මේක පොරොන්දුවක් ඉටු කරන්න ලියන සටහනක්. හරියටම කියනවානම්, පහත ප්‍රශ්නයට පිළිතුරක්.
“ආර්ථික විද්‍යාව දන්නෙ නැති මට පොඩි ප්‍රශ්නයක් ආවා අද මිරිස් ගැන ප්‍රවෘත්තියක් දැකලා. මේක වීඩියෝවට අදාල ඇති. ලංකාවට මිරිස් ටොන් 55000 ඕන වෙනවා අවුරුද්දට, අපි 5000 නිෂ්පාදනය කරනවා. 50000 පිට රටින් ගේනවා.(වැඩිම හරියක් ඉන්දියාවෙන්). වියදම ඩොලර් මිලියන 110 විතර.ඒ කියන්නෙ අර trade deficit එකෙන් බිලියන 2 කට කිට්ටුයි.
ඉන්දියාව ගොවීන්ට විශාල වශයෙන් සහනාධාර දෙනවා. අපනයනය කරනවනම් වැඩියෙන් සහනාධාර දෙනවා.( ඉන්දියාවෙ GDP එකෙන් 2% ගොවි සහනාධාර)
බොහෝ විද්වතුන් මේ දවස්වල කියන විදිහට අපි ගොවීන් ආරක්ෂා කරන්න තීරු බදු දාන්න නරකයි. සහනාධාර දෙන්නත් නරකයි. අපේ මිරිස් ගොවීන් ඉන්දියාවෙ ආණ්ඩුවේ සහය ලබන ගොවීන් සමග සහයක් නැතිව තරඟ කරන්න ඕන.බැරිනම් ගොවිතැන අතාරින්න ඕන.
අන්තිමට ගොවියට වෙන්නෙ බිරිඳ, දුව මැද පෙරදිග යවලා ලැබෙන රියාල් දීල මිරිස් ගන්න.
මට හිතෙන්නෙ මෙතන යම් නොගැලපීමක් තියනවා කියලයි. දන්නෙ නැති නිසයි අහන්නේ. පහදා දුන්නොත් කෘතඥ වෙමි.
ස්තූතියි.”
පිළිතුර ලිවීමේදී මම ඉහත ප්‍රශ්නය ඇතුළේ තිබෙන කරුණු පරීක්ෂාවට ලක් කරන්නේ නැහැ. ඇතැම් විට මේ ඇතැම් කරුණු නිවැරදි නොවෙන්න පුළුවන්. මම එය අදාළ කරගන්නේ නැහැ. මොකද මේ කතාවම ප්‍රබන්ධයක් වුනත් (මම එහෙම කියන්නේ නැහැ) අහලා තිබෙන ප්‍රශ්නය වැදගත් ප්‍රශ්නයක්.
පළමු ගැටළුව මෙහි තිබෙන “නොගැලපීම” කුමක්ද?
මේ “නොගැලපීම” හිටපු ගොවියාගේ බිරිඳ, දුව මැද ගිහින් එවන රියාල් වලින් හිටපු ගොවියා කඩෙන් මිරිස් ගන්න එකනම්, ඒකේ මට ප්‍රශ්නයක් පේන්නේ නැහැ.
මට අවශ්‍යනම් වත්තේ මිරිස් වවාගන්න පුළුවන්. නමුත් මම වත්තේ මිරිස් වවන්නේ නැහැ. සල්ලි දීලා කඩෙන් මිරිස් ගන්නවා. මම හිතන විදිහට ඒකේ කිසිම නොගැලපීමක් නැහැ.
මම වත්තේ මිරිස් නොවවා කඩෙන් මිරිස් මිල දී ගන්නේ ඇයි?
පළමුව, මට කඩෙන් මිරිස් ගන්න සල්ලි තිබෙන නිසා. දෙවනුව, වත්තේ මිරිස් වවලා ඒ මිරිස් ගස් නඩත්තු කරන්න යන කාලය කඩෙන් මිරිස් ගන්න යන මුදලට වඩා වටින නිසා.
දැන් ඔය කතාවම අර ගොවි පවුලටත් ආදේශ කරන්න පුළුවන්. ඔය ගොවියා මිරිස් වවන්න කාලය නොයොදවා බිරිඳ හෝ දුව එවන සල්ලි වලින් කඩෙන් මිරිස් මිල දී ගනිද්දී වෙන්නෙත් මම කඩෙන් මිලදී ගනිද්දී සිදුවන දෙයම තමයි. මම මොන හේතුවක් නිසා හෝ මිරිස් වවන්න කැමති නැත්නම්, ඒ කතාවම වෙන කෙනෙකුටත් අදාළ නොවෙන්න හේතුවක් නැහැනේ.
අපි මෙහෙම පටන් ගනිමු. දඹුල්ල, කුරුණෑගල වගේ පැත්තක මිරිස් වන ගොවි පවුලක් ඉන්නවා. ගොවි පවුලේ දුව ඉගෙනගෙන ගණකාධිකාරිනියක් වෙලා කොළඹ පෞද්ගලික සමාගමක හොඳ වැටුපක් ගන්න රස්සාවකට යනවා. ඉගෙන ගන්න වියදම් කරන්නේ දෙමවුපියන් විසින් මිරිස් වවලා හම්බ කරපු සල්ලි. රස්සාවට ගියාට පස්සේ දැන් මේ දුව දෙමවුපියන්ට කියනවා මිරිස් වවන්න මහන්සි නොවී විවේකයෙන් ඉන්න කියලා. මාස්පතා දෙමවුපියන්ගේ නඩත්තුවට මුදලක් එවනවා. අවුලක් තියෙනවද?
ඔහොම ඉන්න අතරේ දුවට මැදපෙරදිග රැකියාවක් ලැබෙනවා. දැන් දුව ගෙදරට රියාල් එවනවා. කලින් වැඩේම වෙනවා. දෙමවුපියන් මිරිස් වවන එක නවතිනවා. අවුල්ද? අර දුවත් දෙමවුපියන් වගේම මිරිස් වවන එකම කළ යුතුද?
ඔහොම වෙන්නේ නැතිව දුව ඇඟලුම් කම්හලක රැකියාවට ගියා කියමු. එහෙම නැත්නම් දුව හෝ බිරිඳ මැද පෙරදිග ගෘහ සේවිකා රැකියාවකට ගියා කියා හිතමු. ඒත් ඕකේ ආකෘතිමය වෙනසක් නැහැනේ. එහෙම වෙනසක් පේනවානම් ඒ පේන්නේ සමහර රැකියා පහත් රැකියා ලෙස දකින නිසා පමණයි.
සමහර විට මැද පෙරදිග රැකියා වලට යාම නිසා ඇතිවන වෙනත් අතුරු ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත්, ඒවා මිරිස් කතාවට අදාළ නැහැ.
දෙවන ප්‍රශ්නය ඉන්දියාවෙන් එන මිරිස් වලට තීරු බදු නොගහන නිසා ලංකාවේ මිරිස් ගොවියාගේ තරඟකාරිත්වය නැති වෙලාද කියන එක. ප්‍රශ්නයේම තියෙන තොරතුරු අනුව, අවුරුද්දකට මිරිස් ටොන් 5000ක් ලංකාවේ නිෂ්පාදනය කරනවා. එහෙම කරන්නේ මිරිස් විකුණලා ලාබයක් ලබා ගන්න පුළුවන් නිසා. ඒ විදිහට මිරිස් වවන අයට ඉන්දියාවෙන් එන මිරිස් එක්ක තරඟ කරන්න පුළුවන්. ඒ නිසා, මෙතැන ප්‍රශ්නය ඉන්දියාවේ මිරිස් නෙමෙයි.
දැන් ඉන්දියාවෙන් එන මිරිස් වලට තීරු බද්දක් දැම්මහම වෙන්නේ කුමක්ද? ඉන්දියාවෙන් එන මිරිස් ගණන් යනවා. ඒ එක්කම ලංකාවේ මිරිසුත් ගණන් යනවා. මිරිස් වවන එකේ ලාබ වැඩි වෙන නිසා මිරිස් වවන ප්‍රමාණය ටිකක් ඉහළ යයි. ඉන්දියාවෙන් මිරිස් එන එක ටිකක් අඩු වෙයි. සමහර විට මිරිස් ගොවියාගේ බිරිඳට මැදපෙරදිග යන්න අවශ්‍ය නැති වෙයි.
දැන් මිරිස් ආනයන වෙනුවෙන් රටින් යන ඩොලර් ටිකක් ඉතිරි වෙලා. නමුත්, අනෙක් පැත්තෙන් මැදපෙරදිගින් එන රියාල් අඩු වෙලා නිසා රටට වාසියක් නැහැ. ඒ වගේම ගොවි පවුලේ ජීවන තත්ත්වය ඉහළ ගිහිනුත් නැහැ. කලින් වෙනත් රැකියාවක් කරලා හොයපු මුදල දැන් මිරිස් වලින් හොයනවා. එච්චරයි.
අන්තිමට රටට ඩොලර් ඉතිරියක් හෝ ගොවි පවුලේ ආදායම් වැඩි වීමක් ලොකුවට නැහැ. නමුත් පාරිභෝගිකයින් විසින් මිරිස් වලට ගෙවිය යුතු මිල වැඩි වෙලා. හැබැයි රජයේ පැත්තෙන්නම් වාසියක් තිබෙනවා. මිරිස් වලට වැට් වගේ බද්දක් ගහලා රජය විසින් පාරිභෝගිකයින්ගෙන් මුදලක් එකතු කරගත්තා වගේ වැඩකුයි වෙලා තියෙන්නේ. බදු මුදල් වලින් රජය නඩත්තු කරන්න පුළුවන්.
එතකොට ඉන්දියාව ගොවීන්ට සහනාධාර දෙනවානම් ලංකාවත් ලංකාවේ ගොවීන් ආරක්ෂා කරගන්න සහනාධාර දිය යුතු නැද්ද?
ලංකාවේ ගොවීන් ආරක්ෂා කරගත යුතු ඇයි? ගොවීන්ට කළ හැකි විකල්ප රැකියාවක් නැත්නම්, ඒ නිසා ඔවුන්ව රජයෙන් නඩත්තු කරන්න වෙනවානම්, ගොවීන්ගේ රැකියා සුරක්ෂිත කරන එකේ තේරුමක් තියෙනවා. එහෙම නැතුව ගොවි පවුලේ කවුරු හෝ මැද පෙරදිග ගිහින් හෝ රට ඇතුළේම වෙනත් රැකියාවක් කරලා සල්ලි හොයනවානම් ඔවුන්ව මිරිස් හේනටම හිරකරලා තියන්න හිතන එක වුනත් අන්ත පසුගාමී අදහසක්.
ඉන්දියාව මොකක් හෝ හේතුවක් නිසා ඉන්දියාවේ ගොවීන්ට සහනාධාර දෙනවානම් එය ඉන්දියාවේ ප්‍රශ්නයක්. ඒ මිරිස් ලංකාවට ලාබෙට එනවානම්, එයින් අදහස් වෙන්නේ ඉන්දියාවේ බදු ගෙවන්නන්ගේ මුදලින් ලංකාවේ පාරිභෝගිකයා සුබසාධනය කෙරෙන බව. ඉතිං කොයි තරම් හොඳද? ඕක වෙනස් කරන්න මහන්සි විය යුත්තේ ඇයි?
ඔය විදිහට ගියොත් රටේ කිසිම නිෂ්පාදනයක් වෙන එකක් නැහැනේ. හැමදේම පිටරටින්ම ගේන්න වෙනවානේ!
ඉතිං මොකක්ද අවුල? කොළඹ නගර සභා සීමාව වගේ කොටසක් ගත්තොත්, ඔය කොටසේ කෘෂිකාර්මික නිෂ්පාදනයක් සිදු නොවෙන තරම්. නමුත්, වැඩිපුරම බඩගින්නේ ඉන්නේ ඒ අයද නැත්නම් මිරිස් වවන පැති වල අයද?
හැමදේම පිටරටින්ම ගේන්න තරම් ආදායමක් මොන විදිහකින් හෝ ලැබෙනවානම්, එහෙම ගේන එකේ අවුලක් නැහැ. ලංකාවේ ප්‍රශ්නය ණය වෙවී ආනයනය කරන එක. ඇත්ත ප්‍රශ්නය ණය මිසක් ආනයන නෙමෙයි. රජය ණය වෙන්නේ නැත්නම්, ආනයන කරන්න වෙන්නේ උපයන මුදල් වලින්. ආනයන කරන්නේ මොන විදිහෙන් හෝ උපයන මුදල් වලින්නම් එහි ගැටලුවක් නැහැ.
මිරිස් ගොවීන් සුබසාධනය කරන්නනම් වෙන කාගෙන් හරි ඒ මුදල බදු විදිහට අය කරන්න වෙනවා. තීරුබදු අවසාන වශයෙන් ගෙවන්නේ පාරිභෝගිකයා. සුබසාධනය මගින් ගොවියා ගොවිතැන ඇතුළේම හිර කරලා තියන්න පුළුවන්. එයින් වෙන්නේ ඔවුන් විකල්ප රැකියා වලට යන එක වලක්වනු ලැබීම සහ සමස්තයක් ලෙස රටේ ආදායම් වර්ධනය සීමා වීම.
ලොකු වාසියක් නැතිකමටත් වඩා මෙහි තිබෙන ප්‍රශ්නය රජය විසින් සුබසාධනය කරන්න කැමති තරමට මිනිස්සු බදු ගෙවන්න කැමති නැති වීම. එවිට සුබසාධනය කරන්න වෙන්නේ ණය වලින්. එහෙම ණය අරගෙන තමයි මේ දැන් වෙලා තිබෙන අවුල වෙලා තියෙන්නේ.
ගොවීන්ට ජීවත් වෙන්න ආදායමක් නැත්නම්, කරන්න වෙන රැකියාවකුත් නැත්නම්, අවුලක් නැද්ද?
අනිවාර්යයෙන්ම ඒකේනම් අවුලක් තිබෙනවා. කරන්න වෙන රැකියා නැත්තේ ඇයි? රටේ ප්‍රමාණවත් තරමින් රැකියා නොහැදෙන නිසා. රැකියා හැදෙන්නනම් ආයෝජන ඉහළ යා යුතුයි. ආයෝජන කරන්නේ සමාගම් විසින්. සමාගම් වලට වැඩියෙන් ආයෝජන කළ හැක්කේ ලාබ වැඩි වෙන තරමටයි. එම ලාබ මත වැඩියෙන් බදු ගහන තරමට ආයෝජන අඩු වෙලා, රැකියා අවස්ථා අඩුවෙනවා.
සමාගම් විසින් වැඩියෙන් ලාබ උපයන එක අසාධාරණ නැද්ද? එයින් ආදායම් විෂමතා වැඩි වෙන්නේ නැද්ද?
කිසිසේත්ම නැහැ. සමාගම වැඩියෙන් ලාබ උපයන තරමට රැකියා අවස්ථා වැඩි වී ආදායම් විෂමතා අඩු වෙන එකයි වෙන්නේ. සමාගම් කියන්නේ නෛතික පුද්ගලයින් මිසක් සැබෑ පුද්ගලයින් නෙමෙයි. සැබෑ පුද්ගලයින්ට මෙන් නෛතික පුද්ගලයින්ට පරිභෝජනය කරන්න බැහැ. හැබැයි සමාගම් අයිතිකාරයින්ට පරිභෝජනය කරන්න පුළුවන්. ඔවුන්ගේ ආදායම් වැඩි වෙද්දී ආදායම් විෂමතා වැඩි වෙනවා. ආදායම් විෂමතා අඩු කරන්නනම් කළ යුත්තේ සමාගම් වලට බදු නොගසා සමාගම් වල අයිතිකාරයින්ට බදු ගහන එකයි. ඒ කියන්නේ ආයතනික ආදායම් බදු වෙනුවට පුද්ගල ආදායම් බදු වැඩියෙන් අය කරන එක ලංකාවේ වෙන්නේ එහි අනෙක් පැත්ත. රැකියා හොයා ගෙන රටින් යන්න වෙන එකත් මෙහි ප්‍රතිඵලයක්.
~ ඉකොනොමැට්ටා
RN