*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ඩොලර් බිලියනයේ තෑග්ග (පළමු කොටස)

රූත් ගොටස්මන් විසින් නිවු යෝර්ක් ප්‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ලබා දුන් ඩොලර් බිලියනයක ආධාර මුදල ගැන ලංකාවේද යම් සාකච්ඡාවක් ඇති වී තිබුණු බව දැක්කා. මේ ආධාර මුදල නිසා මෙයින් ඉදිරියට එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වන සිසුසිසුවියන්ට පාඨමාලා ගාස්තු නොගෙවා නොමිලයේ අධ්‍යාපනය ලබා ගන්න අවස්ථාව ලැබෙනවා.

පාඨමාලා ගාස්තු නොගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම ලංකාවේ පසුබිමේ සිට සිතන අයෙකුට විශේෂ දෙයක් නොවුනත්, ඇමරිකාව ඇතුළු තවත් රටවල් බොහොමයක එවැනි අවස්ථාවක් කියා කියන්නේ දුලබ අවස්ථාවක්. ඇමරිකාවේ වෛද්‍ය උපාධියක් කියා කියන්නේ දෙවන උපාධියක්. වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීම පිණිස තරඟ විභාගයට පෙනී සිටිය හැක්කේ වසර හතරක පළමු උපාධි පාඨමාලාවක් සාර්ථක ලෙස හැදෑරීමෙන් පසුව පමණයි. මේ පළමු උපාධිය වෙනුවෙන්ද ඇමරිකානු සිසුවෙකුට පාඨමාලා ගාස්තු ගෙවන්නට සිදු වෙනවා.

පසුගිය (2023/24) අධ්‍යයන වර්ෂයේදී ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ පාඨමාලා ගාස්තුව පමණක් වසරකට ඩොලර් 59,458ක් වූ අතර, අනෙකුත් ගාස්තු හා වෛද්‍ය රක්ෂණ ගාස්තුව එකතු වූ විට මෙම මුදල වසරකට ඩොලර් 69,873ක්.

ශ්‍රේණිගත කිරීම් වලින් ඉදිරියෙන් සිටින පෞද්ගලික විශ්ව විද්‍යාල ගණනාවකම ප්‍රථම උපාධියක් හැදෑරීම සඳහා ද පාඨමාලා ගාස්තු ලෙස වසරකට මීට ආසන්න මුදලක් ගෙවන්නට සිදු වෙනවා. වෛද්‍ය සිසුවෙකු විසින් මේ වියදම එක දිගට වසර අටක කාලයක් දැරිය යුතු අතර, වෛද්‍ය වෘත්තියට පිවිසිය හැක්කේ ඉන් පසුවද වසර ගණනාවක සීමාවාසික පුහුණුවක් අවසන් කිරීමෙන් පසුවයි. මෙම වසර ගණන අදාළ වෛද්‍ය ක්ෂේත්‍රය අනුව වෙනස් වන්නක්.

ඇමරිකාවේ පිළිගත් වෛද්‍ය විද්‍යාල දෙසීකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. මේවා සම්ප්‍රදායික (ඇලෝපති) වෛද්‍ය අධ්‍යාපනයක් සමඟ MD උපාධිය ලබා දෙන වෛද්‍ය විද්‍යාල සහ DO (ඔස්ටියෝපති) උපාධි ලබා දෙන වෛද්‍ය විද්‍යාල ලෙස වර්ග කළ හැකියි. වෙනත් රටවල කෙසේ වුවත්, මේ වන විට ඇමරිකාවේ මෙම දෙවර්ගයේ වෛද්‍ය අධ්‍යාපන පුහුණු මාදිලි අතර විශාල වෙනසක් නැහැ. ඔස්ටියෝපති වෛද්‍යවරුන් විසින් හිපොක්‍රටික් වෛද්‍ය ප්‍රතිඥාව වෙනුවට ඔස්ටියෝපති වෛද්‍ය ප්‍රතිඥාව ලබා දෙනවා.

මේ වන විට ඇමරිකාවේ පිළිගත් MD වෛද්‍ය උපාධියක් ලබා දෙන වෛද්‍ය විද්‍යාල 157ක් ඇති අතර, පිළිගත් DO උපාධියක් ලබා දෙන වෛද්‍ය විද්‍යාල 41ක් තිබෙනවා. MD වෛද්‍ය උපාධිය ලබා දෙන වෛද්‍ය විද්‍යාල අතරින් 63ක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වන අතර ඉතිරි 94 ප්‍රාන්ත රාජ්‍යයන් විසින් සුබසාධනය කෙරෙන වෛද්‍ය විද්‍යාලයි. MD වෛද්‍ය උපාධිය ලබා දෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අතරින් දෙකක් හැර ඉතිරි සියල්ල ලාබ ලැබීම ඉලක්ක කර නොගත් ආයතනයි. ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයද එවැන්නක්.

සම්ප්‍රදායික වෛද්‍ය අධ්‍යාපනයක් සමඟ MD උපාධිය ලබා දෙන වෛද්‍ය විද්‍යාල වලට සාපේක්ෂව, DO උපාධිය ලබා දෙන වෛද්‍ය විද්‍යාල 41 අතරින් 34ක්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වන අතර ඒවායින් 5ක් ලාබ ලැබීම ඉලක්ක කළ ආයතනයි. විශේෂඥ වෛද්‍යවරුන් නොවන සාමාන්‍ය වෛද්‍යවරුන් බිහි කිරීමේදී DO උපාධි ලබා දෙන වෛද්‍ය විද්‍යාල ඉදිරියෙන් සිටිනවා.

මේ අනුව, ඉහත විස්තර කර වෛද්‍ය උපාධි වර්ග දෙකම සැලකූ විට ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාල 198ක් ඇති අතර ඒවායින් 97ක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයි. ඉතිරි 101 ප්‍රාන්ත රාජ්‍ය අරමුදල් වලින් සුබසාධනය වන වෛද්‍ය විද්‍යාලයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අතරින් 90ක්ම ලාබ ලැබීම අරමුණු කර නොගත් ආයතනයි.

ඇමරිකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල මෙන්ම රාජ්‍ය විශ්ව විද්‍යාලද පාඨමාලා ගාස්තු අය කරන බැවින් රාජ්‍ය විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වුවද ආසන්නව සමාන පාඨමාලා ගාස්තුවක් ගෙවන්නට සිදු වෙනවා. සාමාන්‍යයෙන් ඇමරිකාවේ ප්‍රාන්ත රජයයන් විසින් ප්‍රාන්තයේ සිසුන්ගේ උසස් අධ්‍යාපන පාඨමාලා ගාස්තු සුබ සාධනය කරන බැවින් තමන්ගේ ප්‍රාන්තයේ රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුළු වන සිසුවෙකුට අඩු පාඨමාලා ගාස්තුවක් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ඇතත්, සාමාන්‍ය අගයයක් ලෙස ප්‍රාන්තයේ සිසුවෙකු විසින්ද සෞඛ්‍ය රක්ෂණ ගාස්තුව ඇතුළත්ව ඩොලර් 41,737ක වාර්ෂික පාඨමාලා ගාස්තුවක් ගෙවිය යුතුයි. ප්‍රාන්තයෙන් පිට රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයකට යන්නේනම් මෙම වියදම වසරකට ඩොලර් 67,308ක්. මීට සාපේක්ෂව ප්‍රාන්තයෙන් පිට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලැබීම සඳහා අදාළ සාමාන්‍ය වියදම වසරකට ඩොලර් 70,596ක්.

ඉහත වියදමට ඇතුළත් වන්නේ පාඨමාලා ගාස්තු හා වෛද්‍ය රක්ෂණ ගාස්තු පමණයි. මීට අමතරව පොත්පත්, නවාතැන්, ආහාරපාන ආදිය වෙනුවෙන්ද වියදම් දරන්නට සිදු වෙනවා. ඉදිරි වසරේදී (2024/25) ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වන සිසුවෙකුගේ වසර හතරක වියදම එම වෛද්‍ය විද්‍යාලය විසින් ඇස්තමේන්තු කර තිබුණේ පහත පරිදියි.

වෛද්‍ය විද්‍යාල ගාස්තු පමණක්:

පළමු වසර – ඩොලර් 71,903

දෙවන වසර – ඩොලර් 72,583

තෙවන වසර – ඩොලර් 72,583

සිවුවන වසර – ඩොලර් 70,053

මුළු වියදම:

පළමු වසර – ඩොලර් 95,123

දෙවන වසර – ඩොලර් 96,505

තෙවන වසර – ඩොලර් 101,568

සිවුවන වසර – ඩොලර් 101,553

සාමාන්‍ය කරුණක් ලෙස, ප්‍රාන්තයෙන් පිට වෛද්‍ය විද්‍යාලයක අද්‍යාපනය ලැබීම සඳහා ඩොලර් ලක්ෂ හතරකට ආසන්න වියදමක් දරන්නට සිදු වන අතර ප්‍රාන්තයේ තිබෙන රාජ්‍ය විශ්ව විද්‍යාලයක වෛද්‍ය අධ්‍යාපනය හැදෑරුවද මෙම වියදම ඩොලර් ලක්ෂ තුනකට ආසන්න විය හැකියි. මීට අමතරව, වෛද්‍ය විද්‍යාල ප්‍රවේශයට පෙර වසර හතරක පූර්ව-වෛද්‍ය උපාධි පාඨමාලාවක්ද හැදෑරිය යුතු බැවින් ඒ වෙනුවෙන්ද සැලකිය යුතු මුදල් ආයෝජනයක් කරන්නට සිදු වෙනවා. මේ සියලු වියදම් දරමින් ඇමරිකාවේ වෛද්‍ය වරයෙකු වෘත්තියට පිවිසෙන්නේ ඩොලර් ලක්ෂ කිහිපයක ණයකරුවෙකු ලෙසයි.

ඉහත වියදම් දරන්නට වුවද, ඇමරිකාවේ වෛද්‍යවරයෙකුට එම වියදම ආවරණය කරගනිමින් තමන්ගේ ආයෝජනයට මෙන්ම ගන්නා අවදානමටද ප්‍රමාණවත් ප්‍රතිලාභ අනුපාතිකයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා, ඇමරිකාවේ වෛද්‍ය අධ්‍යාපනයට විශාල ඉල්ලුමක් තිබෙනවා. එමෙන්ම, මුදල් ගෙවීමේ හැකියාව තිබූ පමණින් වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු විය නොහැකියි. ප්‍රස්තුත ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය සැලකුවහොත්, පසුගිය වසරේදී එහි වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අයදුම්කළ අයදුම්කරුවන් 9,782 දෙනෙකු අතරින් එම අවස්ථාව හිමි වී තිබෙන්නේ 326 දෙනෙකුට (3.3%) පමණයි.

ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය වැනි වෛද්‍ය විද්‍යාලයකට ඇතුලත් වීමේ අවස්ථාව ලබා ගන්නා බොහෝ දෙනෙකුට වෙනත් වෛද්‍ය විද්‍යාල වලින්ද එවැනිම අවස්ථාවක් හිමි වෙනවා. ඕනෑම සිසුවෙකු උත්සාහ කරන්නේ ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළ මට්ටමක ඇති සහ අඩු වියදමකින් සම්පූර්ණ කළ හැකි උපාධියක් ලබා ගන්නටයි. ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමේ අවස්ථාව ලද සිසුන් 326 දෙනෙකු අතරින් එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව ඇති ප්‍රමාණය 183ක් පමණයි.

එක් සිසුවෙකුගෙන් වසරකට ඩොලර් 71,000 බැගින් අය කළහොත්, සිසුන් 183 දෙනෙකුගේ පාඨමාලා ගාස්තු ලෙස වසරකට ඩොලර් මිලියන 13ක පමණ මුදලක් එකතු වෙනවා. ලාබ ලැබීම ඉලක්ක නොකරන වෛද්‍ය විද්‍යාලයකට මෙම මුදල එහි වසරක වියදම් වෙනුවෙන් වැය කරන්නට සිදු වෙනවා. සරසවියක වියදමෙන් වැඩි කොටසක් ආචාර්ය මණ්ඩලයේ වැටුප් හා ප්‍රතිලාභයි. විශේෂයෙන්ම වෛද්‍ය පීඨයක ආචාර්යවරුන්ට ඔවුන්ගේ වෙළඳපොළ අගය හා ගැලපෙන ඉහළ වැටුප් ගෙවන්නට සිදු වෙනවා.

ඩොලර් බිලියනයක මුදලක් දිගුකාලීනව ආයෝජනය කිරීමෙන් අඩු වශයෙන් 8%ක පමණ සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභයක් ලබා ගත හැකියි. ඒ කියන්නේ වසරකට ඩොලර් මිලියන 80ක පමණ මුදලක්. ලාබ ලැබීම ඉලක්ක නොකරන වෛද්‍ය විද්‍යාලයකට මෙවැනි ආදායම් ප්‍රවාහයක් ඇත්නම්, එම ආදායම යොදවා සදාකාලිකවම සිසුන්ගේ පාඨමාලා ගාස්තු මුළුමනින්ම සුබසාධනය කළ හැකියි. එසේ කිරීමෙන් පසුවද, ආයෝජනය වසරින් වසර වර්ධනය වනු මිස ක්ෂය වන්නේ නැහැ. ඩොලර් බිලියනයක ආධාර මුදලක් ලැබූ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය කරන්නට යන්නේ මෙයයි.

කෙසේ වුවත්, ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය මෙවැන්නක් කරන පළමු වෛද්‍ය විද්‍යාලය නෙමෙයි. මෙවැනි විශාල ආධාර මුදල් වල උදවුවෙන් පාඨමාලා ගාස්තු මුළුමනින්ම සුබසාධනය කරන තවත් වෛද්‍ය විද්‍යාල කිහිපයක්ම ඇමරිකාවේ තිබෙනවා. සාමාන්‍යයෙන් ඇමරිකාවේ ලාබ ලැබීම ඉලක්ක නොකරන පෞද්ගලික විශ්ව විද්‍යාල බොහොමයක් අඩු ආදායම්ලාභී පවුල් වල සිසුන්ගේ පාඨමාලා ගාස්තු වලින් කොටසක් හෝ මුළුමනින්ම මේ ආකාරයෙන් සුබසාධනය කරනවා.

මතු සම්බන්ධයි.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan