සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි, 26 කොළඹ (LNW): අපනයනය ඉළක්ක කර ගනිමින් තැඹිලි වගා කිරීමේ දෙවන ගම්මානය මුරුතවෙල රළුව ගම්මානය ආශ්‍රිතව ස්ථාපිත කිරීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් සිදු විය. එහිදී තැඹිලි ගෙඩියක් රුපියල් 2000ක මුදලකට අපනයනය කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
තැඹිලි අපනයනය සඳහා වගා කිරීමේ පළමු ගම්මානය පහල මුරුතවෙලින් පසුගිය වසරේ දී ආරම්භ වූ අතර මෙම ගම්මාන දෙක තුළ තැඹිලි පැළ 10,000ක් රෝපණය කිරීමට නියමිත බව සඳහන් වේ.
මේ වනවිට ශ්‍රී ලංකාවේ තැඹිලි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාල ඉල්ලුමක් පවතී.
ඊට අමතරව තවත් රටවල් ගණනාවකින් අපේ රටේ නිෂ්පාදනය කෙරෙන තැඹිලි සඳහා ඉහළ ඉල්ලුමක් තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් පමණ අපනයනය කෙරේ. තැඹිලි අපනයනය කිරීමෙන් 2022 දී රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති අතර,පසුගිය වසරේ දී වසරේදී (2023) අපේක්ෂිත ආදායම රුපියල් බිලියන හයක් විය.
තැඹිලි ශ්‍රී ලංකාවට ආවේණික බෝගයක් වන අතර රටවල් ගණනාවක් තැඹිලි වගා කිරීමට උත්සාහ කළ ද ශ්‍රී ලංකාවේ තැඹිලි තරම් උසස් රසයක් නොමැතිවීම නිසා එම උත්සාහයන් අසාර්ථක වී ඇති බව වාර්තා වේ,
මේ නිසා තවමත් මෙරට තැඹිලි සදහා ලෝක වෙළෙදපළ තුළ පවතින ඒකාධිකාරය ශ්‍රී ලංකාව සතුව පවතී. මෙම තත්ත්වයෙන් උපරිම ඵල නෙලා ගැනීම සඳහා තැඹිලි වැවිලි බෝගයක් ලෙස මින් ඉදිරියට වගා කිරීමටත් විශේෂයෙන් මුරුතවෙල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් ඒ සඳහා යොදා ගෙන තිබේ.ඒ අනුව දෙවන තැඹිලි වගා ආදර්ශ ගම්මානය වශයෙන් රළුව ගම්මානයේ වගා කටයුතු සදහා තැඹිලි පැළ 1600ක් ඊයේ (25) අමාත්‍යවරයා අතින් ගොවි ජනතාව වෙත බෙදා දුන්නේය.

ලෝකයේ රසවත්ම තැඹිලි ශ්‍රී ලංකාවේ තැඹිලි වේ. එම නිසා Sri Lanka Sweet Coconut සන්නාමය සහිතව ඉදිරියේ දී මෙරට තැඹිලි ලොව තුළ ජනප්‍රිය කරවීම සඳහා පියවර ගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකසන ලෙස පොල් සංවර්ධන මණ්ඩලයට හා පොල් සංවර්ධන අධිකාරියට ලබා දී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් ගණනාවක අප රටේ තැඹිලි අලෙවි වන්නේ ගෙඩියක් රුපියල් 1500 සිට 2000 දක්වා වැනි මුදලකට වේ. අපේ රටේ තැඹිලි සඳහා ලොව කිසිදු රටකින් මෙතෙක් තරඟයක් එල්ල වී නැත. දැන් තරගය පවතින්නේ අප රටේ ව්‍යාපාරිකයින් අතරය. වසරකට තැඹිලි කන්ටේනර් 200ක් ඩුබායි වෙළෙද පොලට අපනයනය කරනු ලබයි.

දැනට අප රටට තැඹිලි අපනයනයෙන් එක් ගෙඩියකට ලැබෙන්නේ රුපියල් 1000ක් වැනි අඩු මුදලකි. මෙම ප්‍රමාණය රුපියල් 2000ක මට්ටමෙන් පවත්වාගෙන යාමට අපනයනකරුවන් එකඟතාවය පළ කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළ අතර, ඉදිරියේ දී අප රටේ ප්‍රධාන අපනයන බෝගය තැඹිලි බවට පත්වීම නොඅනුමානය,
දැනටත් ලෝකයේ ඇති ඉහළ ඉල්ලුමෙන් සියයට 02ක්වත් අපිට ලබා දීමට නොහැකි බවත්, ඒ නිසා තැඹිලි වගාව රටපුරා ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා ලෙස තමන් පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා පවසයි.
