සාකච්ඡාව සඳහා කෙටුම්පත 21 02 2022
අර්බුදයට මුහුණ දීමට අවම පොදු වැඩ පිළිවෙලක්
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
අද අප රට පෙර නොවී විරූ අර්බුදයක ගිලෙමින් පවතියි. එය සංසන්දනය කරනවා නම් කලයුත්තේ 2001 වර්ෂයේ නිදහසින් පසු ප්‍රථම වතාවට ආර්ථිකය සංකෝචනය කල අර්බුදයට නොවේ; 1930 ගණන් වල වසර කිහිපයක් තුල ඒක පුද්ගල දල ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් 80 සිට 33ට ඇද දැමූ ගෝලීය මහ අවපාතයට සබැඳි අර්බුදයටයි. ඊළඟ මැතිවරණය බලාගෙන කරන සාම්ප්‍රදායික පොරොන්දු දේශපාලනය තුලින් මෙයට විසඳුම් නැත. අවංකව දශක හතක කාලයක් තුල ඔඩු දුව ලද රෝගයේ මූලයන් විග්‍රහ කර, නිර්භයව සහ සාමූහිකව රෝග නිධානයන්ට පිළියම් කල යුතුය.
සාකච්ඡාව සඳහා ඉදිරිපත් කරන මෙම ලියවිල්ලේ අරමුණ වන්නේ අප සමාජයට සහ ආර්ථිකයට බලපාන සකලවිධ ප්‍රශ්නවලට පරමාදර්ශී විසඳුම් ඉදිරිපත් කිරීම නොවේ. එහි සීමිත අරමුණ වන්නේ නැවත නැවත නොවැටෙන ලෙසින් මෙම අර්බුදයන් ගොඩ ඒමට මාවතක් පාදා ගැනීමයි. අදාළ විෂය ක්ෂේත්‍රයන් පිලිබඳ දැනුමැති බුද්ධිමතුන්ගේ අදහස් ලබාගෙන කරවන ලද මෙම ලියවිල්ල තව දුරටත් දියුණු කල හැකි බව අපි විශ්වාස කරමු. ඇති කෙටි කාලය තුල සපල ප්‍රතිපල ලබාගැනීම සඳහා දෙවසරක් තුල ක්‍රියාත්මක කල යුතු විසඳුම සඳහා අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසි 5ක්, ක්ෂණිකව ගතයුතු පියවර 7ක්, සහ මධ්‍ය-කාලීනව ප්‍රතිපල දැකිය හැකි ක්‍රියාවන් 4ක් යෝජනා කරන්නෙමු.
ජනතාවට දැරිය නොහැකි අර්බුදය
අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයට සහ විශාල ලෙස මිල ඉහළ යාමට අප ජනතාව මුහුණ දෙමින් සිටිති. 2022 ජනවාරි මස වාර්ෂික උද්ධමනය 12.1% සිට 14.2%ට වැඩි විය. දෙසැම්බර මාසයේ සියයට 22.1 ව පැවති ආහාරවලට අදාළ උද්ධමනය 25% දක්වා වර්ධනය වී තිබුණි.
රූපය 1: 2021 සිට උද්ධමනය වැඩිවූ ආකාරය
වැඩි මිලට හෝ ලබාගත් ආහාර ද්‍රව්‍ය පිස ගැනීමට ගෑස් හොයාගැනීම දුෂ්කරය, දෙගුණයක් මිලය. විකල්ප ඉන්ධනවලටද මේ බලපෑම් විහිදී ඇත. විදුලි කප්පාදු පටන් ගෙනය. විදුලිය පදනම් කරගත් සුළු සහ මහා ව්‍යාපාර අමාරුවේ වැටී ඇත.
ණය කළමනාකරණය කරගැනීමේ වත්මන් දුෂ්කරතාවට හේතු වී තිබෙන්නේ ආදායම් උත්පාදනය නොකරන ව්‍යාපෘති සඳහා 2007න් පසු වාණිජ ණය ලබාගැනීමයි. 2019 වසරේදී දුරදිග නොබලා කරන ලද බදු කප්පාදුව හේතුවෙන් තත්වය උග්‍ර විය. නිදහස ලබාගැනීමේ සිටම සියලු රජයන් යටතේ පැවතුනු ද්විත්ව හිඟයන් (රාජ්‍ය ආදායම් හා ගෙවුම් හිඟයන්) හේතුවෙන් මුළු මහත් ආර්ථීකයම දුර්වල වී තිබිණ. පසු ගිය දෙවර්ෂයේ සිද්ධවුනේ විහින් රාජ්‍ය ආදායම් අඩු කර ගැනීම නිසා තවත් විදේශ ණය ලබා ගැනීම තුලින් 2007 සිට ගොඩ ගැසුණු ණය කන්දරාව කලමනාකරණය කර ගැනීමේ හැකියාව නැති කර ගැනීමයි.
රූපය 2: ශ්‍රී ලංකාවේ ණය සංයුතිය. 2010-2020 (මූලාශ්‍රය: මහ බැංකුව)
ජනතාවට පෙනෙන්නට ඇත්තේ ආණ්ඩුවට පාලනයක් නැති බවයි. කරන කරන දේ වැරදි ප්‍රතිපල ලබාදෙමින් ප්‍රශ්න තවත් උග්‍ර කරන බවයි. උදාහරණ එමටය. සියයට සියයක් කාබනික කෘෂිකර්මයේ යෙදෙන ලෝකයේ පළමු රට බවට පත් වීමේ කතාවක් කියා පොහොර ආනයනය තහනම් කළද, විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ සහ පොහොර සහනාධාරයේ බර අඩු කර ගැනීමේ අරමුණු නොතිබුනා නොවේ. අවසානයේ රටට සිදු වුයේ භාවිතා කළ නොහැකි ආනයනික පොහොර සඳහා ඩොලර් මිලියන 6.7 ක් ගෙවන්නට ය; අති විශාල මුදලක් ආනයිත ආහාර සඳහා සහ ගොවීන්ට වන්දි ලෙස ගෙවීමටය. දශක ගණනාවක් තිස්සේ අමාරුවෙන් ගොඩ නගා ගත ස්‌වයංපෝෂිතබව නැති කර ගන්නටය. කෘතිම විනිමය අනුපාතිකයක් පවත්වා ගැනීමට කරන උත්සාහය හේතුවෙන් විදේශයන්හී වැඩ කරන ශ්‍රමිකයන්ගෙන් ලැබෙන සම්ප්‍රේශණයන්ද අඩු වීමය.
අප තව දුරටත් කතා කරන්නේ අනාගත අර්බුදයක් ගැන නොවේ. එහි ගැඹුරුම තැනට තවම ප්‍රවේශ වී නැතත්, දැන් අප සිටින්නේ අර්බුදය ඇතුලේය. 2022 අයවැය ලේඛනය මගින් අර්බුදයේ මූලය වන ද්විත්ව හිඟයන්ට කිසිදු විසඳුමක් ලබා නොදුන් අතර පෙර නොවූ විරූ හිඟයන් සහ කළු කඩ වර්ධනය කරනු ලැබීය. අලුත් ආදායම් යෝජනාවලින් සියයට 50 කට වඩා එකවරකට සීමා වූ ඒවා ය. 2023 දී කුමක් වනු ඇත්ද? වියදම් කපාහැරීම් බොහෝ දුරට සංකේතාත්මක ය. අය යෝජනා රහිතව ජනවාරි මාසයේ ඉදිරිපත් කරන ලද වැය යෝජනා හේතුවෙන් අවුල තීව්‍ර වී ඇත. වැඩිම වේදනාවක් දරන්නට සිද්ධවු අවිධිමත් ආර්ථිකයේ නියැලි ජනතාවට කිසිදු සහනයක් සලසා නැත.
මෙය එක් නරක වසරක් නොවේ. මෙය දිගට ඇදෙනු ඇත. ණය ගෙවීමට නොහැකි බව (සාමාන්‍ය වශයෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක් පමණ) සහ රටේ සාමාන්‍ය පැවැත්මට අවශ්‍ය ආනයන කිරීමට නොහැකි බව සරල අංක ගණිතය මගින් පෙන්නුම් කරයි. දැන් ගන්නා පැලැස්තර පිළියම් ක්‍රියාමාර්ග මගින් සිදුවන්නේ මහජනයාගේ ජීවන තත්ත්වයන් පිරිහීම පමණක් නොවේ. එමගින් අපනයන මෙන් ම දේශීය වෙළෙඳපොළට ද නිෂ්පාදන කරන කර්මාන්තවලට හානි සිදු කරනු ලබයි. එමගින් නව ආයෝජකයින් පැමිණීම අධෛර්යමත් කරනු ලබනවා පමණක් නොව දැනට මෙහි ඇති ව්‍යවසායයන්ද පිටමං කිරීමට පාර හදනු ලැබේ. එමගින් සුළු සහ මධ්‍ය පරිමාන නිෂ්පාදන ආයතන විනාශ කරනු ලබයි. වර්තමාන අවකලමනාකරණයේ ආදීනව දශක ගණනක් තිස්සේ දකින්නට හැකි වනු ඇත.
ණය ප්‍රතිව්‍යුහගත නොකර බැරිය
2020 වර්ෂයේ දී ආර්ථිකයේ සිදු වූ සියයට 3.6 ක සංකෝචනය සිදුවිය හැකි දේ පිලිබඳ ඉඟියක් පමණකි. දකුණු ආසියාවේ වැඩිම අසමානතාව ඇති රටක් වශයෙන් (චීනයට වඩා යන්තම් ඉහළින් සහ එක්සත් ජනපදයට වඩා යන්තම් පහළින්) සහ රට වසා තැබීම්වලින් ඇති වූ හානි සඳහා අඩු ම වන්දි ගෙවීමත් සමග පහසුවෙන් යථා තත්ත්වයට පත්විය නොහැකි වන්නේ ආදායම් ලබීමේ පහළ ම දශමකවල සිටින පිරිස යි. තවත් කම්පනයන්ට මුහුණදීමට අපේ ජනගහනයේ විශාල බහුතරයකට හැකියාවක් නැත. තිත්ත බෙහෙත් ගැනීමෙන් තොරව අපට මෙම අර්බුදයෙන් ගොඩ යා නොහැකි ය. මෙම තත්ත්වය තුළ වඩවඩාත් පැහැදිලි වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහභාගිත්වය සහිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් නැතුව බැරි බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ කර ගැනීමෙන් අත්‍යවශ්‍ය මුල්‍ය ස්ථාවරබව ස්ථාපිත කර ගැනීමට ඇති සම්භව්‍යතාවය වැඩිය. නමුත් එයද වඩා පුළුල් ආර්ථිකය ගොඩ දැමීමේ වැඩ පිළිවෙලක් ඇතුලත ක්‍රියාත්මක කල යුතුය.
මීට පෙර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහන්වල දී මෙන් ලැබෙන පළමු අවස්ථාවේ දී ම විනය අතහැර දැමීම අපට කළ නොහැකි වනු ඇත. ප්‍රතිසංස්කරණ අපේ කර ගතයුතුය. එසේ නොකළ හොත් අපට ගැලවීමක් නොවනු ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනක සන්දර්භය තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බෙහෙත ගැනීමට ආණ්ඩුවේ අකමැත්තට එක හේතුවක් විය හැක්කේ ගත යුතු අමාරු පියවර වලට වගකීම බාර ගැනීමට ඔවුන්ගේ ඇති බිය යි. විපක්ෂයේ පක්ෂවලට ද අර්ථවත් කාර්යභාරයක් හිමිවන සහ එකිනෙකාට දොස් පවරාගැනීම සීමා කෙරෙන, ව්‍යවස්ථාදායකයට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්පවරා ඇති රාජ්‍ය මුල්‍ය කටයුතු පිලිබඳ වගකීම කේන්ද්‍ර කොට ගත්, පොදුවේ එකඟවූ අවම වැඩ සටහනක් තුලින් අවශ්‍ය පිළියම් ක්‍රියාත්මක කිරීමට අප අපොහොසත් වුවහොත්, අවසානයේ ලෙබනනයේ ඉරණම අපටද අත්වීමට ඉඩ වැඩිය.
අත්‍යවශ්‍ය පුර්ව කොන්දේසි
20 වන සංශෝධනය හකුලා ගත යුතුය. ප්‍රකෘති තත්ත්වයට පත්වීම සඳහා අවම පොදු වැඩසටහනකට එකඟ වී අවම වශයෙන් වසර දෙකක් එය ක්‍රියාත්මක කල යුතුය. අපගේ පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයාට පවරා ඇති අති විශාල බලය, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අතර ඵලදායි සහයෝගිතාවයකට ඉඩ නොදෙන්නකි. 2018 දී පෙන්නුම් කළ පරිදි මෙම ඒකාධිපති බලයට වඩාත් ම සාර්ථක ප්‍රතිවිරෝධකය වුයේ 19 වැනි සංශෝධනය යි. එබැවින් අප ගොදුරු වී සිටින ආර්ථික අර්බුදය ජය ගැනීමේ ඒකාබද්ධ උත්සාහයක් සඳහා අත්‍යවශ්‍ය පුර්ව කොන්දේසියක් වන්නේ ඇතැම් ප්‍රයෝගික වෙනස්කම් සහිතව 19 වැනි සංශෝධනය නැවත ක්‍රියාත්මක කිරීම යි.
ස්වාධීන කොමිෂන් සභාවලට නිසි පත් කිරීම් කල යුතුය. 20 වැනි සංශෝධනය හකුලා ගැනීම පමණක් නොව, සම්පුර්ණයෙන් ම තනි පුද්ගලයකුගේ කැමැත්ත මත පමණක් පදනම්ව ස්වාධීන කොමිසන් සභාවලට කළ වැරදි පත් කිරීම් අහෝසි කොට ව්‍යවස්ථා සභාව මගින් අලුතින් පත්වීම් කළ යුතු ය. ඉදිරියේ දී කළ යුතු වන සාකච්ඡා සඳහා මෙන් ම, පසුව ඒවා ක්‍රියාත්මක කිරීමේදීද මහ බැංකුව ස්වාධීන සහ වෘත්තීයමය ආකාරයෙන් ක්‍රියාත්මක වීම තීරණාත්මක වෙයි. මේ සඳහා, මහා බැංකු අධිපති ව්‍යවස්ථාදායක සභාව මගින් පත්කිරීම අත්‍යවශ්‍ය වේ.
පළාත් සභා පණ ගැන්විය යුතුය. මධ්‍යම ආණ්ඩුවට ආර්ථිකය යථාවත් කිරීම කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීමට ඉඩ ලැබෙන පරිදි, පළාත් සභාවන්ට තම කාර්යභාරය ඉටු කිරීමට හැකිවන ලෙස, දැන් බොහෝ සේ ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණ පැරණි නීතිය යටතේ ඉක්මනින් පැවැත්විය යුතු ය.
පොදු වැඩ සටහන් දෙවසරක් තුල ක්‍රියාත්මක කල යුතුය. 2023 පෙබරවාරි මාසයෙන් පසු ඕනෑම අවස්ථාවක තමන්ගේ තනි කැමැත්ත පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට 20 වැනි සංශෝධනය යටතේ ජනාධිපතිට බලය ඇත; 19වන සංශෝධනය යටතේ ජනාධිපතිට එම බලය ක්‍රියාත්මක කරන්නට හැකි වන්නේ 2025 පෙබරවාරි මාසයෙන් පසුවය. මැතිවරණයක් නොමැති ඉදිරි කාලය ප්‍රයෝජනයට ගනිමින් පොදු වැඩ සටහනක් අඩු තරමින් වසර දෙකක් වත් බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීම අවශ්‍යය. වසර දෙකක් ඇතුලත නිරන්තර ද්විත්ව හිඟයන් පියවීමට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට හැකි විය යුතු අතර එමගින් අපගේ ණය සාර්ථක ලෙස ප්‍රතිව්‍යුහගත කරගැනීමේ හැකියාව ලැබෙනු ඇත.
මාධ්‍ය නියාමනය හඳුන්වා දිය යුතුය. අවම පොදු වැඩ සටහන පිළිබඳව ජනතා විශ්වාසය ගොඩනැගීම සඳහා මෙරට මාධ්‍ය අවකාශය ප්‍රජාතන්ත්‍රීය කිරීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන, ගුවන් විදුලි සංඛ්‍යාත භාවිතා කරන සියලු ආයතන සහ මාධ්‍ය ව්‍යවසාය නියාමනය සඳහා ස්වාධීන කොමිසන් සභාවක් පිහිටුවීමට නව පනතක් හඳුන්වාදීම මගින් මාධ්‍ය ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම ද අවශ්‍ය වෙයි. මෙම දුෂ්කර කර්තව්‍යය හොඳින් කල හැක්කේ එක් දේශපාලන පක්ෂයක ග්‍රහණයෙන් තොරව සර්ව පාක්ෂික සහභාගිත්වය සහිතවය. මෙමගින් සංඛ්‍යාත නිකුත් කිරීමේ සම්පුර්ණ ප්‍රතිසංස්කරණයක් සිදුවන අතර එහි ඇති භාවිතා නොකළ වටිනාකම් ලබා ගැනීමක් ද සිදු කර ගත හැකි වෙයි. මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රතිපල දේශපාලනමය මෙන්ම ආර්ථීකද වේ. පාරදෘශ්‍ය ලෙස සංඛ්‍යාන වෙන්දේසි කිරීමෙන් රාජ්‍ය ආදායම් සැලකිය යුතු අයුරින් වැඩි කර ගත හැක.
අවම වැඩ සටහනක අංග පිලිබඳ උදාහරණ
අවම පොදු වැඩ සටහනක් දේශපාලන පක්ෂවලට සීමා නොවූ පාර්ශවකරුවන් අතර සාකච්ඡා කොට සකසා ගත යුතු වුව ද, පහතින් සඳහන් වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ සටහනට අත්‍යවශ්‍ය විශ්වාසය ගොඩනගන අතර ද්විත්ව හිඟයයන් අඩු කර ගැනීමට ගත හැකි ක්ෂණික සහ මධ්‍ය කාලීන ක්‍රියාමාර්ග පිළිබඳව උදාහරණ කිහිපයකි. මෙය අවසාන හෝ සම්පූර්ණ ලැයිස්තුවක් නොවේ.
ක්ෂණික ක්‍රියාමාර්ග
- එක සුදු අලියෙකුගේ හෝ බරෙන් මිදීම. පොදු වැඩ සටහනේ අභිප්‍රායන් ඉෂ්ට කරගැනීමට ඇති කැපවීම විශ්වසනීය ලෙස ඉක්මනින් සන්නිවේදනය වන පුවත් සිරස්තල ලෙස ප්‍රචාරය වන ක්‍රියාවක් අත්‍යවශ්‍ය වෙයි. එයාර් ඉන්දියා සමාගමට කළ ආකාරයට ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් ද විකුණා දැමීම මේ සඳහා කල හැකි හොඳම දෙය විය හැකි ය. එමගින් භාණ්ඩාගාරයට වලකා ගත හැකි පාඩුව එක දිනකට ශ්‍රී ලංකා රුපියල් මිලියන 99 ක් පමණ වෙයි. එය 2018, 2019, සහ 2020 වසරවල ගුවන් සමාගමට එක දිනකට දරන්නට වූ සාමාන්‍ය පාඩුව යි. සියයට 100 ක අයිතිය විකුණා දමා එක්රැස්ව තිබු ණයෙන් සැලකිය යුතු පංගුවක් තබා ගැනීමට ඉන්දියානු ආණ්ඩුව ක්‍රියා කළ ආකාරයට ම, මිල දී ගන්නාට සම්පුර්ණ පාලනය භාර දී එක්රැස් වූ ණය පිලිබඳ යම් වගකීමක් භාර ගැනීමට ලංකා ආණ්ඩුවටද සිදුවිය හැකි ය. ආණ්ඩුව තව දුරටත් පාඩු ආවරණය නොකරන බවට 2022 අයවැය කතාවෙන් ප්‍රකාශ කළ පණිවිඩය රාජ්‍ය ව්‍යවසායයන්ට ලැබෙනු ඇත. කිසිදා අවසන් නොවන ඉල්ලීම්වලින් භාණ්ඩාගාරය (සහ බදු ගෙවන්නන්) ආරක්ෂා වනු ඇත. එමෙන් ම අප අපගේ නිවහන පිළිවෙළට තබාගැනීමට කැපවී ඇති බවට පැහැදිලි පණිවිඩයක් අපගේ ණය හිමියන්ට ලැබෙයි. ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් විකුණා දැමීමට යෝජනා කලද, පුද්ගලීකරණය කෝකටත් ෛතලයක් නොවන බව අවධාරණය කල යුතුව ඇත. ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළ වන ප්‍රතිසංස්කරණ වෙන් වෙන්ව හඳුනා ගත යුතුය. උදාහරණයක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් විකුණා දැමීම තුලින් දුම්රිය මගී හෝ භාණ්ඩ ප්‍රවාහන සේවා වැඩි දියුණු වන්නේ නැත. මහජන මුදල් කාබාසීනියා කිරීම හමාර කිරීමට මුල් තැන දිය යුතු වුවද, ප්‍රතිසංස්කරණය මගින් ජනතාවට සපයන සේවයද වැඩි දියුණු විය යුතුය. විදුලි සංදේශ ක්ෂේත්‍රයේ කළා මෙන් නිසි නියාමනය යටතේ හැකි පමණට තරඟකාරීත්වය හඳුන්වා දී, රජය සතු ව්‍යවසායේ අභ්‍යන්තර සංස්කෘතියද වෙනස් කල යුතුය. මෙසඳහා බෙහෝ විට ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්වයන් (PPP) ස්ථාපිත කිරීමට සිදු වනු ඇත.
- ආනයිත පෙට්‍රෝලියම් නිෂ්පාදන සහ සබැඳි සේවා සඳහා මිල සූත්‍ර හඳුන්වාදීම. ගෘහස්ත ගෑස් ඇතුළු ආනයනික පෙට්‍රෝලියම් නිෂ්පාදන සඳහා මිල සුත්‍ර මත පදනම් වූ මිල නියම කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු ය. මෙය ද්විත්ව හිඟයයන් අඩු කිරීමේ අත්‍යවශ්‍ය අංගයකි. සාමාන්‍යයෙන් ලංකාවේ ආනයන සඳහා කරන වියදමෙන් පිරිපහදු කල සහ නොකළ ඛනිජ තෙල් සඳහා 15% පමණ වැය කරනු ලබයි. මෙම මිල ගණන් මූලික වශයෙන් තීරණය කරනු ලබන්නේ ලෝක වෙළෙඳපොළ මගිනි. එම මිල සහ රුපියල අවප්‍රමාණය වීම නිසා වැඩි වන ප්‍රමාණය පාරිභෝගිකයාට නොපැවරුවහොත්, වෙනස පියවීමට බදු මුදල් වැය කලයුතු වන්නේය. එමගින් වන්නේ රාජ්‍ය මුල්‍ය හිඟය පළල් වීමයි. ආයාත වල මිල ඉහල යද්දී පාරිභෝගික මිල කෘතිමව අඩුවට තබා ගත හොත් ඉල්ලුම අඩු වන්නේ නැත. එමගින් සිදු වන්නේ ගෙවුම් හිඟය තවත් පළල් වීමයි. තෙල් වලට මිල සූත්‍රය යෙදුවොත් එම මිල අඩු වැඩි වීම් විදුලිය සහ ජල ගාස්තු ආදිය කෙරේද බල පානු ඇත. මෙම සියලු ම උපයෝගිතා සේවා විධිමත් උපයෝගිතා නියාමනයක් යටතට පත් කොට සැබෑ වියදම් පිළිඹිබු වන ආකාරයෙන් සූත්‍ර මත පදනම්වූ මිල නියම කළ යුතු ය. එයට සමගාමීව ගාස්තු වැඩි කිරීම් නිසා බලපෑමට ලක්වන දිළිඳු පිරිස්වලට පහත විස්තර කොට ඇති ආකාරයේ සමාජ ආරක්ෂණ දැලක කොටසක් ලෙස ලබා දෙන ඉලක්ක ගත සහනාධාර මගින් ආධාර කළ යුතු ය.
- කාර්යක්ෂම, නම්‍යශීලී ආරක්ෂණ දැල කඩිනම් කිරීම. එකිනෙක අතිච්ඡාදනය වන 40 කට අධික බහු විධ සුබසාධන වැඩ සටහන් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය යටතේ ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය සහ එහි ප්‍රතිලාභීන්ගේ දත්ත ගබඩාව සැකසීම වේගවත් කළ යුතු ය. රුපියල අවප්‍රමාණ වීම යම්කාලයක් පැවතිය හැකි බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම සිදුවිය හැකි නිසාත්, උපයෝගිතා ගාස්තු වෙනස් වන තත්ත්වයක් පැවතීමත්, නිසා ලෝක බැංකුවේ ආධාර යටතේ දැනට ක්‍රියාත්මකව පවතින සමාජ ආරක්ෂණ දැල් ව්‍යාපෘතියේ මුදල් ලබාගැනීම අවශ්‍ය වන අතර ඉලක්කගත ආකාරයෙන් ආධාර ලබා දීමේ යාන්ත්‍රණයක් කඩිනමින් සංවර්ධනය කිරීම ද අවශ්‍ය වෙයි. සමාජ ආරක්ෂණ දැල් ක්‍රියාත්මක කිරීමට ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දීම වේදනාව පාලනය කිරීමට හේතු වෙයි. මෙම ක්‍රියාවලිය තුළ සමෘද්ධි දෙපාර්තමේන්තුව වැනි වැඩ සටහනට ලබා දී ඇති සම්පුර්ණ මුදලින් සියයට 25 ක් කා දමන ඇතැම් අතිරික්ත ආයතන වසා දැමීමට ජාතික ආණ්ඩුවට හැකි වුවහොත් එය ණය හිමියන්ට බලගතු පණිවිඩයක් ලබා දෙනු ඇත.
- ස්වාධීන මහ බැංකුවක් ස්ථාපිත කිරීම. මහ බැංකුව විසින් අසීමිතව මුදල් අච්චු ගැසීම වර්තමාන අර්බුදය උග්‍ර වීමට දායක වූ බව බොහෝ නිරීක්ෂකයන්ගේ මතයයි. මහ බැංකුවේ කටයුතු වඩා හොඳින් කළමනාකරණය කිරීම සඳහා දැනට අතහැර දමා ඇති මුල්‍ය පනත් කෙටුම්පත ඇතුළු විකල්ප සලකා බැලීමට විශේෂඥ කමිටුවක් පත්කර අවශ්‍ය සංශෝධන හැකි ඉක්මනින් අනුමත නොකළ හොත් දිගින් දිගටම මෙවන් අර්බුද ඇති වීම වලක්වන්නට බැරි වනු ඇත.
- රාජ්‍ය ආදායම් වැඩි කිරීම. රාජ්‍ය මූල්‍ය හිඟය අඩු කිරීමට රාජ්‍ය ආදායම් වැඩි නොකර බැරිය. සමාජ සාධාරණත්වයේ නාමයෙන් වක්‍ර බදු වලින් උපයන ප්‍රතිශතය අඩු කර, සෘජු බදු වලින් උපයන ප්‍රමාණය වැඩි කල යුතුය. අරමුණ විය යුත්තේ දැනට සියයට 80ට ඇති වක්‍ර බදු වල දායකත්වය ක්‍රමයෙන් සියයට 60 දක්වා අඩු කිරීමය. රාජ්‍ය ආදායම් අතින් ලබාගෙන තිබු ප්‍රගතිය 2019 දෙසැම්බරයේදී සිදුකරන ලද දැවැන්ත බදු කපාහැරීම මගින් ආපසු හැරවූ බව ඇත්තකි. එහෙත් මෙවැනි අර්බුදයක් මැද එම බදු කප්පාදුව ක්ෂණයකින් මුළුමනින්ම ආපසු හැරවීම ප්‍රඥාගෝචර නොවිය හැක. එමනිසා බදු වැඩි කළ යුතුව තිබෙන්නේ ඉතා පරිස්සමෙන් ක්‍රමානුකූලවය. ආරම්භයේ VAT ප්‍රතිශතය ක්‍රමිකව ඉහල නැවීම, පුද්ගලික ආදායම් බදු දැල වඩා පුළුල් කිරීම සහ PAYE ගෙවීම් නැවත ස්ථාපිත කිරීම සලකා බැලිය හැක. අතීතයට බලපාන සුපිරි බදු සහ අධි භාර වලින් වැලකී සිටිය යුතුය.
- අපනයන ප්‍රවර්ධනය. අපනයන ඉහළ නැංවීම වහාම කළ යුත්තකි. දේශපාලන නායකයින් සිතන ආකාරයට එය අලුතින් ම පටන් ගැනීම අවශ්‍ය නැත. පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කළ ජාතික අපනයන උපාය මාර්ග සැලසුමක් (National Export Strategy) තිබේ. විශේෂඥ දැනුම සහ දත්ත මත පදනම්ව ප්‍රමුඛතා ක්ෂේත්‍ර හයක් හඳුනාගෙන (උදාහරණ: ඉලෙක්ට්‍රොනික උපාංග සහ පරිගණක මෘදුකාංග සහ BPM කර්මාන්තය), ආංශික උපාය මාර්ග සකසා ඇත. ඒවා ක්‍රියාවට නැගීම සඳහා වග කියන ආංශික කමිටු දැනටමත් ක්‍රියාත්මක ය. ජනාධිපතිතුමා විසින් 2019 දී අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ලෙස පත්කරනු ලැබූ ප්‍රභාශ් සුබසිංහ නිවැරදිව ප්‍රකාශ කළ පරිදි, කළ යුතු වන්නේ පුළුල් සහභාගිත්වයකින් 2018දී සකසන ලද ජාතික අපනයන උපාය මාර්ග සැලසුම ක්‍රියාවට නැංවීමයි. යෙදවුම් සඳහා බලපත්‍ර ගැනීමේ සිට නිතර වෙනස් වන බැංකු රෙගුලාසි දක්වා, අපනයනකරුවන් මුහුණ දෙන බාධක හඳුනාගැනීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් සමග ක්‍රියාකරන ලෙස ජාතික අපනයන සැලැස්මේ එක් එක් කමිටුවලට නියම කළ යුතු ය. මෙම කමිටුවල නිර්දේශ පරීක්ෂා කොට ඉක්මන් විසඳුම් ක්‍රියාමාර්ග ගැනීමට ඉහළ බලයක් සහිත සුපිරි කමිටුවක් තිබිය යුතු ය.
- වෙළෙඳපොළ ප්‍රවේශය සහතික කර ගැනීම. සියලු ආර්ථිකයන් ආතතියට ලක් වී ඇති සහ ආරක්ෂණවාදී ආවේග ඉහළ නගිමීන් පවතින පශ්චාත්-වසංගත වාතාවරණය තුළ වෙළෙඳපොළ පිවිසුම තීරණාත්මක ලෙස වැදගත් වෙයි. වර්තමාන පරිසරය තුළ වෙලෙඳපොළ ප්‍රවේශ ලබාගැනීමේ පළමු පියවර වන්නේ දැන් සාකච්ඡා කෙරෙමින් පවතින ඉන්දියානු සහ චීන ද්විපාර්ශවික වෙළෙඳ ගිවිසුම් ඉක්මනින් අවසන් කිරීමයි. එම වෙළෙඳපොළවල වර්තමාන සහ අනාගත වැදගත්කම නිසා ඉන්දියානු සහ චීන ගිවිසුම්වලට ප්‍රමුඛත්වය දිය යුතු ය. ඊළඟ ප්‍රමුඛතාව හිමිවිය යුත්තේ වියට්නාමය වැනි තරඟකාරීන්ට තවත් වාසි සලසමින් 2022 ජනවාරි සිට ක්‍රියාත්මක වන කලාපීය විස්තීර්ණ සහයෝගීතාවයට (RCEP) සම්බන්ධ වීමට මග පාදා ගැනීමට ය. වෙළෙඳපොළ ප්‍රවේශ සහතික කර ගැනීමට සහ විශ්වාසය තහවුරු කිරීමට හැකි වන ලෙස වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා කර ගත හොත්, විදේශීය ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
මධ්‍ය කාලීන ක්‍රියාමාර්ග
- බලශක්ති ආනයන අඩු කර ගැනීම. සාමාන්‍යයෙන් ලංකාවේ ආනයන සඳහා කරන මුළු වියදමෙන් 15% පමණ පිරිපහදු කල සහ නොකළ ඛනිජ තෙල් සඳහා වැය කරනු ලබයි. ගෙවුම් ශේෂය අවම කර ගැනීම සඳහා ආනයන සඳහා කරන වියදම් අඩු කර ගැනීම හොඳ බව දේශපාලන සහ ආර්ථික ස්ථාවරය කුමක් වුවද විවාදයක් තිබිය නොහැක. නමුත් නිෂ්පාදන කටයුතු වලට අවශ්‍ය අතරමැදි ආදාන අඩු කිරීම විකල්පයක් නොවේ. යථාර්ථවාදීව අඩු කල හැක්කේ ආනයිත තෙල් සඳහා කරන වියදම් පමණි. එය අඩු කර ගැනීම පරිසරවේදීන්ගේද ප්‍රසාදයට ලක් වනු ඇත. මෙම තෙල් වලින් වැඩි ප්‍රමාණයක් භාවිතා වන්නේ මිලියන් හතකට අධික මෝටර් බයිසිකල්, ත්‍රි රෝද රථ, කාර්, ආදී වාහන සඳහාය. එමෙන්ම වර්ෂාව ආදී සාධක අනුව අඩු වැඩි වන ප්‍රමාණයකට විදුලි බලය උත්පාදනය කිරීමටය. විදුලියෙන් වැඩි ප්‍රමාණයක් රට තුල පවතින ජලය, සුළඟ, සහ සූර්ය ප්‍රභවයන් ගෙන් ලබාගත හැකි නම් සහ ගමනාගමනයට විදුලියෙන් දුවන වාහන ආදේශ කල හැකි නම්, ඛනිජ තෙල් සහ ගල් අඟුරු ආනයනය අවම කල හැක. පවතින විදුලි සම්ප්‍රේෂණ ජාලය සැලකිය යුතු ආයෝජන මගින් නවීකරණ කර, දකුණු ඉන්දියානු සම්ප්‍රේෂණ ජාලයට සම්බන්ධ නොකර, සූර්ය කෝෂ සහ සුළං බලාගාර වලින් ලබාගත හැකි විදුලිය ප්‍රතිශතය සීමිතය. මෙයට හේතුව විදුලි පද්ධතිය තුලනය කර පවත්වාගෙන යෑම අඛණ්ඩව සැපයීමක් කල නොහැකි සූර්ය සහ සුළං ප්‍රභවයන්ගෙන් සීමාවකට එහා ලබාගෙන කල නොහැකි වීමයි. එවන් ප්‍රභවයන් යොදා ගතහැක්කේ මුළු ධාරිතාවෙන් සියයට 15-25ක් වැනි ප්‍රතිශතයක සීමාවකට යටත්වය. නමුත් දකුණු ඉන්දියානු සම්ප්‍රේෂණ ජාලය සහ ලංකාවේ ජාලය HVDC කේබලයක් මගින් සම්බන්ධ කළහොත් ඉහත සීමාවට ඇතුළුවන ධාරිතාව බෙහෙවින් ඉහල යනු ඇත. මෙමගින් අඛණ්ඩ නොවන ප්‍රභවයන්ගෙන් ලබා ගන්නා විදුලි ප්‍රමාණය වැඩි කරගත හැකි වනු ඇත. ලංකාවේ පරිභෝජන උච්චය (peak) කාල පරාසය හැන්දෑ කාලයයි.
ඉන්දියාවේ එය වෙනස් නිසා අධික වියදමක් යෙදීමට සිදුවන උච්ච පරිභෝජනය වඩා හොඳින් සහ අඩු වියදමින් කලමනාකරණය කර ගත හැකි වනු ඇත. මේ සියල්ලට පූර්ව කොන්දේසියක් වන්නේ ලංකාවේ අධි වෝල්ටීය සම්ප්‍රේෂණ ජාලය නවීකරණ කිරීමයි. මෙසඳහා කලයුතු අධ්‍යයනයන් සම්පූර්ණ කිරීම සහ අවශ්‍ය ආයෝජන සකසා ගැනීමට යම් කාලයක් අවශ්‍ය වනු ඇත. නමුත් එම කටයුතු කඩිනමින් ආරම්භ කිරීම ප්‍රමුඛතාවයක් විය යුතුය. ගෙවුම් ශේෂය කළමනාකරණය කර ගත හැකි වන්නේ සහ දේශගුණ විපර්යාසයට එරෙහි පියවර ගත හැකි වන්නේ මෙවන් ක්‍රියාවන් මගිනි.
- රාජ්‍ය සේවය වැඩි දියුණු කිරීම. රාජ්‍ය ආදායම් හිඟය අඩු කිරීමට, එමෙන්ම ජනතාවට වඩා හොඳ සේවා සැපයිය හැකි වීමට, රාජ්‍ය සේවය වැඩි දියුණු කල යුතුය; එහි කාර්යක්ෂමතාවය ඉහල නැංවිය යුතුය. මෙහි පූර්ව කොන්දේසියක් වන්නේ අලුත් බඳවාගැනීම් වහාම නතර කිරීමය. එයින් පසු රාජ්‍ය ව්‍යාපාර, හමුදාව, සහ රජයේ සේවය යන ඛණ්ඩයන්හී සත්‍ය අවශ්‍යතා ගණනය කර අතිරික්ත සේවා පිරිස් විධිමත් අයුරින් අලුත් කාර්යයන්ට යෙදවීම කල යුතුය. රඳවා ගන්නා සේවකයන් වෙනුවෙන් වඩා විශාල ආයෝජනයක් කල යුතුයි. සේවකයකුගෙන් ඵලදායී සේවයක් ලබාගැනීමට පරිගණක, කාර්යාල පහසුකම් ආදිය සැපයිය යුතුයි. සේවකයන් වෙනුවෙන් කරනු ලබන වියදම් ස්පර්ශීය දේවලට පමණක් සීමාවන්නේ නැත. කලින් කල සිදුකරන සමාලෝචන, පුහුණු සැලසුම් සැකසීම හා ක්‍රියාත්මක කිරීම, වෘත්තීය සංවර්ධන ක්‍රියාකාරකම් ආදියේ වියදම එයට ද එකතු විය යුතුයි. ලංකාවේ රාජ්‍යය පිළිබඳ දීර්ඝකාලීන නිරීක්ෂකයකු වන මහාචාර්ය මික් මුවර් පෙන්වා දී තිබෙන පරිදි රාජ්‍ය සේවකයන් වෙනුවෙන් කරන ඒක පුද්ගල වියදම අඩුවෙමින් පවතී. ඒ අතර සේවක සංඛ්‍යාව වැඩිවෙමින් පවතී. මෙය වෙනස් කල යුතුයි.
- ජාතික අපනයන උපායමාර්ග සමාලෝචනය කිරීම. රටක අපනයන ප්‍රභවයන් හඳුනා ගැනීමේ විද්‍යාත්මක ක්‍රමවේදයන් සහ අපනයන කරුවන්ගේ දැනුම පදනම් කරගෙන 2028-2022 ජාතික අපනයන උපායමාර්ග ලියවිල්ල සම්පාදනය කරන ලදි. එයින් පරිබාහිරව විවිධ නිරීක්ෂකයින් ඛනිජ වැලි, මිනිරන් (1930 ගණන්වල ලංකාවේ ප්‍රධාන අපනයනයක්), ආදිය ගැන විශාල බලාපොරොත්තු තබන බව පෙනේ. එමනිසා, මධ්‍ය-කාලීන ප්‍රමුඛතාවයක් ලෙස 2018-22 ලියවිල්ලේ සඳහන නොවන එම ස්වභාවික සම්පත් වලට (සහ අගය උත්පාදනය කිරීමට අවශ්‍ය දැනුම, ආයෝජන, සහ සම්බන්ධ විය යුතු අගය දාම වලට) විශේෂ අවධානයක් යොමු කරමින් සහ ගෝලීය වසංගතය නිසා ඇතිවූ වෙනස් කම් සැලකිල්ලට ගනිමින් ජාතික අපනයන උපායමාර්ග ලියවිල්ල යාවත්කාලීන කල යුතුය.
- ස්ථාවර බදු ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම. බදු සම්බන්ධයෙන් ඒ ඒ පාර්ශවයන්ට විශේෂ සැලකිලි කිරීම අත්හැර දමා දීර්ඝකාලීන ස්ථාවර බදු ප්‍රතිපත්තියක් පුළුල් සහභාගිත්වයෙන් සකසා ක්‍රියාත්මක කල යුතුය. තව දුරටත් යල් පැන ගිය බදු සහන මත පදනම්ව විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමේ මාවතේ නොගොස්, OECD සංවිධානය විසින් මෙහෙයවන ලද දැනට රටවල් 136ක සහභාගිත්වය ඇති ගෝලීය සමාගම් වලින් 15% අවම බදු අය කරන ගිවිසුමට ඇතුල්වී පිළිගත් ගෞරවනීය විදේශ ආයෝජකයන් ආකර්ෂණය කිරීම ගැන සොයා බැලීමට කටයුතු කල යුතුය.