මතක තියාගන්න ඕන අතුරු මිතුරු කොහොම වුනත් දේශපාලන හතුරු මිතුරු තීරණය වෙන්න දඹදිව තුරු වගේම චීන තුරු ඇමරිකන් තුරු ත් බලපානවා. අනාගත දේශපාලනය දෙස කල්පනාවෙන් බලා ඉන්න. අලුත් මිතුරු කඳවුරු වගේම සතුරු කඳවුරුත් හැදෙයි. අලුත් බෝතල්වලට පරණ වයින් පිරෙයි. රැවටෙනවද නැද්ද කියල තීරණය කරන්න ඕන ජනතාව.
අපි මෙහෙම කිව්වේ අන්තිම සටහනේ අන්තිමට. අද සටහනේ මුලට ගන්න වෙන්නෙත් ඒකම තමයි.
විමල්ගෙයි ගම්මන්පිලගෙයි ඇමතිධුර ගලවලා. දේශපාලනිකව ගත්තොත් ඒක විමල්ලා බලාපොරොත්තු නොවුණු දෙයක් නෙමෙයි. සමහරවිට ගලවයි කියල දන්නවා මෙච්චර ඉක්මනට ගලවයි කියල හිතුවේ නැහැ වෙන්න පුළුවන්. කොහොමවුණත් මෙතනින් කොයිබටද ? ඒ ගැනත් විමල් ගැනත් අපි ටිකක් කතාකරමු.
2008 අප්‍රේල් 08 වැනිදා ජවිපෙන් ඉවත්ව ගිහින් එතැන් සිට තමන් සතු සකලවිධ නිර්මාණශීලී හැකියාවන් ශක්‍යතාවන් සියල්ල රාජපක්ෂ බල කඳවුර පෝෂණය කිරීම උදෙසා කැපකරපු විමල්ව, ඒ නික්ම යාමට දා හතරවසරක් පිරෙන්න ඔන්න මෙන්න තියල, පූස් පැටියෙක් වගේ කනෙන් අල්ලලා ඒ කඳවුරෙන් එලියට දැම්මම, ඒක සුළුපටු සිද්දියක් නෙමෙයි.
විමල්ගේ කට නැත්නම් රාජපක්ෂ කඳවුරක් අද නැත කියල යමෙක් කිව්වොත් ඒක බොරුවක්ම නෙමෙයි. 2005 ජනාධිපතිවරණයේ සිට ඒ කට වැඩකරේ ඒ වෙනුවෙන්. ඒ නිසා තමයි දොට්ට දැම්මට පස්සෙත් මහින්ද විමල්ලව ගෙදරට ගෙන්නලා ඔළුව අතගාල යවන්නේ. ඒත් ඉතින් වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. වතුරට වඩා ලේ ගණකමයි කියල ඒ පැත්තෙන් පෙන්නලා ඉවරයි.
විමල් කියන්නේ ප්‍රශ්නයක මූලය නොපෙනෙන්න තරම් දේශපාලනික මෝඩයෙක් නෙමෙයි. එළියට මොකක් කිව්වත් කෙරුවත් විමල්ගේ හෘදය සාක්ෂිය දන්නවා වුණේ මොකක්ද වෙන්නේ මොකක්ද කියල. දශක එකහමාරක් තමන් පෝෂණය කරපු පවුල්වාදය, තමන්ගේම ඇඟට දැන් අවතාරයක් වගේ කඩා පැනල බයකරන්න හදනව කියල විමල් නොදන්නවා වෙන්න බැහැ.
හැබැයි ඒ දැනුවත්කම අවංකව පිළිගන්න මොහොත තවමත් උදාවෙලා කියල හිතන්න අමාරුයි. ඉවත්වීමෙන් පසු ප්‍රවෘත්ති සාකච්ඡාවේ මූලික හරය බැසිල් විරෝධය
විතරයි. එතනදී විමල්ගේ ඇටිටියුඩ් එක නිහතමානී නැහැ. පුංචි ගෝටලා පුංචි බැසිල්ලා ඒ ගොල්ලෝ ඇතුලෙත් ඉන්න බව පැහැදිලියි. දොට්ට දාපු නිසා කරන නාහෙන් ඇඬිමක් විනා දේශපාලන ස්වයං විවේචනයක් ඒ සාකච්ඡාවේ තිබුණේ නැහැ.
තමන් අකමැති දේ කියනකොට තමන්ට විරුද්ධයි කියල හිතනවා
විමල් මෙහෙම කිව්වේ ගෝටා ගැන බැසිල් ගැන. හැබැයි ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විමල් හැසිරුනෙත් සහ තව බොහෝ තැන්වලදී විමල් හැසිරෙන්නෙත් එහෙමම තමයි. විමල් ගාව විතරක් නෙමෙයි ජවිපෙ ගාවත් ඔය උද්දච්ච ලක්ෂණ හිටපු ගමන් මතුවෙනවා. පුංචි ගෝටලා පුංචි බැසිල්ලා හැම පක්ෂෙම අඩුවැඩි වශයෙන් ඉන්නවා.
දේශපාලන පක්ෂවල විතරක් නෙමෙයි පොදු ජනයා තුලත් තියෙන්නේ ඔය මානසිකත්වයම තමයි. යකාගේ හැටියට විමානේ වගේම විමානේ හැටියට යකා වෙන්නත් පුළුවන්. අලුත් ජනතාවක් පත්කරගත යුතුයි කියල බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කිව්වේ ඒ නිසා වෙන්න ඇති. මේ මනෝ විද්‍යාත්මක කරුණු සාකච්ඡා කරන එක වෙනම කළ යුතු ලොකු වැඩක් නිසා ඒ කරුණ පොඩ්ඩක් පැත්තකින් තියල මාතෘකාවට එමු.
දැන් ඊළඟට මොකද වෙන්නේ ? වටේ යන්නැතුව අපි කෙලින්ම කාරණාවට බැස්සොත්.. ඊළඟ මහමැතිවරණය එන්න කලින් විමල්ලව ආපහු ආණ්ඩුව ඇතුලට ගත්තොත් වැඩේ කපෝති. එහෙම නොගත්තොත් විමල්ලා මෛත්‍රීලා වෙනම ඉල්ලුවොත් ජාතික ජන බලවේගයට තියෙන රැල්ල අවුල් කරලා ප්‍රදර්ශනාත්මක සෙල්ලමක් දාන්න චාන්ස් එකක් එනවා.
මොන ප්‍රශ්න තිබ්බත් විමල්ලාගේ හාම්පුතුන් ඒකට නං අකමැති වෙන එකක් නැහැ. හරි. ඊට පස්සේ හැදෙන පාර්ලිමේන්තුව මොන වගේ එකක් වෙයිද ?
ඒ පාර්ලිමේන්තුවේ පොඩි මන්ත්‍රී කුට්ටියක් කඩාගන්නත් විමල්ලාට බැරිවෙන එකක් නැහැ. හාම්පුතුන් ඒකටත් අකමැති වෙන එකක් නැහැ. අකැමති වෙන එකක් නැහැ විතරක් නෙමෙයි තුන්වැනි බලවේගය බවට පත්කරන්න ඡන්දයේදී යටින් යටින් උදවුත් කරයි බොහෝ විට.
ඊළඟට හැදෙන ආණ්ඩුව මොකක් වුනත් – තමන්ගේම වුනත් තමන්ගේ නොවන තමන්ගේ එකක් වුනත් – තමන්ගේම නොවන එකක්ම වුනත් වර්තමාන පාලකයන් බොහෝ විට ආරක්ෂිතයි. 2015 ඔච්චර විරසක වෙච්ච මෛත්‍රී යටතේත් ඒ ගොල්ලෝ ආරක්‍ෂිත වුනා නං මේ ගොල්ලෝ මුක්කු ගහන ආණ්ඩුවක් එකෙන්ම ආරක්ෂිතයි. සජබ ආණ්ඩුවක් යටතේ සීයට සීයක් මේ පාලකයෝ ආරක්ෂිතයි. අපි නොදන්න සජිත් (සහ රනිල්) !
කොහොමවුණත් මේ වෙලාවේ අපි විමල්ගෙන් සැපද කියල අහන්නේ නැහැ. දේශපාලනයේ චලනයන් විමල්ට තේරෙනවා. හැබැයි ඉතිහාසයේ කුණු බක්කියෙනුත් පහතට නොවැටෙන්න නම් අවංකව නිහතමානී වෙන්න වෙනවා. අවංකව ස්වයං විවේචනය කරන්න වෙනවා. බොක්කෙන් ජෙනුයින් වෙන්න වෙනවා. එහෙම නොවුණොත් දැනුවත්ව හෝ නොදැනුවත්ව නරි නාටකයක චරිතයක් වෙනවා.
ප්‍රිය පාඨකය, මේ සටහන අදට අවසන්. දැන් ඔබ පළමු ඡේදය යළි කියවන්න.
- තාරක