*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පස් දෙනෙකුගේ අභාවයන් පිළිබඳ අගමැති පාර්ලිමේන්තුවේදී කළ ශෝක ප්‍රකාශය

ගරු කථානායකතුමනි,

පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් වන ආනන්ද සරත් කුමාර රත්නායක, ආර්.ආර්.ඩබ්ලිව්. රාජපක්ෂ, සෝමවීර චන්ද්‍රසිරි, පී.බී.දිසානායක සහ එච්.ආර්. මිත්‍රපාල මැතිතුමන්ලාගේ අභාවයන් පිළිබඳව  ශෝක ප්‍රකාශ යෝජනාව මේ අවස්ථාවේ මම ගරු සභාවට ඉදිරිපත් කරනවා.

ගරු කථානායකතුමනි,

පොළොන්නරුවෙන් දේශපාලනයට පිවිසි ආනන්ද සරත් කුමාර රත්නායක මහතා උතුරු මැද පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් වගේම අභාවප්‍රාප්ත වන විටත් එම පළාත් සභාවේ සභානායකවරයා ලෙස කටයුතු කරමින් සිටියා.

1977 දී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන ඔහු උතුරු මැද පළාත් සභාවේ විවිධ තනතුරු දැරුවා. 2001 වසරේදී පැවති මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැති සබයට පත් වුණා.

දේශපාලනයේ කුමන තනතුරක් දැරුවත් එතුමා එම නිලතල වලින් උඩඟු වුනේ නෑ. ඒ හැම තනතුරක්ම ඔහු භාවිතා කළේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමටයි.

පොළොන්නරුව  පලුගස්දමන විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිවරයා ලෙසත්, උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසත්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීරයෙකු ලෙසත් ඔහු පොළොන්නරුව ජනතාවට කළ සේවය අගය කළ යුතු බව මෙහිදී ප්‍රකාශ කළ යුතුයි.

ගරු කථානායකතුමනි,

1965 මහ මැතිවරණය සඳහා දොඩම්ගස්ලන්ද ආසනය සඳහා තරග කරන ආර්.ආර්.ඩබ්ලිව්. රාජපක්ෂ මැතිතුමා එම ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වුණු පළමුවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයායි.

කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන එතුමා ලංකා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්ද වෙනවා. නීති විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව වසර 50 කට ආසන්න කාලයක් නීතිඥයෙකු ලෙසත් කටයුතු කළා. කුරුණෑගල නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස නීතිඥ ක්ෂේත්‍රයට ඔහු විශාල කාර්ය භාරයක් ඉටු කරනු ලැබුවා.

1955 දී ගම් සභාව නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි රාජපක්ෂ මැතිතුමා 1960 මාර්තු සහ ජුලි මාසවල පැවති මහ මැතිවරණ දෙකට කොමියුනිස්ට් පක්ෂයෙන් හා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස දොඩම්ගස්ලන්ද ආසනයට තරගකර දෙවන ස්ථානයට පත්වුණා.

1966  දී එතුමාට එරෙහිව ඉදිරිපත් වු ඡන්ද පෙත්සමකින්  මන්ත්‍රී ධුරය අහිමි වුණා. නමුත් 1967 දොඩම්ගස්ලන්ද අතුරු මැතිවරණයට සිය භාර්යාව වන ලිලියන් ලැටීෂියා රාජපක්ෂ මැතිනිය ඉදිරිපත් කර ජයග්‍රහණය කර වන්නට එතුමාට හැකි වුණා.

2017 වසරේදී අභාවප්‍රාප්ත වුනු රාජපක්ෂ මැතිතුමා කැපී පෙනෙන සේවාවක් ඉටු කළ සමාජ ක්‍රියාකාරයෙකු බව සඳහන් කළ යුතුයි.

ගරු කථානායකතුමනි,

සමසමාජ තරුණ ව්‍යාපාරය හා එක්ව දේශපාලනයට එන සෝමවීර චන්ද්‍රසිරි මැතිතුමා 1982 වසරේදී පැවති පළමු ජනාධිපතිවරණයේදී හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට විජය කුමාරතුංග මහතා සමඟ එක්ව ක්‍රියාකාරීව සහය ලබා දුන් බව අපි දන්නවා.

1983 මහරගම අතුරු මැතිවරණයට ඉදිරිපත් වූ දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට සහාය දක්වමින්  එවක පටන් මහජන එක්සත් පෙරමුණේ ක්‍රියාකාරී නායකයකු ලෙස එතුමා කටයුතු කළා.

ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කරමින් ලංකා බැංකුව, වානේ සංස්ථාව ආදී රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට එරෙහිව වෘත්තීය සමිති සටන් ව්‍යාපාර සඳහා සෝමවීර චන්ද්‍රසිරි මැතිතුමා නායකත්වය දුන්නා.

ඒ වගේම මට මතකයි එදා පාද යාත්‍රාව සාර්ථක කර ගැනීමටත් දායක වුණා.

1997 දී මහජන එක්සත් පෙරමුණෙන් කඩුවෙල ප්‍රාදේශීය සභාවට තේරී පත් වුණු එතුමා ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළා.

2000/2001 කාලයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට  පිවිසි සෝමවීර චන්ද්‍රසිරි මැතිතුමා,  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධීක්ෂණ මන්ත්‍රිවරයා ලෙස මහත් සේවාවක් ඉටු කළ බව අපි දන්නවා.

ඒ වගේම මාගේ  ජනාධිපතිවරණ  ජයග්‍රහණ  වෙනුවෙන් ද ක්‍රියාශීලීව දායක වූ බව මෙහිදී සිහිපත් කළ යුතුයි.

2019 දී අභාවයට පත් සෝමවීර මැතිතුමා කම්කරු ව්‍යාපාරය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාර ශක්තිමත් කිරීමට සෑම විටම උත්සාහ කළා.

ගරු කථානායකතුමනි,

1963 ගුරු වෘත්තියෙන් සමාජීය සේවා අරඹන පී.බී.දිසානායක මැතිතුමා 1991 වසරේදී ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගන්නවා.

ඉන් අනතුරුව ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන එතුමා 1991 වසරේදී පළාත් පාලන මැතිවරණයට තරග කර තලාව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස පත් වෙනවා.

1993 වසරේදී පැවති උතුරු මැද පළාත් සභා මැතිවරණයෙන් පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ එතුමා 1994 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පොදු පෙරමුණ නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වුනා.

2003 වසරේ නැවතත් පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරිපත් වන දිසානායක මහතා උතුරු මැද පළාත් සභාවේ සභාපති ධුරයට පත් වෙනවා.

උතුරු මැද පළාතේ ජනතාව වෙනුවෙන් කැපී පෙනෙන සේවාවක් ඉටු කළ පි.බී. දිසානායක මැතිතුමා සෑම විටම මහජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටි බව සඳහන් කළ යුතුයි.

ඒ සඳහා ඔහුට ගුරු සේවයේ සිටියදී ලද අත්දැකීම් පන්නරයක් වන්නට ඇතැයි මා සිතනවා.

දීර්ඝ කාලයක් මහජන නියෝජිතයෙකු ලෙස කටයුතු කළ එතුමා 2015 වසරේ සිට උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත් 2018 වසරේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත් පත්වෙමින් රජරට සහ මධ්‍යම පළාත්වලට තම සේවාව සැපයූ බව සඳහන් කළ යුතුයි.

2019 වසරේදී අභාවයට පත් එතුමා දේශපාලන ක්‍රියාකාරියෙකු ලෙස කළ සේවය අගය කළ යුතුයි.

ගරු කථානායකතුමනි,

ලංකා සමසමාජ පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන එච්.ආර්. මිත්‍රපාල මැතිතුමා 1988 දී සබරගමුව පළාත් සභාවට පළමුව තේරී පත් වෙනවා. එහි විපක්ෂ නායක ධුරයත් ඔහු දරනවා. 1993 දී නැවතත් සබරගමු පළාත් සභාවට පත් වන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගනිමින්.

1994 වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත් වන අතර නැවතත් 2004 වර්ෂයේදීත් 2010 වර්ෂයේදීත් පැවති මහ මැතිවරණවලින් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වෙනවා.

ඔහු එම කාල සීමාවේදී වෙළඳ වාණිජ නියෝජ්‍ය අමාත්‍ය ධුරයත් පසුව පාරිභෝගික අමාත්‍ය ධුරයත් දරනු ලැබුවා. මා ජනාධිපතිවරයා ව සිටියදී අපගේ රජයේ ග්‍රාමීය කර්මාන්ත හා ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

මට මතකයි, 1970 මහ මැතිවරණයේදී මාගේ මැතිවරණ ව්‍යාපාරයටත් මෙතුමා සක්‍රීයව සහභාගී වුණා. සබරගමුවේ තුන්කෝරළයේ වතු කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් මිත්‍රපාල මැතිතුමා නිතර හඬ නැඟුවා. ඒ වගේම දුප්පත් ජනතාව වෙනුවෙන් අධිකරණයේ නොමිලේ පෙනී සිටිය බවත් සඳහන් කරන්න ඕනෙ.

බෞද්ධයෙකු වූ එතුමා භික්ෂු අධ්‍යාපනය වැඩි දියුණු කිරීමටත් වෙහෙර විහාර සංවර්ධනය කිරීමටත් දැඩි උනන්දුවක් හා සැලකිල්ලක් දැක්වූ බව මා පෞද්ගලිකවම දන්නවා.

දේශපාලනය ව්‍යාපාරයක් කර නොගත් එතුමා 2019 වසරේදී අභාවයට පත් වන තෙක්ම ජනතා සේවයට කැප වුණේ තම ජීවිත අවදානම ද සලකන්නේ නැතුවයි.

ගරු කථානායකතුමනි,

මා විසින් මෙතෙක් සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාගේ අභාවයන් නිසා සංවේගයට පත් එතුමන්ලාගේ පවුල්වල සියලු දෙනාට මාගේ සහ රජයේ ශෝකය මෙයින් ප්‍රකාශ කරනවා. ඒ බව එම පවුල්වල සාමාජිකයින්ට දැනුම්දෙන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

ස්තූතියි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan