අදට අපට 14 යි !

Date:

“ලංකා නිව්ස් වෙබ්” වෙබ් අඩවියට අදට වසර 14ක් සපිරේ. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි.

2009 ජනවාරි 08 වනදා සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කෙරිණි. මාධ්‍ය ක්ෂේත්‍රය මෙන්ම රටේ දේශපාලනයත් කළඹවාලූ එම ඝාතනයෙන් අනතුරුව එවකට පැවති රාජපක්ෂ ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට සහ දේශපාලන භීෂණයට එරෙහිව සටන් වැදීම සඳහා අලුත්ම පෙරමුණක අවශ්‍යතාව වඩවඩාත් පැන නැඟුණි. ඒ අනුව, එවකට පැවති ජීවිත අවදානම හේතුවෙන් විදෙස්ගතව සිටි මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එක්ව සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ලංකා නිව්ස් වෙබ් බිහිකිරීමට අදාළ මූලික අඩිතාලම සකස් කෙරිණි.

ඉන් අනතුරුව, මාසයක අත්හදාබැලීම් කාලයකට පසුව 2009 මාර්තු 07 වනදා “ලංකා නිව්ස් වෙබ්” වෙබ් අඩවිය දියත් කරන ලදී.

විවිධාකාර තර්ජන ගර්ජන මැදින්, විටෙක තහනමට පවා ලක්වෙමින් වසර 14ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන පැමිණි එම වෙබ් අඩවිය මේ වනවිට LNW නමින් යළි සන්නාමගත කර තිබේ. දැන් එහි බොහෝදුරට ඇත්තේ ව්‍යාපාරිකමය ස්වරූපයකි.

ලංකා නිව්ස් වෙබ් ආරම්භක සමයේ පැවති සටන්කාමීත්වය මේ වනවිටත් පවත්වාගෙන නොයාම සම්බන්ධයෙන් බොහෝ අය අපට දෝෂාරෝපණය කරනු ද දක්නට ලැබේ. එහෙත් මේ වනවිට අපේ මූලික අරමුණ වී ඇත්තේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන අපේ කාර්ය මණ්ඩලයේ රැකියා සුරක්ෂිතභාවය ඇතිකිරීම ය.

ඇත්තෙන්ම කොවිඩ් වසංගත සමයේදී මූල්‍යමය වශයෙන් ඉතාම දුෂ්කර තත්වයක් පසුකිරීමට අපට සිදුවිය. ආරම්භයේ පටන්ම මූල්‍යමය ප්‍රශ්නත් අප සමග එකටම පැමිණි නමුත් කොවිඩ් වසංගත සමය පසුකරද්දී ඒවා උච්ඡතම ස්ථානයට පැමිණියේය. එයින් ආයතනය නොවැසී බේරුණේ යන්තමිනි.

ඒ මොහොත පසුකිරීමෙන් අනතුරුව අප තීරණය කළේ සමාජ – දේශපාලනික අරමුණු මෙන්ම ව්‍යාපාරික අරමුණුත් සහිතව වෙබ් අඩවිය පවත්වාගෙන යායුතු බවයි. දීර්ඝ කාලයක් තිස්සේ අප කෙරෙහි විශ්වාසයෙන් යුතුව, විවිධ අවදානම් භාරගනිමින් මෙම වෙබ් අඩවියෙහි සේවය කරන දෙස් – විදෙස් කාර්ය මණ්ඩලයෙහි අනාගතය සුරක්ෂිත කිරීමේ වගකීම එහිදී අවධාරණය කෙරිණි.

ඒ අනුව, LNW මේ වනවිට හුදෙක් ප්‍රවෘත්ති වෙබ් අඩවියක තත්වය ඉක්මවා යමින් සමාජ මාධ්‍ය වේදිකාවන් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකටම පැතිරෙමින් පවතී. එය අනාගතයේදී ආයතනික ක්ෂේත්‍රය ( Corporate sector) සමග වඩවඩාත් සම්බන්ධ වෙමින් ගමන් කරනු ඇත.

අපට පැහැදිලිවම දේශපාලන දැක්මක් තිබේ. ඒ, මිනිස් නිදහස පදනම් කරගත් දේශපාලනයයි. ඒ හැර කිසිදු දේශපාලන පක්ෂයකට අපේ විශේෂ ලැදියාවක් නොමැති අතර ප්‍රවෘත්ති වාර්තාකරණයේදී සෑම විටම සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයකටම සමාන ඉඩක් වෙන්කර දීමට අපි උත්සාහ කරන්නෙමු.

වසර 14ක් පුරා මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යාමට විවිධාකාරයෙන් උපකාර කළ සියලුම දෙනාටත් වසර 14ක් පුරා අප හා රැඳුණු අපේ වටිනා පාඨකයින්ටත් අපි අතිශයින්ම ස්තූතිවන්ත වන්නෙමු. වෙනස් වෙමින්, අලුත් වෙමින් අප ඉදිරියට යන ගමනේදී පෙර මෙන්ම අප හා රැඳෙන ලෙස අපි ඔබ සැමට ආරාධනා කරන්නෙමු ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...