පසුගිය දවසක එක්තරා මාධ්‍ය හමුවකදී කියවුණා “මේ ආණ්ඩුව එක ටෙලිෆෝන් කෝල් එකකින් දණ ගස්වන්න පුළුවන්“ කියල. බැලූ බැල්මට ඒ කතාව ආණ්ඩු විරෝධීන්ගේ ගැලරි ආතල් එක උස්සන කතාවක් තමයි. හැබැයි ඉතින් පේන දේ ඇත්ත නං විද්‍යාවක් අවශ්‍ය නොවේ කියලා මාක්ස් කියලා තියෙනව. මාක්ස් එහෙම කියල නොතිබුණත් මේ වගේ ප්‍රකාශ ගැන ටිකක් හොයල බලන්න වටිනවා.
අපි දන්නා විදිහට නම් ජනවරමෙන් පත්වෙච්ච ආණ්ඩුවක් දණ ගස්වන්න පුළුවන් ජනවරමකින් විතරයි. ප්‍රජාතන්ත්‍රවාදිව මැතිවරණයකින් ආණ්ඩු වෙනස් කිරීම තමයි පිළිගත් විදිහ. එතකොට එහෙනං මොකක්ද ඔය මේ කියන දණ ගස්සන ක්‍රම ? මාරයිනේ. කාගෙන්ද ඒ කෝල් එක එන්නේ ? ආගමික කණ්ඩායමක ජාත්‍යන්තර නායකයෙක්ගෙන්ද එහෙමත් නැත්නම් දෙයියන්නාන්සේගෙන්ද ?
මෙහෙමයි. මේ ආණ්ඩුව එක්ක අපට දහසක් ප්‍රශ්න තියෙනව තමයි. ඇත්තටම කිව්වොත් ආණ්ඩුව එක්ක එකඟ වෙන්න පුළුවන් කරුණු එකක්වත් නැති තරම්. ඒ තරම් `හොඳටම කරන` ආණ්ඩුවක් මේක. හැබැයි මූණත් එක්කල තරහවෙලා නහය කපා ගන්නවට වඩා දේශපාලනිකව සංකීර්ණයි ආණ්ඩුව එක්ක තරහ වෙලා ස්වෛරීත්වය කපා ගන්න එක.
මේවා ඉතින් විසිල් වදින කතා නෙමෙයි. තිත්ත දැනෙන කතා. හැමෝම ලියන චූන් කතා ලියන්න නං තවත් දේශපාලන කොලමක් ඕන නෑනේ. ඒ නිසා අපි තිත්ත වුණත් හෘදය සාක්ෂියට එකඟව ලියනවා. මොකද අපට පොදු ජනයාගේ ඉරණම එක්ක මිසක් වෙන කාත්තෙක්කවත් විශේෂ ආදරයක් නැති නිසා. බුදුන් වහන්සේට යේසුස් වහන්සේට නබි තුමාට අපි ගරු කරනවා. හැබැයි පසුකාලීනව ගොඩනැගුණු කොයි සංස්ථාවත් අපට එකයි.
ලෝකයත් එක්ක සාමුහිකව ඉදිරියට යාමේදී ලෝක සම්මුතීන් එක්ක එකඟව ඉස්සරහට යන එක තමයි ශිෂ්ටත්වය. ඒක ගැන විවාදයක් නැහැ. මානව හිමිකම් මානව නිදහස මේ හැමදෙයක්ම ඕන. ලෝකය අපිව ශිෂ්ට රටක් හැටියට පිළිගන්නේ එතකොට. සංස්කෘතිකයි. එකඟයි. හැබැයි අර ඉස්කෝලේ යන කාලේ වලිවලදී අයියල දාල ගස්සනවා වගේ වැඩ දේශපාලනයට අදාළ ජාත්‍යන්තර ගනුදෙනුවලදී කරන්න යන එකට එකඟ නැහැ. සංස්කෘතික නැහැ.
විශේෂයෙන්ම ජාතික ආගමික වශයෙන් ප්‍රජාවන් බෙදාගෙන කරන පෙනී සිටීම් කොයි අතින් ගත්තත් පසුගාමීයි. ගෝත්‍රිකයි. මොකද, සිංහලයාගේ මානව හිමිකම් දෙමළාගේ මානව හිමිකම් මුසල්මානුවාගේ මානව හිමිකම් බෞද්ධයාගේ මානව හිමිකම් කතෝලිකයාගේ මානව හිමිකම් හින්දු භක්තිකයාගේ මානව හිමිකම් තියෙන්න පුළුවන්ද ? මානව හිමිකම්. එච්චරයි.
අපි දිගටම කියාගෙන ආව දෙයක් තමයි දේශපාලන හා ආගමික යෂ්ඨි එකිනෙක මාරුකරවන්න එපා කියන එක. ලෝක සම්මුතීන් ආරක්ෂා කරන්න නිල ව්‍යුහයන් තියෙනවනේ. ඒ ඇති. ලංකාවේ දේශපාලනයට අතපෙවීම කියන කාරණාවේදී මල්වතු අස්ගිරි පාර්ශව සම්බන්ධව එක මතයකුත් වතිකානය හෝ මක්කම සම්බන්ධව තව මතයකුත් තියෙන්න බැහැනේ. ලොකු වුණත් පොඩි වුණත් සන්දර්භය එකයි.
මේ වගේ දේවල්වලට පළමු වටයේදී නිවැරදි විවේචනය නොගෙනාවොත් දෙවෙනි වටයේදී හෝ තුන්වෙනි වටයේදී පරක්කු වැඩිවෙන්න පුළුවන්. ප්‍රින්සිපල්ට පැමිණිලි කරන්න ඕන කරුණුවලට, අයියල දාල ගස්සන්න ගියොත් ගෙවල්වල මිනිස්සුත් වලියට පැටලිලා ගමේ මිනිස්සුත් වලියට පැටලිලා පිහි ඇනුම්වලින් මිනීමැරුම්වලින් තමයි ඉස්කෝලේ වලිය කෙළවර වෙන්නේ.
ඉස්කෝලේ ඉන්න නගරන් චන්ඩියා, ප්‍රින්සිපල්ට අවනත වෙන්නැත්තන් පියවරෙන් පියවර තමයි ඉස්සරහට යන්න ඕන. ගමේ අය සාමකාමී උද්ඝෝෂණයක් කරන මොහොතක් අනාගතයේදී එන්න පුළුවන්. හැබැයි ඒක කරන්නත් ඕන “අපේ එකාට ගහපු එකාට රිටන් එක දෙන්න ඕන“ කියන තැනින් නෙමෙයි “සියලු පාසල් දරුවන්ගේ ආරක්ෂාව සහතික කරනු“ කියන තැනින්.
අපි ඉතාම උවමනාවෙන් ආණ්ඩු විරෝධී ප්‍රගතිශීලීන්ගෙන් ඉල්ලනවා, ළඟ පිකප් පාර්ශ්වයන් එක්ක ගනුදෙනු කරනකොට විචාරශීලීව ගනුදෙනු කරන්න කියල. නැත්නම් වෙන්නේ, “ඔන්නොහෙ කමක් නැහැ“ කියල එන එන විදිහට උළුවස්ස ගහන්න. එතකොට පරක්කු වැඩිවෙන්න පුළුවන්. අපි භෞතිකවාදීන්ට මතක් කරන්න කැමතියි දෙයියන්නාන්සේ කවදාවත් ඕගොල්ලන්ගේ පැත්තේ නොහිටිය බව. දැන් ඉන්නවා වගේ පේනවා නං ඒකට හේතුව `පොඩ්ඩක් කල්පනා කරලා` බැලිය යුතු බව.