උපදේශක සභාවක් හදනවා. මම දැනට උදාහරණයක් විදිහට අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ආර්ථිකය කියන විෂයන් තුන ගැන විතරක් කියන්නම්. සෞඛ්‍ය පිළිබඳව අපිත් එක්ක ඉන්නවා ජාතික ජන බලවේගයේ මහ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ. ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක්. සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ජාත්‍යන්තර අත්දැකීම ඇති කෙනෙක්. ඒ වගේම රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය ක්‍රිශාන්ත අබේසිංහ, අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස වැනි කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේ කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යංශය මෙහෙයවීම සඳහා අපි පත්කරනවා. ඒ කණ්ඩායමෙන් එක් කෙනෙක් අපි අමාත්‍යවරයා ලෙස පත්කරනවා.අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය උපාලි පන්නිල, ආචාර්ය හරිනි අමරසූරිය, ආචාර්ය අනුර කරුණාතිලක වැනි කණ්ඩායමක්ම අපිත් එක්ක ඉන්නවා. ඒ කණ්ඩායමෙන් අධ්‍යාපනය කියන පුළුල් විෂය සඳහා කැබිනට් අමාත්‍යවරයෙක් හෝ අමාත්‍යවරියක් පත්වෙනවා. ආර්ථික කියන විෂය සැලකීමේ දී අපි දැනටමත් අපේ ආර්ථික කවුන්සිලය ප්‍රකාශයට පත්කරලා තියෙන බව කවුරුත් දන්නවා. මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය සීතා බණ්ඩාර, මහාචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති වගේම වසන්ත සමරසිංහ වැනි කණ්ඩායමක් ම ඉන්නවා. මේ අය අතරින් එක්කෙනෙක් අමාත්‍යවරයා ලෙස පත්කරනවා. අනෙක් අය සාමූහිකව කණ්ඩායමක් විදිහට ආර්ථික විෂය බාර අමාත්‍යාංශය මෙහෙයවනවා.

ඒ වගේමයි ආරක්ෂාව පිළිබඳව වන කැබිනට් වගකීමත්. දැන් මුළු රටම දන්නවා ජාතික ජන බලවේගයේ ප්‍රබලතම කණ්ඩායම් විදිහට ගොඩනැගිලා තියෙන අදිටන සාමූහිකය ගැන. එතන ඉන්නවා ඒ විෂය පිළිබඳව කලාපීය සීමාව පවා ඉක්මවා ගිය, ජාත්‍යන්තර අත්දැකීම් ඇති, විෂයානුබද්ධ දැනුම ඇති විශාල පිරිසක්. ඒ සමඟම ආරක්ෂාව කියන විෂය පිළිබඳව ප්‍රාමාණික දැනුම ඇති කීර්තිමත් සිවිල් පුරවැසියන් ගණනාවක් ම අපිත් එක්ක ඉන්නවා. අනෙක් විෂයන් දෙක වගේම ඒ කණ්ඩායමෙන් එක් කෙනෙක් අපේ ආණ්ඩුවේ දී ආරක්ෂාව විෂය පිළිබඳව කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කරනවා. ඔහුත් සමඟ අනෙක් පිරිස සාමූහිකව ඒ විෂයේ වගකීම දරනවා.

කෙනෙකුට මේ ක්‍රමය අරුම පුදුම දෙයක් වෙන්න පුළුවන්. සමහරු මේ පැහැදිලි කිරීමත් සමඟ කළබල වෙන්නත් පුළුවන්. මොකද අපි 76 වසරක ඉතිහාසය පුරා දැකලා තිබුණේ වෙනස් ක්‍රමයක් නිසා. ජනතාව අපිත් එක්ක එකතුවෙලා අපිව ජයග්‍රහණය කරන්නේ පරණ දේ ම කරනවා බලන්න නෙමෙයි. ජනතාවගේ බලාපොරොත්තුව සාමූහික ජයග්‍රහණයක්. සාමූහිකව වගකියන වෙනස්, අලුත් පාලනයක්.

සාම්ප්‍රදායික අමාත්‍යවරයෙක්, අමාත්‍යධුරයක් වෙනුවට ඒ ඒ විෂයන් පිළිබඳව පරිචයක් ඇති, අධ්‍යනයක් තිබෙන, ඒ ඒ විෂයන් පිළිබඳව ගැඹුරු බුද්ධිමය අවබෝධයක් තිබෙන කණ්ඩායමක් වගේම ඇත්ත දේශපාලන උවමනාවක් තියෙන කණ්ඩායමක් අපේ පාලනයක දී අමාත්‍යාංශවල වගකීම් දරාවි.අපි විසින් සිදු කරන කාර්යය පිළිබඳව විශ්වාසයක් සහ දැක්මක් තිබෙන, අවංක සහ ධෛර්යය සම්පන්න කණ්ඩායම් අපිට ඉන්නවා. ඒ නිසා මම හිතනවා ශ්‍රී ලංකාවේ ගොඩනැගෙන ශක්තිමත් ම කැබිනට් මණ්ඩලය වගේම ඒ ඒ විෂයන් සඳහා සුදුසුම කැබිනට් මණ්ඩලය ඊළඟට දකින්න පුළුවන් කියන එක” බව අනුර දිසානායක පවසා තිබේ.

මාලිමාවේ යෝජනා ප්‍රායෝගිකද ?

බැලුබැල්මට මේවා සුන්දර කතා වුවත් ඇමති මණ්ඩලයක් පත් කලයුතු වන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවය. අනෙක් අතට අනුර කුමාර පවසන මේ අයගෙන් බොහෝදෙනෙකු පාර්ලිමේන්තුවේ නැත. ජනාධිපතිවරණයකින් පසු මහා මැතිවරණයක් පැවතියද ඉහත කී අය පාර්ලිම්න්තුවට පත්කරන්නට ජනතාව කටයුතු කාරාවිදැයි බොහෝ දෙනා දන්නේ නැත. එසේම මුලින් මහා මැතිවරණයක් පැවැත්වුවහොත් ඉහත කී බොහෝදෙනා පාර්ලිමේන්තුවට පත්වන්නේ කෙසේදැයි බොහෝදෙනෙක් දන්නේ නැත. ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණයක් පැවැත්වුවහොත් එසේ පත්වන පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට වසර දෙකහමාරක් බලාසිටින්නට සිදුවේ.

ගෝඨාභයගේ වියත්මග පිරිසද මෙවැනිම බොහෝදේ ප්‍රකාශ කල අයුරු අපට මතකය. එසේම අපේ රටේ බොහෝ උගතුන් හා වෘත්තිකයන් ප්‍රයෝගික නැත. ඔවුන් කොතරම් උපාධි ලැබුවද ප්‍රයෝගිකත්වය අතින් ඉන්නේ කොතැනදැයි වියත්මග අපට ඔප්පු කර පෙන්වීය. ඇතැම් වියත්මග ජාතික ලැයිස්තු ඇමතිවරු කුඩය පවා ගත්තේ මහජන මුදලෙනි.

අනෙක් අතට රටේ පවතින නීතිරීති අනුව කළහැකි පත්වීම් සීමාසහිතය. එහෙත් මාලිමාව සතුව සිටින පිරිසේ අවංක උත්සාහය රට දියුණු කිරීම පමණක් නම් මේවා අපහසු දේවල්ද නොවේ.

චම්පික රනිල් ගාවට …..

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී සිදු විය.

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක ඇතුළු නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව අදාල යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ස්ථාවර කර ගැනීමට පසුගිය දෙවසරක කාලය තුළ රජය මහත් පරිශ්‍රමයකින් කටයුතු කළ බවයි.

ප්‍රතිසංස්කරණමය තීන්දු තීරණ සමඟ රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ඒමට රජය මේ වන විට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දෙනාගේ සහාය ඇතිව එය ඉදිරියට ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවද පැවසීය.

දේශපාලන බේදයකින් තොරව රට වෙනුවෙන් පොදු වැඩපිළිවෙළකට එක්වන ලෙස තමා සෑම අවස්ථාවකදීම සියලු දේශපාලන පක්ෂ වෙත සිදු කරන විවෘත ආරාධනය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ අනෙකුත් දේශපාලන පක්ෂවල ද සියලු සාධනීය යෝජනා රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට එක් කර ගැනීමට තමා පසුබට නොවන බවයි.

රනිල් ට චම්පිකගේ අවශ්‍යතාව ?

විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ලබන මාසයේ දී පැවැත්වෙන සාකච්ඡා සඳහා අනෙකුත් දේශපාලන පක්ෂවලටද සහභාගි වීමට අවස්ථාව සලසා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මෙහිදී කළ ඉල්ලීමට ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වනු ලැබීය.

කෙසේ වෙතත් බොහෝදෙනා පවසන්නේ චම්පිකගේ උත්සාහය පොදු අපේක්ෂක ධුරය බවය. දැනට පෙනෙන්නට ඇති පරිදි රනිල් ඒ සඳහා ඉදිරිපත්වීමට ක්‍රමානුකූලව කටයුතු කර ගෙන යයි. යම්ලෙසකින් රනිල් තරග නොකලද ඔහුගේ සන්ධානයේ අන් කිසිවකුත් පොදු අපේක්ෂක තනතුර චම්පිකට දෙන්නේද නැත. හේතුව එම සන්ධානයේ චම්පිකගේ පක්ෂයට වඩා ජනපදනමක් ඇති පක්ෂ තවත් ඕනෑතරම් තිබීමය. එහෙත් රනිල්ගේ ජනාධිපතිවරණ මෙහෙයුමට චම්පික හොඳ කථිකයෙකි. සජිත්ට එරෙහිව කතාකරන්නට තර්ක ගොඩනගන්නට චම්පික සමතෙක් බව රනිල් දනී. එම නිසා රනිල් මේ මොහොතේ චම්පික ලංකර ගන්නේ ඒ සඳහාය. එසේම සරත් ෆොන්සේකා සම්බන්ධයෙන්ද රනිල් අනුගමනය කරන්නේ මෙවැනිම පිළිවෙතකි.

දුෂිත අධ්‍යාපන ලොක්කන්ගේ වැඩ නිසා චන්ද්‍රගුප්තගේ ඉරණම වසන්තාටත් අත්වෙයිද ?

බත්තරමුල්ල, ඉසුරුපායෙහි පිහිටා තිබෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ හොර රහසේ සිදුවන අතිවිශාල ප්‍රසම්පාදන හා සැපයුම් අංශයේ දුෂණ පිළිබඳ මේ දිනවල අමාත්‍යංශයේ සේවකයන් අතර විශාල කතාබහක් ඇතිවී තිබේ. අදාළ දුෂිත නිලධාරීන් පිරිස මේ වන විට අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත හා අද්යාපන අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය වෙතද වැරදි තොරතුරු ලබා දෙමින් නොමග යවා තිබේ.

මෙය විශාල ගැටළුවක් වන්නේ අධ්‍යාපන අමාත්‍යංශය යනු ශ්‍රී ලංකාව තුල සෞඛ්‍ය සේවයට පමණක් දෙවැනි 2024 වසර සදහා ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම වෙනුවෙන් බිලියන 237ක සුවිශාල මුදලක් වෙන්කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අමාත්‍යංශයක් වීමය.. කිසිදු පාරදෘශ්‍යභාවයකින් තොරව සිදුවන ගනුදෙනු මත සෞඛ්‍ය අමාත්‍යංශයට නොදෙවෙනි මහා පරිමාණ දුෂණ ගණනාවකට අතවැනීමක් වනු ඇත. සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත දැන් සිටින්නේ බන්ධනගාරගතවය. අධ්‍යපන අමාත්‍යංශයේ ප්‍රසම්පාදන අංශයේ ඇතැම් නිලධාරීන් ලබා දෙන වැරදි තොරතුරු මත තීරණ ගතහොත් වසන්තා පෙරේරා හට අත්වන්නට ඇති ඉරණම වන්නේ චන්ද්‍රගුප්තට අත්වූ දෙයමය. මෑතකදී අධ්‍යාපන අමාත්‍යංශයට පත්ව ආ නිසා ඇය මේ කිසිවකුත් දන්නේද නැත. කෙලින් වැඩකරන නිලධාරිනියක ලෙස ප්‍රසිද්ධ වසන්තාට එම ඉරණම අත්නොකිරීමට අධ්‍යාපනයේ සෙසු නිලධාරීන් වගබලාගත යුතුය.

ප්‍රම්පාදන ලොක්කෝ හදිසි මිලදී ගැනීමේ මාෆියාවක

ප්‍රසම්පාදන සම්බන්ධ තාක්ෂණික කමිටු සාමාජිකයින් මෙන්ම ටෙන්ඩර් මණ්ඩල නිලධාරින්ද සමග එක්ව සැපයුම් දෙපාර්තමේන්තුවේ මුල් බැසගත් නිලධාරීන් ඍජුව මෙම සුවිශාල දුෂණ ඉතා සුක්ෂම ලෙස කරගෙන යන අතර, තම හිතවත් ඉලක්කගත සැපයුම්කරුවන් සමග “ඩීල්” දමමින් කෝටි ගණනින් කොමිස් ලබාගනී. ඒ අතරේ මොවුහු සියලු සුදුසුකම් සපුරා ශක්‍යතාව ප්‍රදර්ශනය කරන එනමුත් මෙම අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරී මාෆියාවට යටත් නොවන ආයතන පීඩනයට ලක්කොට ඔවුනට ව්‍යාජ චෝදනා මවාපාමින් අසාදුලේඛනගත කිරීම සිදු කරනු ලබයි.

මෙහිදී ප්‍රසම්පාදන අංශයේ ඉහලම නිලධාරිනියක් තම අභිමතය පරිදි ව්‍යාපෘති භාර නිලධාරීන් සහ ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයින් තම අණට නතු කරගනිමින් මෙම දුෂිත ගණුදෙනු මෙහයවනු ලබන අතර කූට ලෙස මහජන මුදල් අවභාවිතා කරමින් සිටී. විටෙක ඇය තම මතය සමග ලේකම්වරිය එකග නොවුනහොත් ඇයට වක්‍ර ආකාරයෙන් ඉදිරියේදී සිදුවන්නට යන අකටයුතුකම් තර්ජනාත්මක ලෙස සදහන් කරන බව ප්‍රසිද්ධ කරුණකි. ඇය දිගටම මහජන මුදල් අයතා ලෙස උපයමින් විශාල ධනස්කන්දයක් උපයමින් සිටී. මෙහි සිටින රජයේ සාමාන්‍ය වේතනයක් ගන්නා නිලධාරීන් පවා නිවාස 2 ක හෝ 3ක හිමිකාරිත්වය දරන්නවුන් බව සඳහන්ය.

අධ්‍යාපන දෙපාර්තමේන්තවේ අතිවිශාල දුෂණ සහ වංචා කිසිදු විගණනයකින් තොරව සිදු කරගෙන යනු ලබන අතර මේසා අතිවිශාල මුදල් සම්භාරය අහිංසක දරු දැරියන්ට ප්‍රතිලාභ ලබා නොදී සැපයුම් අංශයේ දුෂිතයන් කිහිපදෙනෙක් අතර යහමින් බෙදා ගනිමින් සිටින බව සඳහන්ය. මේ අතර මෙම දුෂිතයන්ගේ අරමුණ සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙන් හදිසි මිලදී ගැනීමේ මාෆියාවක් අධ්‍යාපන අමාත්‍යංශයේ ද ඇති කර ගැනීමය.

හොරෙන් වැඩි කරගත්ත වැටුප නවත්වයිද?

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 කින් වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන කාරණය සම්බන්ධයෙන් එම බැංකුවේ ප්‍රධානීන් ළගදීම කැඳවා ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව ඇතුළු කමිටු කිහිපයක් තීරණය කර ඇත.

මහබැංකුවට මෙවැනි ආකාරයට කටයුතු කරන්නට ඉඩ සැලසු මෑතකදී ගෙන ආ පනත පාර්ලිමේන්තුවේ තුනෙන් ඡන්ද යෙන් ආපසු වෙනස් කල යුතුය. එසේම මෙවැනි දේ සඳහා ඉඩ සැලසු මූල්‍ය මණ්ඩලය වහාම ඉවත් කල යුතුය.

මේ අතර මේ ආකාරයට වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇත.

මහබැංකු ලොක්කෝ පාර්ලිමේන්තුවට ?

සාමාන්‍ය සේවකයන්ට රුපියල් සීයක් වැඩි කර ගන්න ගියාම දැවැන්ත ලෙස විරුද්ධ වන ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ ආකාරයට තමන්ට බෙදා ගැනීම අසාධාරණ හෙයින් ඒ ගැන වහා සොයා බලන්නැයි එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදීද ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීමේ පියවර දැඩි ලෙස විවේචනය කළහ.මේ කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්න කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් ඔවුන්ගේ වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම සදාචාරාත්මක නොවන බවත් ඒ සම්බන්ධයෙන් රට දැනුවත් කිරීමට කටයුතු කරන බවත් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිස ප්‍රකාශ කර ඇත. වහාම මෙම අතිශය නිර්ලජ්ජිත දුෂිත ක්‍රියාවලිය වහාම නිවැරදි නොකළහොත් එය භයානක පූර්වාදර්ශයක් වනු ඇත, මහබැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කිරීමට බොහෝදෙනා එරෙහිවීම සාධාරණ බව මහබැංකුව විසින්ම ඔප්පු කර තිබේ.

මහමැතිවරණ – ජනාධිපතිවරණ ගැන විජේදාස කට අරී

ඉදිරි ජනාධිපතිවරණය ස්ථිරවම ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසා තිබේ.

දැනට තිබෙන තත්ත්වය අනුව පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ පැවැත් විය යුතු වුවත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමේ බලය ජනාධිපතිවරයාට පවතින බවද කෙසේවෙතත් ජනාධිපතිවරණය ගැන කිසිම සැක සංකාවක් තබා ගත යුතු නැති බවද ඇමතිවරයා පවසයි.

මේ අතර මාර්ග ගත සුරක්ෂාව පිළිබදව පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් සම්මත කරනු ලැබූ නමුත් එහි අඩුපාඩු පවතින බැවින් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බවත් ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ ලැබී තිබෙන බවත් ඒ අනුව කටයුතු කරන බවත් ඔහු සඳහන් කර තිබේ.

සජිත් ගෙන් කාන්තාවන්ට පොරොන්දුවක්

මෙවර ජනාධිපතිවරණය කාන්තා ශක්තියෙන් පෑඩ් මෑන් ජයග්‍රහණය කරන බව සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
ඉන් අනතුරුව මෙරට සමස්ත කාන්තාවගේ සෞඛ්‍ය ගැටළුවලට සෘජුවම ශක්තිය දෙන බවද හෙතෙම පැවසීය.

පසුගිය වර තමන්ට පෑඩ් මෑන් යැයි පැවසූ බවත් එය දිගටම කියන්නයිද තමන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

කාන්තාවන් දේශපාලන ඉත්තන් කර ගැනීමට තමන් සූදානම නැති බවද හෙතෙම කියා සිටියේය.ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවරදී පැවැති සමගි වනිතා සමුළුව අමතමිනි.

මේ අතර අද වන විට ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන රුපියල් හා ඩොලර් අර්බුදය විසඳීමට තමන් ඇතුළු සමගි ජන බලවේගයේ කණ්ඩායමට හැකි බව එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.

ඔහු මෙසේ කියා සිටියේ අවිස්සාවිල්ල පුවක්පිටිය ප්‍රදේශයේ පැවති වැඩසටහනක් අමතමිනි.මේ වසර අවසානයේ පැවැත්වෙන මැතිවරණයෙන් තමන් හා තම කණ්ඩායම ගැන ජනතාව විශ්වාස තැබුවහොත් රට මුහුණ දී ඇති ඩොලර් හා රුපියල් අර්බුදය විසඳීමට කටයුතු කරන බව ඔහු එහිදී පැවසීය.ඒ සඳහා වන වැඩපිළිවෙළක් තම කණ්ඩායම සතුව ඇතැයි ද හෙතෙම එහිදී තවදුරටත් කියා සිටියේය.

චමින්ද වාස් – දමිතා අබේරත්න එක අදහසක ?

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් සහ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමේ සූදානමක් පවතින බව පැවසේ.

ඒ සදහා මේ වන විටත් සමගි ජන බලවේගයේ නායකත්වය ඇතුළු ගම්පහ දිස්ත්‍රියක්යේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එයට කැමැත්ත පළකර ඇතැයිද සදහන්ය.

ධම්මික පෙරේරාගෙන් කුසගිනි නිවන වැඩපිළිවෙලක්

මෙවර ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් නම් කියවෙන ව්‍යාපාරික ධම්මික පෙරේරා ගම සංවර්ධනය කරමින් ග්‍රාමීය ප්‍රජාවගේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ප්‍රයෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබේ. දැනට ඇති ආර්ථික ප්‍රශ්න නිසා පීඩිතව සිටින ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ කුසගින්න නිවීම තම අරමුණ බව ධම්මික පෙරේරා පවසයි.

ඒ සඳහා සෑම ගමකම පන්සල, පල්ලිය, කෝවිල වැනි පොදු ස්ථානයක ප්‍රජා මුළුතැන්ගෙයක් (පොදු කුස්සියක්) පිහිටුවන බවත් ගමේ ඉන්න, කෑම වේල සපයා ගන්නත් බැරි තරම් ඉතාම දුප්පත් පවුල්වලට ඒ ප්‍රජා මුළුතැන්ගෙයින් කෑම සපයන බවත් එහි වියදමින් 50%ක් රජයෙන් ලබාදෙන අතර ඉතිරි මුදල ගමේ දානපතියන්ගෙන්, සමිති සමාගම්වලින් සපයා ගත යුතු බවත් ඔහු සඳහන් කරයි.

ළමා අධ්‍යාපනයටත් විසඳුම්

එසේම ගමේ පෙරපාසල ඇමරිකාව වගේ ලෝකයේ දියුණු රටවල්වල පවතින ආකාරයේම මේස පුටු, සෙල්ලම් බඩු වලින් සමන්විතව නවතම ආකාරයට ගොඩනගන බවත් ලෝකයේ දියුණු රවටවල්වල පෙරපාසල් ළමයින්ට උගන්වන ආකාරයටම ඩිජිටල් තිර සහිත ස්මාර්ට් පන්ති කාමර ලබාදී ගමේ පෙරපාසල් ළමයින්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබාගන්න අවස්ථාව ඇතිකරන බවත් ඔහු සඳහන් කරයි.
“ළමයින්ගේ මොළය 90%ක්ම වර්ධනය වෙන්නේ උපතේ සිට වයස අවුරුදු 5 දක්වා කාලය තුළ නිසා මේ පෙරපාසල් අධ්‍යාපනය හොඳම මට්ටමින් ලබාදීම ඒ ළමයින්ගේ අනාගතයට ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මේ ක්‍රමයට පෙරපාසල් පවත්වාගෙන යන ගුරුවරුන්ට එක් ළමයෙකු වෙනුවෙන් රුපියල් 1,500 බැගින් දීමනාවක් ලබාදෙනවා.
ගමේ පාසලට ස්මාර්ට් පන්ති කාමර දීලා කොළඹ ජනප්‍රිය පාසල්වල දූදරුවන් හා සමානවම එකම අධ්‍යාපනයක් ලබාදෙනවා. ඒ ඒ විෂයයට ලංකාවේ ඉන්න හොඳම ගුරුවරුන්ගෙන් ගමේ දූදරුවන්ටත් ගමේ පාසලේදීම ඉගෙන ගන්න පුළුවන්. මේ ක්‍රමය හැදුවාම ආයෙත් අධ්‍යාපනයේදී “කොළඹට කිරි – ගමට කැකිරි” කතාවක් නෑ. ධම්මික පෙරේරා සඳහන් කරයි.

රන්ජිත් බණ්ඩාර නැවතත් කෝප් කමිටුවට ?

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව ) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා 24 ක් සඳහා පත් කෙරුණු සාමාජික මන්ත්‍රී නාමාවලිය මේ වන විට ප්‍රසිද්ධියට පත්කර තිබේ.

නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් කමිටුව) සාමාජික මන්ත්‍රී ලේඛනයට එම කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ නමද ඇතුළත් වීම විශේෂත්වයකි.

නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය රංජිත් බණ්ඩාරට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ විමර්ශනවලදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විවිධ පාර්ශව වලින් පසුගිය කාලයේදී බරපතළ චෝදනා එල්ල විය.
එසේම පාර්ලිමේන්තුව වාර අවසාන කරනු ලැබුවේ ඔහු එම තනතුරින් ඉවත් කිරීමට බවටද දේශපාලන ලෝකයේ කතා බහක් පැවතිණ. එසේ තිබියදී මේ ආකාරයට නැවත පත්කිරීම පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ආයතනයකට තරම් නොවේ.

ජනතාවට අපහාස කල CEB ඉංජිනේරුවා

ජනතාවගේ විදුලිය කැපීමෙන් බිලියන ගනනක් ලාභ ලබන ලොව එකම ආයතනය ලංකා විදුලි බල මණ්ඩලය බවට සැකයක් නොමැත. ලොව වැඩිම විදුලිය ගාස්තුවක් පවත්වා ගනිමින් ජනතාවට අපහාස කරන මෙවන් ආයතන ලොවේ කිසිදු තැනක නැත.ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර X පණිවුඩයක් නිකුත් කරමින් නොයෙල් ප්‍රියන්ත ඉල්ලා අස්වූ බව නිවේදනය කර තිබුණි.

දරුවන්ට පාඩම් කිරීමට කුප්පි ලාම්පු එළිය ප්‍රමාණවත් බවට ප්‍රියන්ත පසුගියදා මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් මහත් ආන්දෝලනයක් ඇති කළ අතර, ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය කනගාටුව පළ කර තිබුණි.

ප්‍රියන්ත මහතා සිය ඉල්ලා අස්වීම ලබාදුන් බවත්, සිය ප්‍රකාශයට ජනතාවගෙන් සමාව ඉල්ලා ඇති බවත් විදුලිබල මණ්ඩලයේ කළමනාකාරිත්වය තමාට දැන්වූ බව පවසන අමාත්‍යවරයා, වැඩිදුරටත් පවසා ඇත්තේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් නිසි පියවර ගැනෙනු ඇති බවයි.මෙම ප්‍රකාශය පාර්ලිමේන්තුවේද දැඩි ලෙස විවේචනයට ලක්වූ අතර, ඒ ගැන සොයා බලා විනය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය. කෙසේ වෙතත් ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් දැඩි විනයානුකූල පියවරද ගත යුතුව තිබේ. මහජන මුදලින් අසීමිත වැටුප් ලබා මෙවැනි නිලධාරීන් සම්බන්ධයෙන් පමණක් නොව විදුලි බල මණ්ඩලයේ අසීමිත වැටුප් සම්බන්ධයෙන්ද පියවර ගත යුතුය. සාමාන්‍ය ඉංජිනේරුවකු ලබන වැටුපට වඩා රුපියල් ලක්ෂ හතරක පමණ වැටුප් හා දීමනා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට ලබා දීම වහාම නතර කරන්නට රජය කටයුතු කල යුතුය. මේ වැටුප් විෂමතා ඉවත් නොකළහොත් විදුලි බිල කොතරම් වැඩි කලද මේ වැටුප් ගෙවීමට ප්‍රමාණවත් නොවනු ඇත.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan