වලාකුළ, ගුරුත්වය සහ මම

කුර ගා පැමිණ තනිවී හුදෙකලාවක
හදවත හඬන මොහොතක මංමුලාවක
තනිකම බදා හිත වැලපෙන වෙලාවක
වරුසාවකට වැඩි දේ ඇත වලාවක

තබා අහස මත ඉකිලන මා මනස
ඔහේ හිඳින මොහොතක පෑබර සවස
මගේ හැඟුම් අහසට දැනෙනා විගස
වලාකුළක් නැවතී බැලුවා ම’දෙස

ඉඳගෙන සිටින මොහොතක මා ලගින පිලේ
සිතුවිලි ඉපිද පාවී නුබ කුසට ඇලේ
පාළුව දරනු බැරි කිරලෙකු හඬන වෙලේ
මට නෑකමක් දැනුණා ඒ වලාකුළේ

දරා සිටින වරුසාවක බර ද රැක
ඔහේ පාව යයි ඉරණම වලාවක
නබෝගැබට නොකියන එක තමයි දුක
වලාකුළක ආදරයක් තිබිය හැක

පෙරා පාට විසිතුරු ඉඳුදුනු ගිහිණී
අහා නබෝ ගැබ සොඳුරු ය අති රමණී
උලා කකා සිටිනා මා දුටු බැවිනී
මගේ මොකක් හරි ආකාසෙට දැනුණී

විඳිනා ඉඩෝරය කලතන දිය බිංදූ
හිඳෙනා වැවෙන් වැව ආකාසෙට කැන්දූ
බඳිනා වලාකුළු නිල් ගුවනේ රැන්දූ
අත ගා බලනවද ඇවිදින් සුර ලන්දූ

ගලා හැලෙන විට වැසිදිය පියසි මත
බොහෝ හැඟුම් නොපෙනී ඉහිරිලා යත
නබෝ ගැබටවත් නොකියූ රහස වෙත
පොළෝ ගැබේ උණුහුම යළි දැනෙනු ඇත

වැවකට උරුම පත්ල ය රොන්මඩ තලප
ඒ තුළ දිරාපත් වෙයි පිළිහුඩු කුණප
කකියා කැකෑරෙන කල පොළොවක වලප
සියළු ම කාලගුණ මාපක කුණුහරුප

තලා පෙළා මිරිකන ඉරණමක රැකී
මෙලෝ රහක් නැති දිවියක සිහින දකී
අහෝ වලාකුළු මට බෝ දුර ය සකී
පොළෝ ගුරුත්වය ඇණයකි හෙනහුරෙකී

~ කුමාර හෙට්ටිආරච්චි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...

කුමුදු කුමාරසිංහගේ නවකතාවක් සහ කෙටිකතා පොතක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ලේඛිකා කුමුදු කුමාරසිංහ විසින් රචිත කෘති ද්විත්වයක් දොරට...