ජීවත් වෙන්න සල්ලි කොච්චර තිබ්බොත් ඇතිද ?
කෝටියක්, දෙකක්, පහක්, දහයක්
නැත්නම් අර කාටදෝ ලොතරැයිය ඇදුණා වගේ
කෝටි හැට දෙකක් ?
පදිංචි වෙන්න හොඳම රට මොකක්ද ?
නවසීලන්තය, ඕස්ට්‍රේලියාව
සකුරා මල් පිපෙන ජපානය,
ලෝකෙන් බලවත්ම එක්සත් ජනපදය ?
සතුටින් ඉන්න ඕනෑ මොනවාද ?
සැප පහසු ගෙයක්, බ්‍රෑන් නිව් වාහනයක්
රස්සාවක් නොකර ඉන්න ලොකු බැංකු තැන්පතුවක්
ලස්සන බිරිඳක්, හුරතල් දරුවෙක්
ලක්ෂයක් පරිජනයා ඉන්න ෆේස්බුක් පිටුවක් ?
ඔය මොකුත් බැරිනම් අරක්කුම ලොරියක් ?
සැනසීම ගෙනෙන්නේ කෝකද ?
අමා මහ නිවනද,
ස්වර්ග රාජ්‍යයද,
රාජ්‍යයත් ඉවත් කළ කොමියුනිස්ට් සමාජෙද ?
උත්තරේ නොලැබෙන බවත් නොදැනම
හඹා යන එක
උත්තරේ කොහේවත් නැති බව දැන දැනම
ඔහේ යන එක
මේ දෙකෙන් හොඳ කෝකද ?
බිලියනයක් තරු ධූලි වළා’තර
අහම්බෙන් එකක බිහිවුණ
වැලි කැටයක් තරම් මොළයක
නියුරෝන සෛල අගිස්සෙන් කොටන
පුංචිම පුංචි අකුණු ද
පරමාණු තරම් ග්‍රන්ථින්ගෙන් වෑහෙන
නානා විධ හෝර්මෝන ද
මේ දැනුත් නුඹව රවටනවා විය හැකිය !
එම්බා මිනිස,
දැනුම නම් වධකාගාරයේ
ලේ වැකුණු යකඩ දොර
සරනේරු හඬ ක්‍රීං ගා ඇසෙන විට
එතැනින් පැනගැන්ම සුදුසු ය.
හිස් බවේ බියකරු මහා කළු කුහරය
මුණ ගැසෙන්නට පෙර
පැනගැන්ම හොඳටෝම සුදුසු ය
එම්බා මිනිස,
මේ දැනුත් නුඹ
රැවටුණා වෙන්නටත් පුළුවන !
~ රුවන් නෙලූ




