උඩප්පුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගෙන තාවකාලික වැඩ තහනමකට ලක්කර තිබේ.
ඒ, ඊයේ (05) රාත්‍රියේ උඩප්පුව ප්‍රදේශයේදී ගම්වැසියන් පිරිසකට පහරදී දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ චෝදනා මතය.
ඊයේ රාත්‍රී 9.30 ට පමණ උඩප්පුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු සමග ඔහු පැමිණි මෝටර් රථයට ගම්වාසීන් කෙළගැසූ බව කියමින් ගැටුමක් ඇතිකරගෙන තිබුණු අතර ඔහු විසින් ගම්වැසියන් පිරිසකට පහරදී තිබිණි.
පහරදීම සිදුකරන අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා ගම්වැසියන්ට පරුෂ වචනයෙන් බැනවදිමින් ඉතා අශෝභන ලෙස හැසිරෙන ආකාරය පුද්ගලයකු වීඩීයෝගත කර ඇත. ගම්වාසීන් චෝදනා කරන්නේ ස්ථානාධිපතිවරයා අධික බීමතින් මෙසේ හැසිරී ඇති බවට ය.
ස්ථානාධිපතිවරයාගේ පහරදීමෙන් තුවාල ලැබූ ප්‍රදේශවාසින් දෙදෙනෙකු උඩප්පුව ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු හලාවත මහ රෝහලට මාරුකර යවා තිබුණි.
සිද්ධියෙන් පසු තමාට ද තුවාල සිදුවූ බව පවසමින් පොලිස් නිලධාරියාද ඊයේ රාත්‍රියේ උඩප්පුව රෝහලට ඇතුලත් වී තිබුණු අතර අද (06) උදෑසන ඔහු රෝහලේදීම අත්අඩංගුවට ගෙන ඔහුගේ වැඩ තහනම් කිරීමට පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පියවර ගෙන තිබේ.
ඔහු සමග මෝටර් රථයේ පැමිණි සිවිල් පුද්ගලයින් දෙදෙනා ද අත් අඩංගුවට ගෙන ඇති අතර පහරදීම සිදුකරන අවස්ථාවේදී පොලිස් නිලධාරියා බීමත්ව සිටියේද යන්න තහවුරු කරගැනීම සඳහා ඔහුගේ රුධිර සාම්පල් ද ලබාගෙන ඇති බව සඳහන්.
RN
